“සිරිසේන – TNA කොටි අත්සන් කළ ගිවිසුම රට හමුවේ තබන්න” – ජාතික නිදහස් පෙරමුණ

Spread the love
  •  
  •  
  •  
  •  

දෙමළ ජාතික සන්ධානය, දෙමළ ගෝලීය සන්සදය ඇතුළු දෙමළ ඩයස්පෝරාව මෙවර ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන දිනවන බව පවසා ඇති බවත් ඊට අදාළව ගිවිසුමක්ද අත්සන් කොට ඇති බවත් පවසන ජාතික නිදහස් පෙරමුණ එම ගිවිසුම රට හමුවේ තබන ලෙස පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරයි.

කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා මෙසේ අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා මෙසේද පැවසීය.

‘‘පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල ප‍්‍රසිද්ධියේ ගිවිසුම් දෙකකටත් හොර රහසේ තව ගිවිසුමකටත් අත්සන් තබා තිබෙනවා. ප‍්‍රසිද්ධ පළමු ගිවිසුම අත්සන් තැබුවේ ‘රනිල් – චන්ද්‍රිකා – ෆොන්සේකා – එන්. ජී. ඕ. නඩය’ සමග පසුගිය පළමුවැනිදායි. ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම’ යන මූලික එකගතාව පිළිගනිමින් තමයි ඉහත පිරිස් ගිවිසුමකට එළඹ ඇත්තේ.

එහිදී සිදු වූ එක් කනගාටුදායක සිදුවීමක් ද මෙහිදී මතක් කළ යුතුයි. ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම’ යන සටන් පාඨය මුල් කර ගනිමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් තමයි මෙම පොදු අපේක්‍ෂක සංකල්පය සමාජගත කළේ. නමුත් මේ ගිවිසුම් ගතවන වෙලාවේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් නොසලකා හරිමින් කටයුතු කළ ආකාරයක් දකින්න ලැබුණා. මෙවන් අවස්ථාවක මෙතෙක් පැවති සම්ප‍්‍රදාය වූයේ බෞද්ධ භික්‍ෂූවට මුල්තැන දීමයි. ඒ වගේම මේ පොදු ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය කැඳවා තිබුණේද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයයි. නමුත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට එම ගිවිසුමට අත්සන් කිරීමට සිදු වූයේ, රනිල් වික‍්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග, සරත් ෆොන්සේකා ඇතුළු හය හත් දෙනකු ඊට අත්සන් යෙදීමෙන් පසුවයි. ගිවිසුම් අත්සන් කරන විට මෛත‍්‍රීපාල සිරිසේනලා බෞද්ධ භික්‍ෂුවට සලකන්නේ මෙහෙම නම්, බැරි වෙලාවත් බලය ලැබුණොත් කුමක් නොකරාවිද? යන ප‍්‍රශ්නය මෙහිදී මතු වෙනවා.

කෙසේ නමුත්, දින 100කින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවටයි ප‍්‍රථම ගිවිසුම අත්සන් තැබුණේ. දෙවැනි ගිවිසුම මෛත‍්‍රීපාල සිරිසේන හා ජාතික හෙළ උරුමය අතර අත්සන් තබා ඇත්තේ ඊයේ(02) දිනයේදීයි. මෙම ගිවිසුම තුළ වන මූලික කරුණ, ‘විධායක ජනාධිපති ක‍්‍රමයේ අත්තනෝමතික බලතල අහෝසි කිරීම’ යන්නයි. ඒ අත්තනෝමතික බලතල මොනවාදැයි රට හමුවේ අනාවරණය කර නැහැ. පළමු ගිවිසුමෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා එකග වෙනවා, දින 100න් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න. දෙවන ගිවිසුමෙන් එකග වෙනවා, දින 100න් විධායක ජනාධිපති ක‍්‍රමයේ අත්තනෝමතික බලතල අහෝසි කරන්න. මේක හරියට යම් තැනැත්තෙක්, තවත් කෙනෙක් සමග තමන්ගේ අනවසර ඉදිකිරීමක් සම්පූර්ණයෙන් ඩෝසර් කරන්න එකග වෙලා, වෙනත් කෙනෙක් සමග එහි කොටසක් පමණක් ඩෝසර් කරන්න එකග වෙනවා වගේ වැඩක්. ඒ නිසා මෛත‍්‍රීපාල සිරිසේන මහතා රට හමුවේ පැහැදිලිව කිය යුතුයි, තමන් දින 100න් කරන්නේ කුමක්ද, කියා.

ඒ වගේම ඊයේ හයිඞ් පිටියේ පැවැති ‘පුරවැසි බලය’ කියන රාජ්‍ය නොවන සංවිධානය කැඳවා තිබූ රැස්වීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සෘජුවම සහාය පළ කරන ‘රනිල් – චන්ද්‍රිකා නඩය’ වගේම වක‍්‍රව සහයෝගය දෙන දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයාද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාද සහභාගී වී තිබුණා.

එම්. ඒ. සුමන්තිරන් පැමිණ සිටියේ දෙමළ ජාතික සන්ධානය වගේම ගෝලීය දෙමළ සංසදය ඇතුළු දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරමිනුයි. මේ අනුව ඉතා පැහැදිලියි මෛත‍්‍රීපාල සිරිසේන හා දෙමළ ඩයස්පෝරාව අතර රහසිගත ගිවිසුමක් තිබෙන බව. අපි ඉල්ලා සිටින්නේ මේ රටට හතුරු ගිවිසුම රට හමුවේ තබන ලෙසයි.

මෙහිදී අපි ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියා පිළිවෙත දෙසද සලකා බැලිය යුතුයි, ‘මහින්ද රාජපක්‍ෂ පරදවන්න’ කියන සටන් පාඨය තුළ ඇත්තේ, ‘මෛත‍්‍රීපාල දිනවන්න, ඔහුට සහාය දෙන්න’ කියන එකයි. එදා 1988දී එක්සත් ජාතික පක්‍ෂයේ මිනීමරු පාලනයෙන් රට බේරා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධානගත විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ දිවංගත නායක සදාදරණීය රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දේශපාලන මණ්ඩලය තීන්දු කළා. ඒ සාකච්ඡුා සඳහා මූලිකත්වය ගෙන ක‍්‍රියා කළේ ජවිපෙ හිටපු නායක, සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු පිරිසක්. කෙසේ නමුත් එදා එම සාකච්ඡා බිඳ වැටුණා. ඒ අනුව 1988 ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ජවිපෙ තීරණය කළා. 1988 දෙසැම්බර් 19 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් සිරිමා බණ්ඩාරනායක මැතිනිය පරදවා ආර්. පේ‍්‍රමදාස මහතා ජය ගත්තා. ඉන්පසුව තමයි පේ‍්‍රමදාස පාලනය ධවල භීෂණයක් ක‍්‍රියාත්මක කොට රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු මේ රටට ආදරය කළ තරුණ තරුණියන් 60,000කට ආසන්න පිරිසක් මරා දැමුවේ. එදා ඒ ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ගත් තීරණය වැරදි බව පසුව ජනතා විමුක්ති පෙරමුණ ස්වයං විවේචනාත්මකව පිළිගනු ලැබුවා. නමුත් අද ඒ වරද යළිත් සිදු කිරීම ජවිපෙ වත්මන් නායකත්වය කටයුතු කරනවා. ජනාධිපතිවරණය වර්ජනය කොට, මහින්ද රාජපක්‍ෂ පරදවා රනිල් වික‍්‍රමසිංහගේ පාලනයකට පාර කපා අනුර දිසානායකලා සිදු කරන මේ වරද, රටට ආදරය කරන ජවිපෙ සාමාජිකත්වය විසින් තේරුම් ගත යුතුයි’’

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ [sexypoll id=”9″]

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!