හේමසිරි ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ආරකෂක ලේකම්ද..?

හේමසිරි ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ආරකෂක ලේකම්ද..?

Spread the love
  •  
  •  
  •  
  •  

බල්ලගේ වැඬේ බූරුවා කරනවා යැයි ලෙසින් වූ වටිනා උපමා කතාවක් අපේ ජනවහරේ තිබේ. යමෙකු කළ යුතු කාර්යයක් කිසිදු වගකීමක් සහ හැකියාවක් නැති තවෙකකු ඉදිරිපත්වී කරන්නට යනකල සහ වගකීම් විරහිතව වහසිබස් ප්‍රකාශ කරනවිට අපේ මිනිස්සු මේ කතාව කීවේ උපහාසය මුසු පිළිකුලකින් යුතුවය.
ශ්‍රී ලාංකීය ජනවහරේ දකින්නට ඇති අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණාත්මක හැකියාව එසේ වෙද්දී පසුගියදා කොළඹ නාලන්ද විදුහලේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ආරක්ෂක ලෙක්ම් හේමසිරි ප%නාන්දු මහතා වගකීම් විරහිත අලජ්ජී ප්‍රකාශයක්කර රටේ ජනතාවට මෙකී බලු බූරු කතාව සිහිපත් කරනු ලැබුවේ ඉතාම අප්‍රසන්න අන්දමටය.
එය මෙරට ප්‍රධානතම බෞද්ධ පාලසක පැවති උත්සවයක වැදගත් සභාවකි. එම සභාව ඉදිරියට පැමිණ ඉතාම නොවැදගත් ලෙස හේමසිරි ප්‍රනාන්දු මේ කතාව කරද්දී ඔහු ඇත්තටම මේ රටේ ආරක්‍ෂක ලේකම්දැයි බරපතළ ගැටලුවක් රටේ ජනතාවට ඉබේම මතුවිය.
අප දන්නා තරමින් නම් හේමසිරි ප්‍රනාන්දු යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාය. එහෙත් ඔහු මෙහිදී සභාව අමතා කතා කරද්දී පෙනීගියේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවසානයෙන් පසු රුද්‍රකුමාරන්ලා, එම්මානුවෙල්ලා ඇතුළු කොටි ඩයස්පෝරවේ කෙරුමන් එකතුවී රටින් පිටත පිහිටුවාගත් ඡායා ඊළාම් රාජ්‍යයේ ආරක්‍ෂක ලෙක්ම් ලෙසටද ඔහු ‘පාර්ට් ටයිම්’ ජොබ් එකක් කරනවා වියයුතු යැයි කියාය.
හේමසිරි ප්‍රනාන්දු මහතා මෙහිදී කළ කතාව වූයේ කුමක්ද? හේමසිරි ප්‍රනාන්දුට දැනෙන්නට ඒ කතාවෙන් වැදගත්ම කොටස ගෙන අපි එය මෙහි පළකරන්නෙමු. ඔහු ඒ කොටස කීවේ මෙසේය.
‘කවුරුහරි යුද්දෙට සම්බන්ධ වෙලා ඉඳලා ගමට ඇවිත් මිනී මරුවා නම් එයාට රණවිරුවා කියන්න බැහැ. එයාට කියන්නේ මිනීමරුවා කියලා. එයාව අපි ලංකාවේ වලංගු නීතිය යටතේ අධිකරණයට ගෙනැල්ලා උපරිම දඬුවම් දියයුතුයි.
ඔහු කියන ඒ කතාව නිවැරදිය. කිසිවකු හෝ විසින් මිනී මරන්නේ නම් ඔහුට දඬුවම් කළ යුතුය. ඒ පිළිබඳ තර්කයක් නැත. එහෙත් ඒ ප්‍රකාශය සමඟ ඔහු මෙසේද කීය.
අපි දැන් ඒවගේ ක්‍රියාමාර්ග ගනිමින් යනවා. විශේෂයෙන්ම තව සුමාන දෙකකින් ලංකාවේ සිදුවෙච්ච ඉතාම භිහිසුණු ම්ලේච්ඡ මිනීමරුමකට සම්බන්ධ හමුදා පුද්ගලයන් එකොළොස් දෙනකුට අපි නඩු පවරනවා.
ඒ වගේම අපි එදාට අභියෝග කරනවා ඩයස්පෝරා එකට, උඹලට තිබෙනවා නම් මේ වගේ ඔප්පු කරන්න පුළුවන් සාධක ඇති තවත් මිනීමරුම් කරුණාකර අපට දෙන්න කියලා. අපි ඒවත් විභාග කරලා දඬුවම් දෙනවා..’
හේමසිරි ප්‍රනාන්දු කියන මේ කතාව අනුව දැන් රටටම මතුවූ තවත් ප්‍රශ්න ගණනාවක්ම ඇත. ඒ අතරින් මුලින්ම අවධානය යොමු කළ යුතුව ඇත්තේ ඔහු කියන මේ ඔප්පු කරන්නට පුළුවන් හමුදා පුද්ගලයන් එකොළොස්දෙනකු සම්බන්ධ මිනීමරුම කුමක්ද යන්නය.
හේමසිරි ප්‍රනාන්දු යනු විශ්‍රාමික විනිසුරුවරයකු හෝ අඩුම තරමින් නීතිඥයකුද නොවේ. එවැන්නකුට වුවද නඩුවක් විභාග කරන්නට පෙර එය ඔප්පු කළ හැකිද නැතිද යන්න ප්‍රකාශ කිරීම ඉතා අසීරු කාර්යයකි. ඒ තත්ත්වය තුළ ඔහු ඔප්පු කරන්නට පුළුවන් නඩුවක් ගැන කීමෙන් අපට නම් ඇතිවූයේ ඉස්සර විනෝද සමයේ සිටි ඇනස්ලි, බර්ටි, සැමුවෙල් අතරින් නිතර පව්ඩර් නාගෙන රඟපෑ සුපිරි විහිළුකාරයකු වූ බර්ටි ගුණතිලක කොට කලිසම පිටින් මගදී හමුවූවාක් වැනි හැඟීමකි.
අනේ හේමසිරි ප්‍රනාන්දු මහත්තයෝ. ඔබ කියන පරිදි විභාග කිරීමට පෙර ඔප්පුකරන්නට පුළුවන් යැයි පූර්ව නිගමනයකට ආ හැකි නඩු තිබෙන්නේ කොහිද? වගකිවයුතු රාජ්‍ය නිලධාරියකු ලෙස රටට සාමය ගෙන දෙන්නට දිවිහිමියෙන් කැපවූ රණවිරුවන් එකොළොස් දෙකනු පිළිබඳ ඔබ මෙවන් බොළඳ ප්‍රකාශයක් කරනු ලැබුවේ කාගේ වුවමනාවටද?
මේ කතාව ඇසූ කල අපිට දැනුනේ කලකට පෙර පොලිස්පතිවරයා නීතිය නවන්නට සැරසුනාක් මෙන් දැන් ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුත් නීතිය නවන්නට යන්නේදැයි කියාය. ඇතැම්විට ලබන මාර්තු මාසයේ ස්විට්සර්ලන්තයේදී ජිනීවා කෝළම යළි ඇරඹීමට නියමිත නිසා හේමසිරි ප්‍රනාන්දු ජාත්‍යන්තරය පිනවීම පිණිස එකී රණවිරුවන් ස්ථිර වශයෙන් දංගෙඩියට යැවීමේ සැලසුමක් මත මේ ප්‍රකාශය කළාද විය හැකිය. එය අපට නොවැටහෙන්නකි. මේ ප්‍රකාශයේ ඇති සැඟවුණ ඇරුත දන්නේද හේමසිරි ප්‍රනාන්දුමය.
ඔප්පු කරන්නට හැකියැයි ඔහු කියන මේ නඩුව වන්නේ වැල්වත්තේදී තරුණයන් පස්දෙනකු දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැරගත්තේ යැයි කියමින් නාවික හමුදා බුද්ධි බළකායේ රණවිරුවන් පිරිසකට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන සිද්ධිය ය. හේමසිරි ප්‍රනාන්දු මහතා මෙන් නොව, අප එසේ පූර්ව නිගමනයකට පැමිණියේ සාධක ඇතිවය. හේමසිරි ප්‍රනාන්දු මහතා නාලන්ද විදුහලේදී මෙකී ප්‍රකාශය කිරීමෙන් පසු ඊයේ (22 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නොහොත් සීඅයිඩීය තුළින් ලබාගත් පුවතක් ලෙස ඇතැම් මාධ්‍ය ඒ බව වාර්තා කර තිබෙනු අපි දුටුවෙමු.
මෙකී පුද්ගලයක් එකොළොස් දෙනකු පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියේ මූලික නඩු විභාගය සිදු කෙරුණේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදීය. එය මුල සිටම අපේ අවධානයට ලක්වූවක්ද විය. මේ විමර්ශනය කරනු ලැබුවේ 2015 යහපාලන දේදුණු විප්ලවයෙන් පසු කූඨප්‍රාප්තියට පැමිණි සීඅයිඩීයේ සමූහ මකොල්ල විමර්ශන අංශය මගිනි. එහිදී සිදුවූ දේද බොහෝය.
වරක් අධිකරණය වෙත පැමිණි පැමිණිල්ලේ සාක්ෂිකරුවකු බවට සීඅයිඩීය කී විජයකාන්තන් නමැති පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ ත්‍රස්තවාදියකු සීඅයිඩීයේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් තමන් නොමඟ යවා බලෙන් සාක්ෂි ගතතේ යැයි අධීකරණය හමුවේ පැවසීය.
එය ඉතාම බරපතළ කරුණක් වුවද මේ දක්වාම ඒ පිළිබඳ විමර්ශනයක් නම් සිදුවූයේ නැත. ඒ අතරේ මේ සිද්ධියේ තවත් චූදිතයකු වූ නාවික හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කමාණ්ඩර් ප්‍රසාද් චන්ද හෙට්ආරච්චි තුළින් නේවි සම්පත් කෙනකු මවන්නටද සීඅයිඩීය දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් ඇතැම් සත්‍යවාදී මාධ්‍ය අවධියෙන් සිටි නිසා සීඅයිඩීයේ ඒ උත්සාහය ද ව්‍යර්ථ විය.
එකී මූලික විභාගයට අදාළ වැල්වත්තේදී තරුණයන් පස්දෙනකු පැහැරගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවිකි හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නගොඩ කළ පැමිණිල්ලකට අනුව මුලින්ම චෝදනා එල්ල වූයේ හිටපු නාවික හමුදා නිලධාරී නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු පුද්ගලයන් සිව්දෙනකුට එරෙහිවය. අපේ මතකයේ හැටියට ඒ ඉකුත් 2008 වසරේදී පමණය.
ඒ අනුව සීඅයිඩීය සිදු කළ මේ විමර්ශනයට දැනට ගතවී ඇති කාලය වසර දහයකි. වසර දහයක් පුරා සිදු කෙරුණු මෙය ආරම්භයේදී නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සිව්දෙනා සිද්ධියට සම්බන්ධ බවට අධිකරණයට කරුණු වාර්තා කිරීමටද සිඅයිඩීය කටයුතු කර තිබිණි.
එසේ තිබියදී රට වෙනුවෙන් උපරිමය සිදුකළ තවත් නාවික බුද්ධි නිලධාරීන් හත්දෙනකුට චෝදනා එල්ල කරමින් සීඅයීඩීය මෙකී විමර්ශනයට නව මුහුණුවරක් දෙන්නේ ඉකුත් 2015 වසරේ සිදුවූ දේදුණු විප්ලවයත් සමගිනි. එහිදී එකී බුද්ධි නිලධාරීන් හත්දෙනාට චෝදනා එල්ල වන්නේ සම්පත් මුණසිංහ ඇතුළු මුල් චූදිතයන් සහ වෙළගෙදර නමැති නාවික නිලධාරියකු කියන ප්‍රකාශ මත පදනම්වය.
එසේ කරන්නට යෑමේදී මේ විමර්ශනය පුරා සීඅයිඩීය සිදු කළ උපහාසාත්මක දේද බොහෝ විය. හේමසිරි ප්‍රනාන්දු මහතා රණවිරුවන් පිරිසක් මිනීමරුවන් කියමින් නඩු පවරා ඔප්පු කරන්නට යන්නේ මේ කියන සිද්ධිය ය.
මේ වන විට මෙකී විමර්ශනයේ සියලු වාර්තා නීතිපතිවරයා වෙත යොමුකර අවසන්ව ඇත. ඒ අනුව සහ රටේ සම්මත ක්‍රියාදාමය පරිදි දැන් මේ සම්බන්ධයෙන් චූදිතයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරන්නේ නම් එය සිදු කළ යුතුව ඇත්තේ නීතිපතිවරයා විසිනි.
එසේ නම් තව සති දෙකකින් ම්ලේච්ඡ සහ බිහිසුණු ඝාතනයකට සම්බන්ධ වූ හමුදා පුද්ගලයන් එකොළොස් දෙනකුට නඩු පවරන්නේ යැයි කියමින් මෙකී රණවිරුවන්ට නඩු විභාගයකටත් පෙර ප්‍රසිද්ධියේ මිනීමරු ලේබලය අලවන්නට හේමසිරි ප්‍රනාන්දුට ඇති අයිතිය කුමක්ද? එසේම නඩු පැවරිය යුත්තේ නීතිපතිවරයා නම් හේමසිරි ප්‍රනාන්දු තවසති දෙකකින් නඩු පවරන බව කියන්නේ මොන පදනමකින්ද?
ඔහුගේ අලජ්ජී ප්‍රකාශය ඇසෙන කල්හි අපට බලු බූරු කතාව මතක් වූයේ මේ නිසාය. ආරක්‍ෂක ලේකම්වරයා ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතාට පැවරී ඇති වගකීම වන්නේ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසියේ ඉහළ පරිපාලනය අධීක්‍ණය කරමින් ජාතික ආරක්‍ෂාව සම්බන්යෙන් සාකච්ඡා පැවත්වෙන ආරක්‍ෂක මණ්ඩල රැස්වීම වැනිදේට දායකත්වය ලබාදී රටේ ආරක්‍ෂක ඇමැතිවරයා වන සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අමාත්‍යංශයේ කටයුතු කරගෙන යෑම සඳහා සහාය දැක්වීමය.
එසේ නොමැතිව නීපතිවරයාගේ කටයුතුවලට මැදිහත්වී රූලෙන් පිට යෑමට හේමසිරි ප්‍රනාන්දු මහතාට වෘත්තීයමය වගකීමක් නැත. ඔහු එසේ කිරීම සදාචාරාත්මකද නැත.
නාලන්ද විදුහලේදී කළ කතාවේදී ඔප්පු කරන්නට පුළුවන් තවත් මිනීමරුම් තිබේනම් ලබාදෙන ලෙස ඩයස්පෝරාවෙන් කාරුණික ඉල්ලීමක් කරමින් අන්තිම දීන තත්ත්වයට ඇද වැටෙන්නටද ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ක්‍රියා කළේය. මේ හමුවේ ඔහුගෙන් අවසන් වශයෙන් අහන්නට අපට එකම එක ප්‍රශ්නයක් ඇත.
අනේ මහත්තයෝ, ඇත්තටම ඔබ වැඩකරන්නේ ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ මේ රටට ද නැතහොත් රුද්‍රකුමාරන් රජකරන එල්ටීටීඊයේ ඡායා ඊළමටද?
සමන් ගමගේ

(Visited 57 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!