“බ්‍රිතාන්‍යයේවත් නැති විශාල හමුදාවක්‌ ලංකාවට මොකටද ? – චැනල් ෆෝ රූපවාහිනියේ ජෝන් ස්‌නෝ

“බ්‍රිතාන්‍යයේවත් නැති විශාල හමුදාවක්‌ ලංකාවට මොකටද ? – චැනල් ෆෝ රූපවාහිනියේ ජෝන් ස්‌නෝ

Spread the love
  •  
  •  
  •  
  •  

31 වැනි මාව හිමිකම් සමුළුව මාර්තු 1 දා ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය. සමුළුව ආරම්භ වීමට පස්‌ දිනක්‌ තිබියදී ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය මානව හිමිකම් කොමසාරිස්‌වරයාට පිටු හතරක සන්දේශයක්‌ යවමින් කරුණු හතක්‌ ඉටු කරන ලෙස ශ්‍රී ලංකා රජයට දක්‌වන්නැයි කියා සිටියේය. ඒ කරුණු අතර ප්‍රධානතම කරුණු මෙසේයි.
1. මානව හිමිකම් රකින බවට 2015 දුන් ප්‍රතිඥා ඉටු කළ යුතුයි.
2. මානව හිමිකම් උල්ලංඝනය කිරිමට අදාළ ජාත්‍යන්තර නීතිය ප්‍රකාර හයිබ්‍රිඩ් අධිකරණයක්‌ මගින් නඩු පැවරීමට යෝජිත පුද්ගලයන් පිළිබඳව ක්‍රියා කිරීම සඳහා නීති සහය ලබා දීම.
3. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ කාර්යයක්‌ කොළඹ ස්‌ථාපිත කිරීම.
එසේම ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ද ඉල්ලීමක්‌ කරමින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණයට ලක්‌ කළ යුතු අතර ත්‍රස්‌ත මර්දන පණත සහ මහජන ආරක්‍ෂක පණත ප්‍රතිශෝධනයට ලක්‌ කළ යුතු යෑයි සඳහන් කළේය. මේ පසුබිම මැද ජිනීවාහි කොටි ජාලය සුපුරුදු පරිදි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කුටියක්‌ ඉදිකරමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ දක්‌වන ඡායාරූප ප්‍රදර්ශනය කිරීමේ මෙහෙයුම ආරම්භ කරනු ලැබීය.
මෙකී ක්‍රියාදාමයන්ට පෙර විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ඇමරිකාවේ වොෂිංටන් නුවර ඇමරිකානු සාම ආයතනය අමතමින් සංහිඳියාව හා ප්‍රජාතන්ත්‍රවාදය මැයෙන් දේශනයක්‌ පවත්වා ඇත.
මෙම දේශනයේදී ඔහු මෙලෙස කියා සිටියේය. “මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විමර්ශනය කිරීම සඳහා ද්‍රවිඩ සංධානය සහ අනිකුත් පාර්ශ්ව සමග අපි සාකච්ඡා කරන්නෙමු. ඒ අනුව ඉදිරි මාස පහ සහ හය තුළ අධිකරණයක්‌ ස්‌ථාපිත කළ හැකියි. මේ සඳහා ජාත්‍යන්තරයට දොර විවෘත කර ඇත. යුද්ධයෙන් විපතට පත් වූවන්ට සාධාරණයක්‌ ඉටු වන බවට යම් වගකීමක්‌ අවශ්‍යයි. එය සාධාරණ ක්‍රියාවකි. ජාත්‍යන්තරය තුළින් විනිසුරුවන්, විමර්ශකයන් හෝ නඩු අධ්‍යක්‍ෂවරුන්ගේ සහය ලබා ගන්නේ ද යන්න සලකා බලනවා.
එසේම යුද්ධයෙන් විපතට පත් වූවන් පිළිගන්නා අයුරින් එම අධිකරණය “ස්‌ථාපිත කරනවා.”.
එහෙත් පසුගිය ජනවාරි මස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය ප්‍රන්ට්‌ලයින් සඟරාවට හා බී. බී. සී. සේවාවට පැවසුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ස්‌ථාපිත කරන දේශීය යාන්ත්‍රණයට විදේශ විනිසුරුවරුන් සහභාගි කරගන්නේ නැති බවයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අවතක්‌සේරුවකට ලක්‌ කරමින් විදේශ ඇමැතිවරයා දේශීය යාන්ත්‍රණය සඳහා විදේශිකයන්ට දොර විවෘත කර ඇති බවට කළ ප්‍රකාශය ජනාධිපතිතුමාට ද වාර්තා විය.
මේ හැර උතුරු නැගෙහිර හමුදාකරණය වීම සම්බන්ධයෙන් ද විදේශ ඇමැතිවරයා අදහස්‌ පළ කර ඇත.
“උතුරු නැගෙනහිර හමුදාකරණයෙන් තොර පවත්වාගෙන යැම අපේ මූලික අවශ්‍යතාවයයි. හමුදාව දැනටමත් අක්‌කර 3000 කට වැඩි ප්‍රමාණයක්‌ නිදහස්‌ කර තිබෙනවා. ඉදිරි සති කීපය තුළ තවත් අක්‌කර 600 ක්‌ මුදාහරිනවා. ඉතිරිය ක්‍රම ක්‍රමයෙන් මුදා හැරීමට කටයුතු කරනවා. එම ප්‍රදේශවල සිදුවන හමුදාවේ වාණිජ කටයුතු නතර කිරීමට පියවර ගන්නවා. හමුදාව විසින් පවත්වාගෙන යන හෝටල් කීපයක්‌ සිවිල් ජනතාවට ලබාදෙන බවට හමුදා බලධාරීන් අපට ප්‍රතිඥ දුන්නා” යෑයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
ඇමරිකානු සාම ආයතනය අමතමින් තවදුරටත් කරුණු දැක්‌වූ විදේශ ඇමැති මංගල සමරවීර ශ්‍රී ලංකා හමුදාවේ 1,80,000 ක බලසේනාව සියයට 37 කින් අඩු කරන බවද කියා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා හමුදාව 1,13,410 දක්‌වා අඩුවේ. හමුදාව අඩු කරන බවට තමා ප්‍රතිඥාවක්‌ දෙන බවද හෙතෙම වැඩිදුරටත් පළ කළේය.
ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තිය අඩු කරන බව රජයේ බලධාරියකු තුළ මුල්ම ප්‍රකාශය මෙයයි. ඒ අනුව ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තිය 66,600 කින් අඩුවෙනු ඇත.
මංගල සමරවීර විදේශ ඇමැතිවරයා මෙම බරපතළ ප්‍රකාශය කිරීමට පෙර මෙරටට පැමිණි චැනල් ෆෝ රූපවාහිනියේ ජෝන් ස්‌නෝ ශ්‍රී ලංකාවට විශාල හමුදාවක්‌ කුමකට දැයි ප්‍රශ්න කර තිබුණි. බ්‍රිතාන්‍යයේවත් නැති විශාල හමුදාවක්‌ ශ්‍රී ලංකාවේ සිටින බවත් ශ්‍රී ලංකා හමුදාව අඩු කළ යුතු බවත් උතුරෙන් හමුදාව ඉවත් විය යුතු බවත් ස්‌නෝ තවදුරටත් පවසා තිබුණි. එසේම මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ද පැවසූQවේ උතුරින් හමුදාව අඩු කළ යුතු බවයි.
එහෙත් අවි ආයුධ පුහුණුව ලත් හිටපු කොටි ක්‍රියාකාරීන් 12,000 ක්‌ උතුරේ සිටින බව අමතක කළ හැකිද? ශ්‍රී ලංකා හමුදාවට අසුවී නැති අවි ආයුධ උතුරේ නැතැයි කිව හැකිද?
අත්අඩංගුවේ පසුවන එක්‌ ත්‍රස්‌තවාදියකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පැවසුවේ අපේ නායකයාගේ ඉලක්‌කය වෙත යම් දිනෙක යන බවයි මේ ප්‍රකාශ බැහැර කළ හැකිද?
මේ අතර අමාත්‍ය සමරවීර තවදුරටත් පැවසුවේ ත්‍රස්‌ත මර්දන පණත වෙනුවට වෙනත් කෙටුම්පතක්‌ රජයට ඉදිරිපත්වී ඇති බවත් ත්‍රස්‌ත මර්දන පණත ඉතා ඉක්‌මනින් ඉවත් කරන බවයි.
විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇමරිකානු සාම ආයතනයේ දේශන පැවැත්වීමෙන් පසු හෙරිටේඡ් පදනමේ නිලධාරිනියක්‌ වූ ලීසා කර්ටිස්‌ රැස්‌වීමට සහභාගි වූ පිරිසට ප්‍රශ්න අසන්නැයි කියා සිටියාය. මෙලෙස ප්‍රශ්න නැඟුවන් අතර සිටි වොෂිංටනයේ පදිංචිකරුවකු යෑයි කියන ශාන් නමැත්තා උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය. මෙයට අමතරව හයකට අධික පිරිසක්‌ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර එකී ප්‍රශ්න බෙදුම්වාදයට සම්බන්ධ බව තහවුරු විය. ශාන් නමැත්තාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්‌වමින් මංගල සමරවීර ඇමැතිවරයා පැවසුවේ 1,80,000 ක හමුදාවෙන් 37% ක්‌ අඩු කර ඇති බවයි. මේ ප්‍රකාශයට සම්බන්ධ මුළු වීඩියෝ පටය වොෂිංටනය සිට එදිනම අපේ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයකු විසින් අප වෙත එවා තිබිණි. එහෙත් ඇමැතිවරයා එවැනි ප්‍රකාශයක්‌ නොකළ බව දක්‌වමින් විවිධ පාර්ශ්ව වොෂිංටනයේ සිදුවූ සත්‍ය සිදුවීම් වසන් කිරීමට දැඩි උත්සාහයක්‌ දැරීය.
ඇමරිකානු කොන්ග්‍රසයට සම්බන්ධ සාම ආයතනය අමතමින් පසුගිය පෙබරවාරි 25 දා විදේශ ඇමැතිවරයා මෙරට ජාතික ආරක්‍ෂාවට අදාළ තොරතුරු හෙළි කිරීමෙන් පසු පෙබරවාරි 27 දා කිලිනොච්චියේ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම පැවැත්වුණි.
මෙම රැස්‌වීමට යෝජනාවක්‌ ඉදිරිපත් කළ ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රී ධරන් ශ්‍රී ලංකා හමුදාව වහාම කිලිනොච්චියෙන් ඉවත් විය යුතු යෑයි කියා සිටියේය.
ශ්‍රීධරන්ගේ මේ යෝජනාව උතුරු මහ ඇමැති විග්නෙශ්වරන් සම්මත කළේය.
හමුදාව නිසා සංවර්ධන කටයුතු කරන්න බැරිවෙලා. රජයේ නිලධාරීන් හමුදාවට සහය දැක්‌වීමෙන් වැලකිය යුතුයි යෑයි ශ්‍රීධරන් සඳහන් කළේය.
ශ්‍රී ධරන් යනු යාපනය කොටි හමුදානායක තීපන් නමැති මිනීමරුවාගේ මස්‌සිනායි. කිලිනොච්චිය අල්ලා ගැනීම සඳහා රණවිරුවන් රැසක්‌ සිය වර්තමානය හා අනාගතය පුද කරනු ලැබීය.
එහෙත් ශ්‍රී ධරන් පවසන්නේ හමුදාව කිලිනොච්චියෙන් යා යුතු බවයි. මෙය බෙදුම්වාදයේ එක්‌ ඉලක්‌කයක්‌ නොවේද? එහෙත් කිසිදු දේශපාලකයෙක්‌ ශ්‍රීධරන්ගේ ප්‍රකාශයට විරෝධය දක්‌වා නැත.
ශ්‍රීධරන් හා විග්නේශ්වරන් දියත් කර ඇත්තේ සංහිඳියාවට මුවාවූ ජාතික ආරක්‍ෂාවට එරෙහි ක්‍රියාදාමයක්‌ නොවේද?
ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තිය අඩු කරන බව ඇමරිකානු බලධාරීන් හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු පෙබරවාරි 29 දා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක්‌ නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ ප්‍රතිසංවිධානය කිරීම සඳහා පූර්ණ සහය දක්‌වන බව කියා සිටියේය.
යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වීS තිබෙන තත්ත්වයට සමගාමීව ආරක්‍ෂක අංශ ප්‍රතිසංවිධානය විය යුතු බවට එම නිවේදනයේ තවදුරටත් සඳහන් විය.
එහෙත් ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංවිධානය කළ යුතු යෑයි මෙරට ජනතාව හෝ හමුදා යාන්ත්‍රණය රජයෙන් ඉල්ලීමක්‌ කර නොතිබුණි. ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ද ස්‌ටර්ලින් පවුම් මිලියන 6.6 ක මුදලක්‌ මෙරටට ලබාදීමට එකඟ වී තිබේ.
මෙහිදී තහවුරු වන්නේ බටහිර රටවල් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති බවයි. ලෝකයේ රටවල් රැසක හමුදා කඳවුරු 1000 ක්‌ පමණ පවත්වාගෙන යන ඇමරිකාව එම හමුදා කඳවුරුවලට ශක්‌තිය කිසිසේත් අඩු කර නැත.
මේ පසුබිම මැද ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකා හමුදාව භාවිත කළ යුතු අවි ආයුධ කුමක්‌දැයි නිගමනය කරනු නියතය.
මේ අතර උතු=රු පළාත් සභාව මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත් වීමේ තවත් සිද්ධියක්‌ කිලිනොච්චියෙන් වාර්තා විය. නාවක්‌කුලි ප්‍රදේශයේ පිහිටි රජයේ නිවාස අධිකාරිය සතු අක්‌කර පහක ඉඩමක්‌ ජනාධිපතිවරයා විසින් විශේෂ කාර්ය බළකායට ලබා දුන්නේය. මේ සිද්ධිය කිලිනොච්චියේ පැවැති දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටුවේ අවධානයට ලක්‌විය.
අක්‌කර පහක ඉඩමක්‌ විශේෂ කාර්ය බලකායට ලබා දීලා තිබෙනවා. මෙය සිදුවූයේ කෙසේද යෑයි පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ප්‍රශ්න කළේය. මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්‌වා ඇති නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකාරවරයා ජනාධිපතිතුමාගේ උපදෙස්‌ මත එම රජයේ ඉඩම ලබා දුන් බව පළ කළේය.
ප්‍රභාකරන්නේ මස්‌සිනා වූ සිවාජිලිංගම් අපි පත් කළ ජනාධිපති මෙය සිදු කර ඇත්තේ මහ ඇමතිවරයාට දන්වන්නේ නැතිවයි යෑයි කීවේය.
අනතුරුව උතුරු මහ ඇමැති විග්නේශ්වරන් නියෝගයක්‌ කරමින් එකී ඉඩම පවරාදීමට අදාළ සියලු ලියකියවිලි තමා වෙත ඉදිරිපත් කරන ලෙස පවසා ඇත. එහෙත් සම්බන්ධිකරණ කමිටු රැස්‌වීම ඇමතූ ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුමන්තිරන් ඉඩම පවරාදීමේ ක්‍රියාදාමය ගැන ප්‍රශ්න කිරීමට පළාත් සභාවට හැකියාවක්‌ නැතැයි කියා සිටියේය.
මින් තහවුරු වන්නේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ජනාධිපතිවරයාගේ තීන්දු ගැන ද ප්‍රශ්න කරන තත්ත්වයට පත්වීමයි.
විග්නේශ්වරන් මේ සතියේ දිනෙක ප්‍රකාශයක්‌ කරමින් උතුරු නැගෙනහිර පෙඩරල් පාලන ක්‍රමයක්‌ සඳහා මැදිහත් වන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බව කීවේය.
1987 දී ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම මගින් උතුරු නැගෙනහිර පළාත් සඳහා පළාත් සභා දෙකක්‌ ලැබුණා. මෙවර පෙඩරල් පාලන ක්‍රමයක්‌ ලබාදීමට ඉන්දියාව මැදිහත් විය යුතුයි යෑයි ඔහු කියා සිටියේය.
උතුරු මහ ඇමැතිවරයා යළිsත් වරක්‌ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන ලෙස ඉන්දියාවෙන් ඉල්ලන සමයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දූත මණ්‌ඩල ප්‍රධානී ඇන්ඩෘ මෑන් ප්‍රමුඛ නිලධාරීන් තිදෙනකු යාපනයට ගොස්‌ උතුරේ තත්ත්වය නිරීක්‍ෂණය කර ඇත.
උතුරේ තත්ත්වය ගැන විමර්ශනයට ලක්‌ කිරීමට ඇමරිකානු තානාපති නිලධාරීන්ට කිසිදු හිමිකමක්‌ නැත. එය වියනා ගිවිසුම උල්ලංඝණය කිරීමකි.
එහෙත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල බලධාරින් වියනා ගිවිසුම ගැන තැකීමක්‌ කරන්නේ නැත. උතුරට ගිය දූත මණ්‌ඩල ප්‍රධානී යාපනයේ හමුදා ප්‍රධානියා වූ මේජර් ජනරාල් මහේෂ් සේනානායක හමුවී සාකච්ඡා පවත්වා ඇත. මේ අන්දමට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිට ඇමරිකාවේ ඔක්‌ලහෝමා ප්‍රදේශයේ රතු ඉන්දියානුවන් හමුවී සාකච්ඡා කිරීමට ඇමරිකානු රජය ඉඩ දේද?”
මේ අතර ගත වූ කාලය මුළුල්ලේම ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට සාවද්‍ය ප්‍රචාර දියත් කළ ඉනර් සිටි ප්‍රෙස්‌ වෙබ් අඩවියේ ප්‍රධානි මැතිව් රසල් ලී නමැත්තාට එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයට ඇතුළු වීම තහනම් විය.
ඊට හේතුව වූයේ එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් සහ මාණ්‌ඩලික ප්‍රධානි විඡේ නම්බියාර් ද්‍රවිඩයන් සමූල ඝාතනය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාවට සහය වූ බවට මැතිව් රසල් ලී චෝදනා එල්ල කිරීමයි.
කැනඩා කොටි ජාලය විසින් රසල් ලී ට කැනඩාවේ සුවිසල් නිවසක්‌ ද පරිත්‍යාග කර තිබුණි.
මැතිව් රසල් ලී නමැති කොටි කොන්ත්‍රාත්කරුවාට එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේ දොර වැසීම නිසා උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දී සශිකරන් සහ එම්. කේ. සිවාජිලිංගම් කම්පනයට පත්වී ඇත. ආනන්දී විගස බැන් කී මූන් වෙත ලිපියක්‌ යවමින් ඊළම් ජනතාව වෙනුවෙන් විශාල සේවයක්‌ කළ මැතිව් රසල් ලී ට යළි එක්‌සත් ජාතීන්ගේ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයට ඇතුළු වීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියාය.
ඒ වනවිට එක්‌සත් ජාතීන්ගේ තොරතුරු සහ සන්නිවේදන කටයුතු පිළිබඳ සහකාර ලේකම් ක්‍රිස්‌ටිනා ගැලච් මැතිව් රසල් ලී ට පැය 2 ක්‌ තුළ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයෙන් පිටවන ලෙස නියෝග කර තිබුණි.
එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් විසින් දොට්‌ට දමනු ලැබූ මැතිව් රසල් ලී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධකරුවකු ලෙස හංවඩු ගසමින් ඔහුව එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවෙන් නෙරපා දැමීම සඳහා රටවල් රැසක තානාපති නිලධාරීන්ට බලපෑම් කරනු ලැබීය.
එසේම කොටි ක්‍රියාකාරීන් පැවරූ නඩුවක සිතාසිය ශවේන්ද්‍ර සිල්වාගේ නිවසට යෑවීමටද මැතිව් රසල් ලී උත්සාහ ගත් නමුත් එම ක්‍රියාදාමය ව්‍යර්ථ විය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!