සිරිසේන පත්කළ ආයතන ප්‍රධානීන්ගෙන් රනිල් ඉල්ලා අස්වීමේ ලිපි ඉල්ලයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඉකුත් දින සියය රාජ්‍ය සමයේදී ජනාධිපතිවරයාගේ උපදෙස්‌ මත මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් රාජ්‍ය ආයතන රැසකට පත් කරන ලද ප්‍රධානීන්ට ඉල්ලා අස්‌වීමේ ලිපි ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් ඊයේ (18 දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දැනුම්දී ඇත. රාජ්‍ය බැංකු හා ඊට අනුබද්ධ ආයතන, වැවිලි සමාගම් 03 ක්‌ හා තවත් රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීහු ඒ අතර වෙති.
ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සාකච්ඡා කාමරයකට සියලුම ආයතන ප්‍රධානීන් කැඳවා ඇති ලේකම්වරයා සියලුම දෙනාට ඉල්ලා අස්‌වීමේ ලිපි ලබා දෙන්නැයි දැනුම්දී ඇත.
එහිදී එක්‌ එක්‌ නිලධාරීන් නැගී සිට ඊට විරෝධය පළ කර අදහස්‌ දක්‌වද්දී තමාට ඒවාට උත්තර දීමට අවශ්‍යතාවක්‌ නැතැයිද ඉල්ලා අස්‌වීම් ලබා දෙන්නැයිද දැනුම්දී අග්‍රාමාත්‍ය ලේකම්වරයා එම ස්‌ථානයෙන් පිටව ගොස්‌ තිබේ.
ඉන්පසු කිසිදු ආයතන ප්‍රධානියකු ඉල්ලා අස්‌වීම් භාර නොදී අරලියගහ මන්දිරයෙන් පිටව ගොස්‌ තිබේ.
රාජ්‍ය බැංකු, බැංකුවලට අනුබද්ධ ආයතන, වැවිලි සමාගම් හා තවත් රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් එම ස්‌ථානයට කැඳවා ඇත. මෙම පිරිසට ඉකුත් දින සියය රජය සමයේ ජනාධිපතිවරයාගේ උපදෙස්‌ මත මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් සියලු පත්වීම් ලබාදී ඇත. නව රජය පත් වීමත් සමඟ මුදල් අමාත්‍යාංශය සතුව තිබූ රාජ්‍ය බැංකු ඊට අනුබද්ධ ආයතන හා තවත් සමාගම් රැසක්‌ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා යටතට පත්වීමත් සමඟ මෙම ආයතන ප්‍රධානීන් පත් කිරීමේ ගැටලුව ආරම්භ විය.
දින සියයේ ආණ්‌ඩුව යටතේ රාජ්‍ය ආයතනවලට පත් වූ ප්‍රධානීන් ඉවත් නොකිරීමට ජනාධිපතිවරයා තීරණයක්‌ ගෙන තිබියදී මෙලෙස තමන්ව ඉවත් කිරීමට යම් පිරිසක්‌ උත්සාහ දරන බව එම නිලධාරීහු චෝදනා කරති.
මෙම නිලධාරීන්ගෙන් බහුතරයක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයේ විවිධ සංවිධානවල හා ආයතනවල තනතුරු දැරූ පිරිසක්‌ වන අතර එජාප ආණ්‌ඩුවක්‌ යටතේම මෙලෙස පීඩනයට ලක්‌ කිරීම තමන්ට දරාගත නොහැකි බව ඔවුහු පවසති.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!