වෙලේ සුදා ජීවිතාන්තය දක්වා හිරගෙදරට ?

වෙලේ සුදා ජීවිතාන්තය දක්වා හිරගෙදරට ?

Spread the love
  •  
  •  
  •  
  •  

නඩුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්කි ඉදිරිපත්ව ඇති නිසා හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වැරදිකරු ලෙස සමන්ත කුමාර නැමැත්තාට (වෙලේ සුදාට) ජීවිතාන්තය දක්වා සිරදඬුවම හෝ මරණීය දණ්ඩනය නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය නීතිපතිවරයා වෙනුවෙන් ඊයේ (08) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියා.
වෙලේ සුදාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ අවසන් දේශනය කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ මෙම ඉල්ලීම කරනු ලැබුවා.
2008 දෙසැම්බර් 04 දින හෝ ඊට ආසන්න දිනක ගල්කිස්ස විද්‍යාල මාවතේ දී හෙරොයින් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනා 02 යටතේ මෙම නඩුව පවරා තිබුණා.
නඩුවේ සාක්කි විභාග කර රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලේ අවසන් සමාලෝචන දේශනය පහතින් දැක්වෙනවා.
“2008 දෙසැම්බර් 04 දින ගල්කිස්ස අධිකරණය ආසන්නයේ විද්‍යාල මාවතේදී විත්තිකරුව අත්අඩංගුවට ගත්තා. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රංගජීව කියන මේ නඩුවේ පළමු සාක්ෂිකරු මොහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ දකුණු අතේ හෙරොයින් ග්‍රෑම් 84 යි මිලිග්‍රෑම් 200 ක පාර්සලයක් තිබුණා. එය හෙරොයින් බවට විත්තිකරු හොඳාකාරව දැන සිටියා. එම පාර්සලය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් රජයේ රස පරීක්ෂකට යොමු කළ විට ශුද්ධ හෙරොයින් ග්‍රෑම් 7.05 ක් තිබෙන බව ඔප්පු කර තිබෙනවා.
මේ අත්අඩංගුවට ගැනීම හා රජයේ රස පරීක්ෂකට යොමුකරන ක්‍රියාදාමය තෙක් නිවැරැදිව, නීත්‍යානුකූලව, කිසිදු සැකයකින් තොරව සාක්ෂි සනාථ කිරීම මේ නඩුවේදී කර තිබෙනවා. විත්තිය මඟින් කිසිදු හබ කිරීමක් කර නෑ. සාක්ෂි බිඳීමක් කර නෑ.
රංගජීව නිලධාරියාට සහාය වූ විජේසිංහ නිලධාරියාගේ හෝ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සමරකෝන් නිලධාරියාගේ සාක්ෂි බිඳින්න හෝ එම සාක්ෂි බොරු කරන්න විත්තියට හැකි වී නෑ.
මෙම විත්තිකරුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කොටුකර ගත්තේ පුළුල් මෙහෙයුමකින් පසුවයි.
එහෙත් විත්ති වාචිකය ඉදිරිපත් කළ විත්තිකරු කියා සිටියේ තමන් කැමැත්තෙන් රංගජීවගේ වාහනයට නැග්ගා කියලා.
හෙරොයින් ගැන දන්න, ‍මීට පෙර හෙරොයින් සම්බන්ධයෙන් නඩුවලට පෙනී සිටි විත්තිකරු ‍නාකොටික් වාහනේකට නැගල යන්න ඔහු බබෙක් නෙවෙයි. නාශක කාර්යාංශය ඉදිරිපත් කරන කුඩු පාර්සලයකට අත්සන් කරන්න තරම් ඔහු ලාමකයෙක් නොවෙයි. අත්අඩංගුවට ගත් නිලධාරීන් බඩෝවිට ප්‍රදේශයේදී නි‍වසක වහලයට නැගලා කුඩු පාර්සලයක් අරගෙන ඇවිල්ලා විත්තිකරුට එම චෝදනාව ඉදිරිපත් කළා කියන වි‍ත්තිවාචිකය පිළිගන්න බෑ ස්වාමිනි.
රංගජීව නිලධාරියා මහ දවල් බඩෝවිට නිවසක වහලයට නැග්ගද? ඒ ‍ගෙදර මිනිස්සු ඉඳිද්දි විත්තිකරුට එම කුඩු පාර්සලය දාන්න උවමනාව මොකක්ද? කුඩු පාර්සලය ගේනකම් වෙලේ සුදා වෑන් එකේ හිටියද? මේවා විශ්වාසනීයත්වයෙන් තොර විත්තිවාචික ස්වාමිනි.
මොහු මුල පටන් බොරු සාක්ෂි දුන් පුද්ගලයෙක් බව පැමිණිල්ල මඟින් සනාථ කරලා තියෙනවා.
අකුරු ලියන්න, කියන්න බැරි විත්තිකරුගේ කුඩා කල ජීවිතය සාක්ෂි මඟින් අනාවරණය වුණා. සහෝදර සහෝදරියන් සිව්දෙනෙක් කුඩා කාලයේ මොහු සමඟ එක කාරයේ පාසල් ගියා. කුඩාම නංගිගේ වයස අවුරුදු අටයි. එසේ නම් ඇය පළමු වසරේ. එතකොට විත්තිකරු අට පාස් කරලා තිබිය යුතුයි. අට පාස් පුද්ගලයෙකුට අකුරු බැරිද? අන්න එතකොට විත්තිකරුගේ බොරුව හෙළිවෙනවා.
මොහු මුදල් උපයා ගත්තේ රුපියල් අට ගානේ පොල් ලොරි බාගයක් විකුණලද? එයත් මාස තුනකට සැරයක්, බිත්තර 200 ක් විකුණලද? නැතහොත් අන්නාසි ගෙඩි 100 ක් විකුණලද? ඔහු කියන මේ බොරුව පැමිණිල්ල මගින් සනාථ කළාට පසුව විත්තිකරු මොකක්ද කියන්නේ. සල්ලි පොලියට දුන්නලු. පොලියට දෙන ආයතනයක් තමන්ට තිබුණලු. මේ පොලියට දුන් ආයතනය 2003 පටන් අරන් 2008 වසා දැම්මා කියලා කිව්වාම ගෙදර ඉඳන් පොලියට දුන්නලු.
පොලියට දීම කොහොමද කියලා අපි ඔහුගේ බැංකු පොත් නඩු භාණ්ඩයක් හැටියට ඉදිරිපත් කරමින් සනාථ කළා. 2002 වසරේ සිට 2003 වසරවල මාසයට රුපියල් බිලියනය බැගින් බැර වෙලා තියෙනවා. සමහර මාසවල බිලියනය, දෙක, තුන වෙලා. මේ අනුව විත්තියේ සාක්ෂි අභව්‍ය සාක්ෂි බව පැහැදිලියි.
විත්තිකරු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කළ බව මේ අධිකරණයේදී පිළිගත්තා. සුනිමල් සංජීව හා සමන් ප්‍රදීප් යන ව්‍යාජ නම් ඔහු භාවිතා කළා.
විත්තිකරු හෙරොයින් ජාවාරම්කරු යැයි ප්‍රකට “සිද්ධීක්” ළඟින් ඇසුරු කළා. ඔහු සමඟ ඉන්දියාවටත්, පකිස්ථානයටත්, ඩුබායිවලටත් ගියා. සිද්ධික්ගේ හෙරොයින් සහිත හයිබ්‍රිඩ් රථයක් පොලිසියට කොටුකර දුන්නා.
හොර පාස්පෝට් හදලා රටින් පැනගත්ත වෙලේසුදාව ලෝකේ වටේ අරන් යන්න සිද්ධික්ට තියෙන උවමනාව කුමක් ද? සිද්දික්ගේ දරුවෙක් සැත්කමක් කරලා තිබියදීත් පිටස්තරයකු මාස ගණන් ගෙදර තියාගන්න සිද්දීක්ට තියෙන උවමනාව කුමක්ද?
රටින් පැන්නේ එක්තරා ඇමැතිවරයකුට බයේ පණ බේරාගන්නලු. ඔහු රටින් පැන්නේ මේ නඩුවට බයේ කියලා පැමිණිල්ල සනාථ කළා. මොකද විත්තිකරු දන්නවා. කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තිබුණම මොකක්ද දඬුවම කියලා. ඔහු රට පැන්නා. පැන්නේ ඇමැතිට බයේ කියලා බොරු කිව්වා. ඇමැතිට බයේ පැන්න විත්තිකරු ඒ ඇමැති අසනීපයෙන් රෝහලේ ඉන්නකොටත් ලංකාවට ආවා. විත්තිකරු එය දැන දැනම නැවතත් රටින් පැන්නා. එහෙනම් ඒ ඇමැතිට බයේද? ඇප ලබාගැනීමේදී විත්තිකරුට කොන්දේසියක් දැම්මා. මොකක්ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පෙනී ඉන්න කියලා. නීතිගරුක යැයි කියූ විත්තිකරු කිසිදු අවස්ථාවක ලංකාවට ඇවිල්ල එම ඇප කොන්දේසි‍ය සපුරාලීමට ඉදිරිපත් වුණේ නෑ.
විත්තිකරුගේ දේපළ ඉපැයීම් පිළිබඳවද පැමිණිල්ල සාක්ෂි ඉදිරිපත් කළා.
කොළඹ 07 ගෙවල් 02 යි. රෝයල් පාක්වල ගෙවල් මේ ගෙවල්වල වටිනාකම මිලියන 150 යි, 180 යි මාදිවල, කොට්ටාව, මහරගම, පිළියන්දල, දෙහිවල ගෙවල්, දේපළ ඔහු සතුයි.
මේ ගෙවල් ගත්තේ තාත්තගේ සල්ලිවලින් කිව්වා කුලියට හිටියයි කිව්වා. එය බොරු බව පැමිණිල්ල සාක්ෂි සහිතව ඔප්පු කළා. පැමිණිල්ල බොරු යැයි ඔප්පු කරන විට විත්තිකරු තව තවත් බොරු කිව්වා. ඔහුගේ සාක්ෂි අභව්‍යයයි. විශ්වාසනීයත්වයෙන් තොරයි. ඔහු තමන්ට වාසි යැයි සිතන දේ ගැන ඇත්ත කියනවා. අවාසි යැයි සිතන දේ ගැන බොරු කියනවා. තමන් කුලියට ඉන්නවා කියලා තාත්තාට බොරු කිව්වේ මොකද කියලා ඇහුවම ඔහු කිව්වේ “මට හිතුණා, මම කිව්වා” යැයි කියලා. කිව්වා. මෙය තමයි ඔහුගේ සැබෑව ඔහු මේ අධිකරණයෙත් දිවුරලා බොරු කිව්වා.
විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් කර ඇති චෝදනා නිසි පරිදි සනාථ කර තියෙනවා. විත්තිය එය කිසිදු අයුරකින් බිඳ හෙළීමක් හෝ හබ කිරීමක් කර නොමැති බැවින් උපරිම දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියි. ”
පැමිණිල්ලේ දේශනය අවසන් නිසා විත්තියේ දේශන ලබන 15 දින ආරම්භ කිරීමට නියමිතයි.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!