“සංහිඳියා බලකායක් ගැන මම නම් දන්නේ නෑ” – රනිල්

“සංහිඳියා බලකායක් ගැන මම නම් දන්නේ නෑ” – රනිල්

Spread the love
  •  
  •  
  •  
  •  

ජාතික සංහිඳියාව සඳහා වූ කාර්ය සාධක බළකායක් පිළිබඳව තමා තොරතුරු නොදන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) සඳහන් කළේය.
ජාතික සංහිඳියාව සඳහා වූ කාර්ය සාධක බළකායක් පිහිටුවා ඇතිදැයිද හිටපු ජනාධිපතිනිය එහි ප්‍රධානියා ලෙස පත්කර ඇතිදැයිද යන්න දැන ගැනීමට විමල් වීරවංශ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.
ජාතික සංහිඳියාව සඳහා වූ කාර්ය සාධක බළකායක් ගැන මම නම් දන්නේ නැහැ. ඒ බළකායේ ප්‍රධානියා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කියලා කිව්වනේ. ඒක එතුමියගෙන් අහලා දැනගන්න. ඔබතුමන්ලාගේ පරණ යාළුවොනේ.
විමල් වීරවංශ මහතා –
මම විහිළු ජවනිකාවක් පටන් ගන්න නොවෙයි ප්‍රශ්නයක් ඇහුවේ. මෙවැනි බළකායක් නැද්ද එතකොට. ඒ ගැන පළවන මාධ්‍ය වාර්තා බොරුද?
අගමැති – මමයි චන්ද්‍රිකා මැතිනියයි පරණ යාළුවෝ. අපි ‍පොඩිකා‍ලේ එකට නැටුම් ඉගෙන ගත්තා. මාධ්‍ය වාර්තා ගැන මම දන්නේ නැහැ. ඔබතුමාලා සංහිඳියාවට කැමති නැද්ද?
විමල් වීරවංශ මහතා –
ඔබතුමා මගෙන් ප්‍රශ්න අහලා වැඩක් නැහැ. මමයි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවේ.
අගමැතිවරයා –
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි බැන් කී මූන් සමග යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට එකඟතාවයක් ඇති කරගත්තේ. පසුව තමන්වම ඒකට ගෙනියාවි කියලා බයවෙලා ඒකට විරුද්ධ වුණා. ඒකයි කතාව.
විමල් වීරවංශ මහතා –
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය නැති කරලා සංහිඳියාව ඇති කළා. ඒ රජය කොයි වෙලාවකවත් යුද අධිකරණයක් සඳහා එකඟතාව පළ කර නැහැ.
අගමැති –
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද අධිකරණ අති කිරීමට කටයුතු කළා. මෛත්‍රීපාල ජනාධිපතිවරයා ආව නිසා ඒවලින් අපේ රට ගැලවුණා.
විමල් වීරවංශ මහතා –
ඔව්. ඒක හොඳට පේනවා. යාපනේ විශ්වවිද්‍යාලයේ සිංහල ශිෂ්‍යයින්ට පහර දෙනවා. ඊනියා සංහිඳියාව ගැන අපට හොඳට පෙනෙනවා. මේ වගේ අගමැති කෙනෙක්ගෙන් ප්‍රශ්න අහලා වැඩක් නැහැ. මෙහෙම අගමැති කෙනෙක් ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. ලොවි ගහ මුලත් නැහැ. දෙල්කඳ ‍පොළෙත් නැහැ.
අගමැතිවරයා –
ඔව් ඕන වෙලාවට මම අගමැති. නැති වෙලාවට නැහැ.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!