දැරියකගේ දකුණු කකුල වෙනුවට වම් කකුලට  ශල්‍යකර්මයක්‌ කල පේරාදෙණියේ දොස්තර

දැරියකගේ දකුණු කකුල වෙනුවට වම් කකුලට ශල්‍යකර්මයක්‌ කල පේරාදෙණියේ දොස්තර

Spread the love
  •  
  •  
  •  
  •  

ඉකුත් මාර්තු පළමු වැනිදා පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ 16 වැනි වාට්‌ටුවට ඇතුළත් කළ දහහතතර හැවිරිදි දියනියකගේ දකුණු පාදයේ කළ යුතුව තිබූ ශල්‍යකර්මයක්‌ වෙනුවට වම් පාදයේ ශල්‍යකර්මයක්‌ සිදු කළ බව කියන සිද්ධියට අදාලව පේරාදෙණිය පොලිසියත්, පේරාදෙණිය රෝහල් අධ්‍යක්‌ෂ මණ්‌ඩලයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ වන විට පරීක්‌ෂණයක්‌ පවත්වාගෙන යයි. පරීක්‌ෂණය අවසන් කළ හැකි වන්නේ අස්‌ථි හා විකලාංග රෝග පිළිබ`ද විශේෂඥ වෛද්‍යවරයා පැමිණි පසුවය. එතෙක්‌ කුඩා දැරිය ප්‍රතිකාර ලබන්නේ පුද්ගලික රෝහලකය.
තම දරුවා ගේ නිරෝගී පාදයේ ශල්‍යකර්මයක්‌ සිදු කිරීම පිළිබඳ දැඩි කනස්‌සල්ලෙන් පසුවන පියා වන යූ. ඩබ්ලිව් අජන්ත බණ්‌ඩාර අපට කියන කතාව මෙසේය.
“මගේ දුව උස පනින්න හරිම දක්‌ෂයි. මෙයාගේ ආසාව නිසා අපි එයාට උස පැනීමේ ක්‍රීඩාව ප්‍රගුණ කරන්න උදව් කරමින් සිටියෙ. දුව දැන් මාස හයකට පමණ පෙර ඉස්‌කෝලෙදි වැටුණා. කකුල්වල වේදනාවක්‌ ඇති වෙලා සිංහල බෙහෙත් කළා. යහපතක්‌ වුණේ නෑ. ඊට පස්‌සේ එයාගේ කකුල් කැක්‌කුම ඇතිවෙනවා. ඒ නිසාම විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ එච්. ඡේ. සුරවීර මහත්තයා ළ`ගට එක්‌ක ගියා. ඇත්තටම දොස්‌තර මහත්තයා හො`දයි. මගේ දුවගේ කකුලේ විස්‌තර සේරම අහලා එයාගේ වාට්‌ටුවට ඇතුළු වෙන්න කිව්වා.”
“ඉතින් විශේෂඥ වෛද්‍ය සුරවීර මහත්තයා කිව්ව විදිහට අපි දරුවාව එතුමගේ වාට්‌ටුවට එක්‌කන් ආවා පෙබරවාරි 20 වැනිදා. එදා දරුවා රෝහලේ 16 වාට්‌ටුවේ නැවැත්තුවා. ඉන් පසු විශේෂඥ වෛද්‍යවරයාත් දරුවව බැලුවා. දුව බලපු විශේෂඥ වෛද්‍යවරයා විදේශගත වෙනවා කියලා අපට දන්වා තිබුණා. ඒ නිසා මේ ශල්‍යකර්මය කරන්නෙ එතුමා නොවෙයි කියන එක අපි දැනගෙන හිටියා. කොහොම හරි 29 දා බොහොම ලෙඩ්ඩු වැඩි දිනයක්‌ වුණා. එදා රෑ කිව්වා දරුවා උදේට ශල්‍යකර්මයට ගන්නවා කියලා. දරුවාට කෑම නොදී මාර්තු 1 දා ශල්‍යකර්මයට ලෑස්‌ති කළා.
ශල්‍යකර්මය කරලා දරුවා එළියට ගේනකොට එයාට සිහිය තිබුණා. දුව මට අඬ අඬා කිවුවා තාත්තෙ… ඔපරේෂන් එක කරලා තියෙන්නෙ වම් කකුලෙ කියලා. මං ගල් ගැහුණා. ඇත්ත තමයි. ඔපරේෂන් එක කරලා තියෙන්නෙ වම් කකුලෙ. ඔය වෙලාවෙ ශල්‍යකර්මය කළ වෛද්‍යවරයා පිටතට ආවා. ඇවිත් කිවුවා දරුවගෙ වම් කකුලෙ ගැටලුවක්‌ තිබුණා. ඒ නිසා මුලින් වම් කකුල කළා. තව දවස්‌ 2 කින් දකුණු කකුලෙ ඔපරේෂන් එක කරනවා” කියලා.
එතකොට මට මතක්‌ වුණා මං 28 දා අත්සන් කළේ දරුවගේ දකුණු කකුලෙ කරන ශල්‍යකර්මයකට නේද කියලා. මට උන් හිටි තැන් අමතක වුණා. මං කෑ ගැහුව ඇයි උඹලා මෙහෙම කරන්නෙ කියලා. මං කරපු ලොකුම වරදත් ඒක.
ඊට පස්‌සෙ මං ඒ ගමන්ම ගියා වාට්‌ටුවට. මේ අවනඩුව කාට කියනවද දන්නෙ නෑ. මං රෝහල් අධ්‍යක්‌ෂ ළ`ගට ගියා. එයා හිටියෙ නෑ. එයාට කතා කරන්න බැරි නිසා නියෝජ්‍ය අධ්‍යක්‌ෂ හමුවෙන්න ගියා. ගිහින් මේ ගැන කිවුවා. ඇත්තමට එතුමා දෙවියෙක්‌ වගේ මනුස්‌සයෙක්‌. මං කියන එක ඇහුවා. මාත් එක්‌ක වාට්‌ටුවට යන්න ආවා. ගිහින් ඔක්‌කොම පරීක්‌ෂා කළා. ලියකියවිලි. විශ්වාස කරන්න… ඒ මොහොත වනවිටත් එක්‌ස්‌රේ එක ෆයිල් එකේ තිබුණෙ නෑ. වාට්‌ටුවෙ ඇඳ ඉහ වාර්තාවෙ ගොඩක්‌ ලියකිවිලි නෑ. මං කෑ ගැහුවා. දොස්‌තරලා පස්‌සෙ දිවුවා. මගේ වෙලාවටද කොහෙද පොත බිම වැටිලා තිබිලා හමුවුණා.
ඊට පස්‌සෙ මං දැනගත්තා මේ ලියවිලි පරිස්‌සම් කරගන්න ඕන කියලා. තවමත් ඒ තොරතුරු මං ළ`ග තියනවා. මං ඒ ගමන්ම පේරාදෙණිය පොලිසියට ගියා. ගිහින් පැමිණිල්ලක්‌ කළා. මං ළ`ග තිබුණු සියලූ දේ සාක්‌ෂි විදිහට ඉදිරිපත් කළා.
ඒ අතරෙ රෝහල් අධ්‍යක්‌ෂ මට කතා කළා. හමුවෙන්න ඕන කිවුවා. මම ගිහින් එතුමා හමුවුණා. ඊට පස්‌සෙ කිවුවා මොකද වෙලා තියෙන්න කියලා පරීක්‌ෂණ කරමු, අසාධාරණයක්‌ නම් ඒ ගැන බලාගන්නම්. දුවට විශේෂ ප්‍රතිකාර ලබා දෙන්නම්. ඉවසිල්ලෙන් කටයුතු කරන්න කියලා. ඊට පස්‌සෙ ශල්‍යාගාරයෙ වෛද්‍යවරයා කියන එකත් මට කිවුවා. උපතින්ම දරුවගේ අස්‌ථි අසාමාන්‍ය වර්ධනයක්‌ වෙලාලූ. ඒක වම් කකුළෙත් තියනවලු. ඇඳ ඉහ වාර්තාවලත් ඒක තියනවලු. මට කලබල වෙන්න එපාලු.
මං ගිහින් වාට්‌ටුවෙන් දරුවගෙ ටිකට්‌ එක බලෙන්ම කපා ගත්තා. ඒ වෙලාවෙ හිටපු හෙදියක්‌ මට කියනවා ‘මේ වාට්‌ටුවෙ මෙතෙක්‌ කල් සිදුනොවුණු වැඩක්‌ ඔයා අපට කරලා යන්නෙ… කවදාවත් 16 වාට්‌ටුවෙ වැරදි වැඩක්‌ වෙලා නෑ. ඔයා යන්නෙ අපේ නම කැත කරලා’ කියලා
දියණියගේ පියා කියන කතාව එසේය. මේ පිළිබඳව විමසීමට අපි පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයබන්දු හේරත් විමසීමු. ඔහු අපට මෙසේ කීවේය.
“අපේ රෝහලේ තියෙන සියලුම වාර්තාවල ස`දහන් වන්නේ මේ දියණියගේ වම් පාදයේ සැත්කමක්‌ කළ යුතු බවටයි. ඒ නිසා මේ ගැන පුළුල් පරීක්‌ෂණයක්‌ කරන්න ඕනි. දැන් පොලිසියත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් මැදිහත්වෙලා පරීක්‌ෂණ කරගෙන යනවා. 8 වැනිදා අදාල විශේෂඥ වෛද්‍යවරයා ලංකාවට එනවා. ඒ පරීක්‌ෂණ සාධාරණ විදිහට කරලා මොකද වෙන්නෙ බලමු.”
රට දැන් බලාගෙන සිටින්නේ ඒ දෙසය. වැරදි විය හැකි බව සැබෑය. එහෙත් වැරදි කළ හැකි නොවේ. ඒ වැරැද්ද වසා ගන්නට ස්‌වකීය සංවිධාන ව්‍යqහය, බලය හා විශේෂිත දැනුම අවභාවිත කරන්නේ නම් ඒ අශ්ලීල මනුෂ්‍යයින් සිටිය යුත්තේ අපායේ දොරකඩය. වෛද්‍යවරුන්ගේ වෘත්තීය බව ආරක්‌ෂා කිරීමට යෑයි කියමින් ඕනෑම නාරාවලක බැසිය හැකි අලජික වෘත්තීය සමිති ද, ස්‌වකීය සහචරයන් රැකීමට ඕනෑම වංක කටයුත්තක්‌ කළ හැකි බලධාරීන්ද සහිත රටක දොස්‌තරලාගේ නිර්වින්දිත හැසිරීම් නිසා ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවන අසරණයින් රකින්නට මොකෙක්‌වත් නැත. මේ අප ඉදිරිපිට ඇත්තේ අප ජීවත්වන සමාජයේ බිය උපදවනසුළු යථාර්ථය ය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!