හිර කූඩුව සහ එහි ඇතුල් පැත්ත…..

Spread the love
  •  
  •  
  •  
  •  

මෙයට වසර තිහකට පෙර සුලෝහිත සංග්‍රාමය වනාතමුල්ලේ ඕවල් ක්‍රීඩාංගනයේ මහ ඉහලින් පැවතෙද්දී මා ඇතුලු තවත් කොලු නඩයක්‌ කුරුඳුවත්ත පොලිසියේ අඳුරු කූඩුවක පැය කීපයක්‌ අපා දුක්‌ විඳිද්දී මට සිතුනේ මේ ගැන කවදාහෝ පත්තරයකට ලිවිය යුතු බවයිs. එදා අපව කූඩු කලේ විකාර ලෙස හැඳ පාසැල් ධජ ඇඟේ ඔතාගෙන කොළ අතු එල්ලූ ට්‍රක්‌යක නැගී පපර බෑන්ඩ් කණ්‌ඩායමක්‌ද සමග නගරය වටා පිස්‌සු කෙළින ගමන් කාන්තා පාසලක තාප්පයෙන් පැන්න වරදටයි.

අප නඩයේ සිටි කොල්ලකුගේ පියා එම පොලිස්‌ කොට්‌ඨාසයේම උසස්‌ නිලයක්‌ හෙබවූ අතර අපව අල්ලාගෙන ආ නාහෙට නාහන උද්ධච්ච උප පොලිස්‌ පරීක්‍ෂකවරයා අප කියන දේ තඹයකට මායිම් නොකර කෙලින්ම කූඩුවට ගාල් කලේ “වැඩිය ලොකු කතා දැම්මොත් දවස්‌ දාහතරක්‌ රිමාන්ඩ් කරනවා” යනුවෙන් කාරුණික අවවාදයක්‌ද දෙමිනි. පැයකින් පමණ අසල ඇති රහීමා හෝටලයේ පිසින ලද බුරියානි පැකට්‌ සහ කොකා කෝලා බෝතල් කීපයක්‌ තරුණ උප පොලිස්‌ පරීක්‍ෂකවරයාම කූඩුවට රැගෙන විත් දී පොලිස්‌ පුත්‍රයාගේ කණට කොඳුරා කියා සිටියේ “මල්ලී අපිට කරන්න දෙයක්‌ නැහැ. මේක ඔයාගේ ඩැඩීගෙම ඕඩරයක්‌ එයයි උදේම අපිට ඔය ට්‍රක්‌ එකේ අංකය දීලා කියුවේ දැක්‌ක තැන කට්‌ටිය අල්ලල කූඩුවට දාලා පැයක්‌ දෙකක්‌ තියල පාඩමක්‌ උගන්නන්න කියලා”.

එදා සිට අද දක්‌වා මම පොලිස්‌ කූඩු සියයක පමණ ප්‍රමාණයක්‌ ගැන කරුනු විමර්ශනය කර ඇත්තෙමි. ඒ සමහර විට නීතිමය කටයුතු සඳහා නිසි අවසරය මත සැකරුවන් සමග කතා කිරීමට කූඩු වෙත යන අවස්‌ථා වලදීය. එසේත් නැත්නම් විශේෂ කරුණු මත වෙස්‌වලාගෙන ගොස්‌ අවශ්‍ය පුද්ගලයාගේ විස්‌තර සොයන අවස්‌ථාවලදීය.

පොලිස්‌ කූඩු ගැන කතා කරද්දී මට අමතක නොවන තවත් සිද්ධියක්‌ වන්නේ 89 භීෂණය කාලයේ එක්‌ රාත්‍රියක අප පාඩම් කරමින් සිටිද්දී තේ එකක්‌ බොන්නට සිතා පාරට බැස කඩයක්‌ සොයමින් යද්දී පාමංකඩ පාලම උඩදී පොලිස්‌ ජීප් රථයක්‌ නවතා කිසි විමසීමකින් තොරව විමුක්‌තිකාමීන් කියා රථයට නංවාගෙන විත් වැල්ලවත්ත පොලිස්‌ කූඩුවට දැමූ දවසයි. පසුදා බූස්‌සට යවන්නට සූදානම් කොට අදාල කොළයට අත්සන් ගන්නට අපව ස්‌ථානාධිපති වෙත දමද්දී දේව දයාව යනු කුමක්‌දැයි මට හොඳටම දැනුනි. එදා ඕ.අයි.සී. ව සිටියේ මා කලින් උගත් පාසලේ අපට වඩා වැඩිමල් සිසු අයියා කෙනෙකි. හේමන්ත ඕවිටිගම නම් වූ ඔහු වහාම අපේ අම්මලා ගෙන්වා අපව බාර දුනි. එදා ඔහු නොසිටියේ නම් අප ස්‌ථිරව ටයර් සෑයක්‌ මත නොඑන ගමන් යනු නොඅනුමානය.

බලු කූඩුවල පරිප්පු කාමරය වැනි නම් වලින් සමාජයේ හැඳින්වෙන පොලිස්‌ කූඩුවලට සැකපිට ගෙන එන්නෝ විවිධාකාරයන් බහුතරයක්‌ “හැබිචෝල් කාරයන්” (ය්ඉසඑම්ක) හෙවත් නිතර නිතර පොලිසියට අසුවන අයයි. ඒ අතර පොකට්‌ ගසන්නන් මංකොල්ලකරුවන්, මත්ලෝලීන්, රණ්‌ඩු සරුවල් කර අසුවන්නන්, හොර ඒජන්සිකාරයන්, මුදල් වංචාකර අසුවූවන් වැනි අය බහුලය.

ඕනෑම පොලිස්‌ කූඩුවක්‌ තුළ දකින්නට ලැබෙන තවත් චරිතයක්‌ ඇත. ඒ අමුත්තන් හෙවත් සමාජ භාෂාවට අනුව “සස්‌පිෂන් වගන්තිය” යටතේ නොහොත් පාදඩ ආඥා පනත යටතේ අයාලේ යැම යන චෝදනාව මත අල්ලා ඇතුලට රිංගවන සැකපිට කාරයෝය. මේ අමුත්තෝ බොහෝ විට කූඩු කරන්නේ රාළහාමිලා පරීක්‍ෂා කරන විට ජාතික හැඳුනුම්පත රහිතව රාත්‍රියේ හෝ අවදානම් ස්‌ථානවල සැරිසරණ අයයි. ගනිකාවන් සොයා අඳුරු තැන්වල ගැවසෙන සල්ලාලයන්, රාත්‍රියේ වීථි සංචාරය කරන අපතයන්, සමලිංගික සැප සොයා පාරට බසින කාමාතුරයන්, පාදඩයන්, පදම වැඩිවී දෙපැත්තට වැනෙමින් සිටි බේබද්දන් වැනි අයද පොලිස්‌ කූඩුවල නැත්තේ නොවේ.

එසේම සෑම සිරකූඩුවක්‌ තුළම ඇටෑච් (යාබද) වැසිකිලියක්‌ තිබුණද ඒ එකකවත් දොරක්‌ තියා ආවරණය කර ගන්නට කඩතුරාවක්‌ වත් නැත. බොහෝ වැසිකිළි වෙන්වී ඇත්තේ අඩි දෙක හමාරක්‌ පමණ උස කෙටි බිත්තියකින් පමණි ශරීර කෘතය කරනු පිණිස සැකකරුවා නියමිත ස්‌ථානයේ හිප්ප තියාන හෝ උක්‌කුටියෙන් සිටිද්දී ඔහුගේ කයෙන් අඩක්‌ම වටේටම පෙනෙන අතර ඔහුගෙන් නික්‌මෙන විවිධ නාද සහ ශබ්ද මෙන්ම ගන්ධ රසයන් අවට පරිසරයට බලපාන අන්දම ගැන මෙහිදී නොකිව මනාය.

සමහර කූඩු තුළ කරාමයක්‌ තිබුණද බහුතරයක ජල සැපයුම නැත. එහි ප්ලාස්‌ටික්‌ කෑන් එකක්‌ පමණක්‌ දක්‌නට ලැබේ. අවශ්‍ය වූ කල අසල සිටින මහත්තයෙකුගෙන් වතුර ඉල්ලා ගැනීම හෝ එලියෙන් විසන්ධි කර ඇති කරාමය ඇරගැනීම සුලබ කරුණකි. බුලත් කෙල සහ හප කරදාසි කොල, සිලි බෑග්, බත් ඔතාගෙන ආ පත්තර, ඉඳුල් පාන් වාටි ආදී දේ වැසිකිළියට දැමීම නිසා හතර වටේ දැනෙන්නේ ඉවසිය නොහැකි ගඳකි.

අත්අඩංගුවට ගත් සැකකාරයෙකු කූඩුවට දැමීමට පෙර හොඳින් පරීක්‍ෂාවකට ලක්‌ කළ යුතුය. මෙම පරීක්‍ෂාවේ ගුණාත්මක බව බොහෝ විට සැකකරුවාගේ සමාජ තත්ත්වය අනුව වෙනස්‌ වෙයි. එසේම ඕ.අයි.සී. මහතාට දානතුරු හෝ පසුදාට අධිකරණයට ඉදිරිපත් කරන තුරු රඳවා තබන්නේ කූඩුව තුළද නැත්නම් බංකුවක්‌ මතද, එසේත් නැත්නම් වෙනත් ස්‌ථානයකද කියා තීරණය වන්නේ අදාළ පුද්ගලයාගේ වත්කම බලපුලුවන්කාරකම හෝ සමාජ තත්ත්වය මතයි. කුඩු පැකට්‌ එකක්‌ ළඟ තබාගෙන අසුවීම, බස්‌ රියකදී කාගේ හෝ සාක්‌කුවකට විදීම හෝ රන්මාලයක්‌ කඩා පලායැම දඩාවතේ ගොස්‌ අසුවීම වැනි සිල්ලර වරදකට හසුව පොලිසියට රැගෙන එන පුද්ගලයාව දැඩි පරීක්‍ෂාවකට ලක්‌ කිරීමත්, මහ පරිමාන මත්ජාවාරම, හොර ඒජන්සි පවත්වාගෙන යැම, කෝටි ගාණක මුදල් වංචා, දේශපාලන වැරදි, භයානක අන්දමේ පුද්ගල ඝාතන වැනි ක්‍රියා මත රැගෙන එන පුද්ගලයාට බොහෝ විට ලැබෙන්නේ වෙනස්‌ සැලකීමකි. සාධාරණ නිර්භීත නිලධාරියකු සිටියේ නම් එම වැරදිකරුටද පොදු හැන්දෙන්ම බෙදන අතර අල්ලසට යටවන පක්‍ෂග්‍රාහි හීන පෞරුෂයකින් හෙබි පොලිස්‌කාරයෙක්‌ සිටියේ නම් වැරදිකරුට විශේෂ සැලකිලිය.

පාවහන් පොලිස්‌ කූඩු තුළට අකැපය. එසේම ඉණපටි, දිග සාලු, සාටකද ඇතුළට අරන් යැමට දෙන්නේ නැත. ඒ ගෙල වැලලාගෙන සියදිවි හානි කරගනී හෝ අන් අයෙකුට අනදරයක්‌ කරාවි යන සැකය නිසාය. වීදුරු බෝතල් කෝප්ප මැටි භාජන කැපෙන ආයුධ වැනි දේද කූඩුව තුළට අරන් යන්නට දෙන්නේ නැත. ඒ තමාවම කපා ගනී හෝ තවකෙක්‌ව කපයි යන සැකය නිසාය. එසේම මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි, බුලත් විටි, ගිනිපෙට්‌ටි වැනි දේද පොලිස්‌ සිරමැදිරි තුළ තහනම් භාණ්‌ඩයි. නමුත් බොහෝ පොලිස්‌ කූඩු තුළ මේවා කිසි අඩුපාඩුවක්‌ නැතිව පරිහරණය වෙයි.

පොලිස්‌ කූඩුව තුළ ගිනිපෙට්‌ටි නැතත් වෙඩි බෙහෙත් පට්‌ටා ඇත. පට්‌ටා යනු ගිනි පෙට්‌ටියේ දෙපැත්තේ ඇති වෙඩි බෙහෙත් යෙදූ කොටසයි. ඒවා ඉරා වැසිකිලි බිත්තියේ ඇලවීම පලපුරුදු සැකකරුවාගේ සිරිතයි. එසේම බිත්තිය හාරා ගිනි කුරු සැඟවීම තැන් තැන් වල “සුලම් සහ සැට්‌” (හෙරොයින් ඉරීමට ගන්නා පුච්චන ලද ඊයම් කොල සහ කරදාසි බටය) සඟවා යැමද ඔහු විසින් කරනු ලබයි. ඒ දිනකදී තමාට හෝ වෙනත් සැකකරුගේ පල ප්‍රයෝජනය සඳහායි. මෙම ඉතිරි කිරීම නිසා ගිනිපෙට්‌ටි හෝ ඊයම් කොළ ඉල්ලමින් මහත්තුරුන්ට කරදර කරන්නටත් තමා බලන්නට එන යාලු මිත්‍රයන්ට සහ ගෙවල්වල අයට බල කරන්නටත් අවශ්‍ය නොවන බව ඔහු දනී.

සාමාන්‍ය නීතියට අනුව සැකකරුවෙකු පොලිස්‌ සිරමැදිරියක රඳවා තබාගත හැක්‌කේ පැය හතළිස්‌ අටක කාලයකි. වැඩිපුර විමර්ශන කටයුතු සඳහා ඔහුව අවශ්‍යනම් අධිකරණ අවසරය මත තව දින කීපයක්‌ රඳවා ප්‍රශ්න කළ හැක. ත්‍රස්‌තවාදය පැවති සමයේ නම් ඩී.ඕ. හෙවත් රඳවා ගැනීමේ බලතලය මත කල්ප ගණන් පොලිස්‌ කූඩුවල සිටි සැකකරුවන් මා දැක ඇත. සමහරුන්ට එම සිරමැදිරි ගෙවල් මෙනි. කොස්‌තාපල්ලා, සාජන්ලා ඔවුන්ගේ නෑදෑයන් මෙනි.

මේ සිරකූඩු වල සෙනඟ වැඩියෙන්ම පිරෙන්නේ පොලිස්‌ ඩේට්‌ දාට පෙර දිනයේදීය. පොලිස්‌ ඩේට්‌ හෙවත් උසාවි ඩේට්‌ යනු පොලිසිය විසින් උසාවියට නඩු සහ සැකකරුවන් ඉදිරිපත් කරන දිනයයි. සමහර නගරාසන්න සුපිරි පොලීසිවලට සතියකට මෙවැනි පොලිස්‌ ඩේට්‌ දෙක තුනක්‌ තිබේ.

“හෙට ප්‍රොඩියුස්‌ කරන්න (උසාවි දාන්න) කට්‌ටිය මදි, දෙන්නයි නේද කූඩුවෙ ඉන්නෙ, යනව යනව කොහෙන් හරි තව හතර පස්‌ දෙනෙක්‌වත් ගේනව ජීප් එක පිරෙන්නවත් සෙනඟ ඉන්න එපායෑ. අනික ලොක්‌ක බලයි අපි මෙතන නිකන් නිදාගන්නව කියල”

මෙසේ කියා උසස්‌ නිලධාරියෙක්‌ තම නිලය සහ ප්‍රතිරූපය රැකගනු පිණිස පහළ නිලධාරියකුට උස්‌ හඬින් කෑගසා අසරණ ඉල්ලීමක්‌ කරද්දී බලය සහ ආයුධ සමග මාංචු අතට ගන්නා පහළ නිලධාරියා කරන්නේ තව හතර පස්‌ දෙනෙකුද ජීප් රියේ දමාගෙන නගර මුඩුක්‌කු පීරා, ගුබ්බෑයම්, කඩපිල්, පාලු ගෙවල් අස්‌සේ සැඟවී සිට වරෙන්තුකරුවන්, මත්ලෝලීන් කංසා උරන්නන්, පාදඩයන් අල්ලා මැදිරි පුරවා පසුදාට අධිකරණයට ඉදිරිපත් කිරීමයි.

සිරමැදිරියට තේ හෝ සිසිල් බීම එන්නේ පාර්සල් ටී හෙවත් කුඩා සිලි බෑග් තුලයි. සිරකරුවන් ඒවා බොන්නේ ස්‌ට්‍රොa හෙවත් සිසිල් බීම බොන බට ආධාරයෙනි.

වරක්‌ කොළඹ පැත්තේ පොලිස්‌ කූඩුවක රඳවා සිටි මත්ලෝලීකුට ඔහුගේ මිතුරෙක්‌ රසකැවිලි සහ වැඩි සීනි කිරි තේ ගෙනැවිත් දී ඇත. ඒවා කුඩුවේ සිටි හත් අට දෙනාම බෙදා හදාගෙන කාබී ඇති අතර විනාඩි කිපයකින් ඇතිවූ විපරියාසයෙන් මුලු පොලිසියම කැලඹී ගියේය. කූඩුවේ වූ සමහරු ගී ගයමින් විකාර නටා ඇත. තව දෙන්නෙක්‌ නාස්‌ පොලු කඩාගෙන ලේ හලමින් අතින් පයින් ගුටි බැට හුවමාරු කර ගෙන ඇත. දෙන්නෙක්‌ වමනය දාගෙන සෙම පෙරාගෙන පැත්තක්‌ අල්ලාගෙන බමන මතින් කෑලි ගානට නිදි කිරා ඇත. සිදුවී ඇත්තේ මෙයයි කෑම ගෙනා මිතුරා විසින් කූඩුවේ සිටින මිතුරාට දී තිබූ වැඩි සීනි තේ වලට රයිµනෝල් නම් නිදි පෙති වර්ගය කුඩු කර මදි නොවෙන්නට මුසු කර දමා ඇත. මාත්‍රාව වැඩිවූ කල එම ඖෂධය නිසා පිස්‌සු කෙලින්නට පටන් ගන්නා බවත් පුද්ගලයා දරුණු වැඩ කරන්නට පෙළඹෙන බවත් දන්නේ ස්‌වල්ප දෙනෙකි. මෙය වේදනා නාශකයක්‌ද නිසා මිතුරා තේ එකට එම පෙති වැඩිපුර මිශ්‍ර කර ඇත්තේ වැඩි හොඳටය.

ප්‍රශ්න කිරීමට අවශ්‍ය සැකකරුව “මස්‌ කඩයට” ගැනීම සිදුවන්නේ මැදියම් රැයටයි. බාල්කේ එල්ලලා යටිපතුලට ගැසීම, දණහිස්‌වලට යටින් සහ කිහිළි අතරින් බැටන් පොල්ල යවා ධර්ම චක්‍රයේ ඇරීම, අධිබල වතුර එන හෝස්‌ එකකින් නෑවීම, මොට ආයුධ වලින් පහර දීම, කුරුමිණියෙක්‌ හෝ බිංකුඩ්ඩෙක්‌ බුරිය මතට දමා හිස්‌ වතුර වීදුරුවකින් වැසීම වැනි දඬුවම් ක්‍රම එදා නම් මස්‌ කඩය තුළ සුලභව පැවතියත් අද ඒවා ගැන අසන්නට නැත්තේ ඊට වඩා ඵලදායී ක්‍රම සහ විධි අද පැමිණ ඇති නිසා විය යුතුය. ඈතින් ඇසෙන මොරගැසීම් සහ විලාප නිසා කූඩුවේ ඉන්න එකා තීරණය කරන්නේ මම නම් ඇත්තම කියල දානවා කියායි.

“ඕ.අයි.සී. ගෙන් බේරුණත් අර මහත්තයාගෙන් විසුමක්‌ නැහැ, මහරෑට බීල ඇවිත් ඇතුලට ගත්තම ඕනි අයිය කෙනෙක්‌ බොක්‌කෙ තියෙන දේත් වමාරනව, මැරුවත් පාවා දෙන්නෑ කියන මහ ලොකු චන්ඩි ඒ මහත්තයගේ වචන දෙකට මුලු ජාතකේම කියනව”

ඒ කූඩුවක සිටි අපේ මිතුරු සෙවනේ සිටි කොල්ලෙක්‌ මා සමග කියූ කතාවකි.

මානව හිමිකම් කාරයෝද පොලිස්‌ කූඩු වටා ගැවසෙනු මා දැක ඇත. ඔවුන් එන්නේ සැකකරුගේ අයිතිවාසිකම් වෙනුවෙනි. පුද්ගලයෙක්‌ පොලිසියෙන් රැගෙන ගිය කල අද සමාජයේ සමහරු පුරුදුව සිටින්නේ සැනින් මානව හිමිකම් සංවිධානයක්‌ වෙත ගොස්‌ උපකාර ඉල්ලා සිටීමයි. බොහෝ විට මානව හිමිකම් ගැන පැමිණිලි කරන්නේ නීතිය ගැන දන්නා පොලිස්‌ කූඩුවල හිඳ අත්දැකීම් ඇති පලපුරුදු පාර්ශවයන්ය ඔවුන් උත්සාහ කරන්නේ තම සේවාලාභියාව හැකි ඉක්‌මණින් පොලිස්‌ ඇපයක්‌ මත එලියට ගැනීම හෝ ඉක්‌මනටම රිමාන්ඩ් එකට යවා ගැනීමයි. පොලිසියෙන් වෙන හිරිහැර අවම කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

සෑම පොලිසියකම වාගේ රැඳවියන්ට නියමිත ආහාර වේල් තුනම ලබා දෙයි. ඒ පොල් සම්බෝල සමග බත් මුලකි. නැත්නම් දෙකට කපා ඒ මැදට හොද්දක්‌ ගාන ලද පාන් භාගයකි. ඊට අමතරව තේ කහට සහ මෙලෝ රහක්‌ නැති කිරි තේද පොලිස්‌ කූඩුවට සපයනු ලබයි.

බොහෝ රට රාජ්‍යවල ඇවිද ඇති මා අවස්‌ථාවක්‌ ලදොත් එහි ඇති පොලිසියකට ගොඩවී කූඩුව බලා ගන්නට අවස්‌ථාවක්‌ උදාකරගන්නේ මොන හේතුවකටදැයි මටම නොතේරේ. මා දැක ඇති නරකම පොලිස්‌ කූඩු ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේය. එමෙන්ම පාකිස්‌තානයේ කරච්චියේ පොලිස්‌ සිරමැදිරිද පවතින්නේ අන්තිම සවුත්තු තත්ත්වයේයි. ස්‌aවීඩනය, නොර්වේ, පින්ලන්තය වැනි රටවලත් කැනඩාවේ කිංස්‌ටන් නගරයේ ඇති පොලිස්‌ කූඩු කීපයකුත් සියෑසින් දැක ඇති මට සිතෙන්නේ ඒවාට එන සැකකරුවන් වාසනාවන්තයෝ කියායි. මක්‌නිසාද අප රටේ ඇති වතු සහ මුඩුක්‌කු ආශ්‍රීත නිවෙස්‌ වලට වඩා දෙතුන් ගුණයක්‌ ලොකු එම මැදිරි වල ගුණාත්මක භාවයද අපේ සාමාන්‍ය නිවසකට වඩා බොහෝ ඉහළය. නමුත් ඒවා සිරමැදිරි බව සැනින් සිහිවෙද්දී එම සිතුවිල්ල පහව යයි.

අපේ පොලිස්‌පතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා සහ ජනාධිපතිතුමා වෙස්‌ වලාගෙන විත් පොලිස්‌ කූඩු පරීක්‍ෂාවට ලක්‌ කරනවා නම්ද අගනේය කියා කියමින් ලිපිය අවසන් කරන්නට කැමැත්තෙමි

මිත්‍ර ශ්‍රී කරුණානායක

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!