විරුද්ධ පාක්‍ෂිකයන් සිරගත කර යහපාලුවන් ජනතාවට දෙන “ආතල්” එක සහ සජින්ද වාස්ගේ අමුතු අත්අඩංගුවට ගැනීම

විරුද්ධ පාක්‍ෂිකයන් සිරගත කර යහපාලුවන් ජනතාවට දෙන “ආතල්” එක සහ සජින්ද වාස්ගේ අමුතු අත්අඩංගුවට ගැනීම

Spread the love
  •  
  •  
  •  
  •  

මිනිස්‌ ඝාතනයක්‌ සිදු වීම යනු අතීතයේ මෙරට ජනසමාජය භීතියට සහ කම්පනයට පත් කෙරුණු කරුණක්‌ විය.
එවැන්නකදී මිනිස්‌සු කම්මුලේ අත තබාගෙන අනේ අපොයි කියන්නට වූහ. ඇතැම්හු ඝාතකයාට දෙස්‌ දෙවොල් තැබූහ. ඔහුව පිළිකුල් කළහ.
එහෙත් එසේ තිබූ ශ්‍රී ලාංකීය ජන මනසට පසු කලකදී මරණය හා ඝාතනය යන්න සිල්ලර වී ගියේය. 1988-89 යුගයේ පැවති ටයර් සෑ මත මළ මිනී දැවුණු භීෂණ යුගයත්, තිස්‌ වසරක යුද්ධයත් එකී සාමාන්‍යකරණයට හේතු වූවා විය හැකිය.
මේ අන්දමින්ම මෙරට සමාජයේ මිනිසුන් බෙහෙවින් පිළිකුල සහ බිය දැක්‌වූ තවත් කරුණක්‌ද තිබිණ. ඒ යමෙකු සමාජ විරෝධියකු ලෙස චෝදනා ලැබ සිරගත වීමය.
එහිදී සිරගත එකා දෙස මිනිස්‌සු අප්‍රසන්නව බලන්නට වූහ. ඔහුව හඳුන්වන විශේෂණය ලෙස යොදා ගත්තේ හිරකාරයා යන වචනය ය. එහෙත් එදා මරණය සිල්ලර කෙරුණාක්‌ මෙන් යහපාලනය අද අපට හිරකාරයා සහ සිරගත වීම යන කරුණ දිනෙන් දින සිල්ලර කරමින් නොසිටින්නේද?
සැබැවින්ම කෙරෙමින් තිබෙන්නේ ඒ ටිකය. එපමණක්‌ නොව, එසේ කරන අතරේ ආණ්‌ඩුව අද එළිපිටම රටේ නීතියද අවභාවිත කරමින් සිටින්නේය.
එහිදී මාතෘකාව බවට පත්ව ඇත්තේ “හොරුන්ට දඬුවම් දීම” යන්නය. මේ රටේ දේශපාලන හොරු සහ ඔවුන් වටේ සිට කුට්‌ටි කෑ උන් පිළිබඳ කතා කරන්නට ගියොත් මේ ආත්මයේ කොටසක්‌ ලියා ඉතිරි කොටස හෙවත් කන්ටිනිව් එක ලියන්නට වන්නේ ලබන ආත්මයේදීය.
වැඩේ ඒ තරමටම බරපතළය. එසේම එකී දේශපාලන හොරුන් සිරගත කළහොත් තට්‌ටු හැට හැත්තෑවක සිරගෙයක්‌ද තනන්නට වුවමනාය. යථාර්ථය එය වන්නේය.
ඇත්ත එසේ වෙද්දී ආණ්‌ඩුවේ හොරු ඇල්ලීමේ විශේෂ ව්‍යාපෘතිය අනුව අද සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? “මෙන්න හොරා” කියමින් ලේබලය අලවා යහපාලනයට එරෙහි දේශපාලන විරෝධීන් මර්දනය කිරීම නොවේද?
මෙහිදී සිරගත කෙරෙන එකා ඇතැම් විට යම් තරමකට හොරකමක්‌ කර තිබෙනවාද විය හැකිය. එහෙත් වැඩේ සිද්ධ වන ආකාරයට සැබෑ හොරාද අහිංසකයකු ලෙස රටේ මිනිස්‌සු සිතන්නාහ. නිකමට හෝ අද ආණ්‌ඩුව හොරකු යෑයි පවසමින් සිරගත කරන කෙනා හෙට ආණ්‌ඩුවේ වේදිකාවට නැගුණහොත් එතැනින් සියල්ල නිමා වන්නේ අරුම පුදුම අයුරිනි. එවන් හොරු කී දෙනෙක්‌ මේ මොහොතේත් ආණ්‌ඩුව සමඟ සිටින්නේද?
ආණ්‌ඩුවේ හොරු ඇල්ලීමේ ව්‍යාපෘතියට අනුව යහපාලන විරෝධීන් අද දිගින් දිගටම සිරගත කෙරෙමින් ඇත. එහිදී සාක්‍ෂි සාධක කිසිත් අවශ්‍ය නැත. අවැසිව ඇත්තේ පොලිස්‌කාරයකු සහ දණ්‌ඩ නීති සංග්‍රහයේ වගන්තියක්‌ පමණය.
තිරපිටපත ලියා කතාව අධ්‍යක්‍ෂණය කරනුයේ පොලිසිය විසිනි. ඉතින් යහපාලනයට වහකදුරු වූ ඇතැම් දේශපාලනඥයෝ පෝලිමේ සිරගත කෙරෙන්නාහ. මේ ඇතැම් සිද්ධින්හිදී නඩු විසඳන විනිසුරන්ද දැඩි අපහසුතාවට පත්වූ තැන්ද තිබිණ.
සිරගත කිරීම යන්න දැන් ජනතාවට ආතල් එකක්‌ වී ඇත. ඇතුළට යැමද ආතල් එකක්‌ බවට පත්ව ඇත. කෙටියෙන් කිවහොත් වැලිකඩ බෝඩිම අද යහපාලනයට එරෙහි දේශපාලනඥයන්ගේ නිවාඩු නිකේතනය බවට පත් කිරීමට ආණ්‌ඩුව පියවර ගෙන තිබෙන්නේය. එය මොනතරම් වටිනා සංවර්ධනාත්මක පියවරක්‌ද? අනේ., වාසනාවන් යහපාලනය කොච්චර හොඳද?
මෙසේ ආණ්‌ඩුවේ හොරු ඇල්ලීමට අනුව ඉකුත් දෙසතිය තුළ දේශපාලනඥයෝ තිදෙනකුම ඇතුළට ගියහ. ඉන් දෙදෙනකු වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල්ය. මේ සටහන තබන මොහොතේ උදය ගම්මන්පිල ඇපමත නිදහස්‌ වූ බවක්‌ද වාර්තා විය.
අනෙක්‌ කෙනා වූයේ පසුගිය රජයේ විදේශ කටයුතු අධීක්‍ෂණ මන්ත්‍රිවරයාව සිටි සජින් වාස්‌ ගුණවර්ධනය. සජින් වාස්‌ ගුණවර්ධන මහතා මේ අන්දමින් මීට පෙර අවස්‌ථාවකද වැලිකඩ බෝඩිමේ නතර කරන්නට ආණ්‌ඩුව පියවර ගත්තේය.
එහිදී ඔහුට එල්ල වූ චෝදනාව වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ රථවාහන කිහිපයක්‌ අවභාවිත කළේ යෑයි යනුවෙන් වූ ගොඩ වෙදාගේ තිපල් කසාය බඳු වූ ආණ්‌ඩුවේ කොමන් කතාවය.
එම සිද්ධිය හමුවේ දීර්ඝ කාලයක්‌ බන්ධනාගාරගතව සිටි සජින් වාස්‌ පසුව ඇප මත නිදහස්‌ කෙරිණ. එසේ නිදහස්‌ වීමෙන් පසු ඔහු ඉකුත් මැයි පළමු වැනිදා ගාල්ලේ පැවති ශ්‍රීලනිප මැයි රැළියට බලපිටියෙන් සෙනඟ යෑවූ බවක්‌ද අපට වාර්තා විය. ඉතින් අප සිතුවේ දැන් ඉතින් කතාව අවසන් වනු ඇතැයි කියාය.
එහෙත් ඉකුත් සතිය වන විට සජින් වාස්‌ගේ හිස මත තවත් මරාලයක්‌ ඇද වැටීමට යන බව අපට වාර්තා විය. ඒ නිසාම ඔහු මුණගැසෙන්නට අපි වෙහෙසුනෙමු. ඒ අනුව සජින් වාස්‌ දෙවන වරට සිරගත කෙරුණු ඉකුත් 27 වැනිදාට පෙරදා ඔහු මුණ ගැසී කෙටි කතාබහක යෙදෙන්නට අපට හැකි විය.
ජනාධිපති කාර්යාලයේ රථ වාහන අවභාවිත කළේ යෑයි කී චෝදනාවට මුල්වරට ඇතුළට ගොස්‌ ඇප ලබා පැමිණීමෙන් පසු ඉකුත් මැයි දිනයේදී ගාල්ලේ පැවති ශ්‍රීලනිප මැයි රැළියට සෙනඟ ද ඇද්ද සජින් වාස්‌ගේ හිස මත තවත් මරාලයක්‌ ඇද වැටෙන්නේ කෙසේද?යහපාලනයට වැරදිලාවත්ද?
“නැහැ. මේකයි කතාව. මම සෙනඟ ඇරිය එක ඇත්ත. ඒත් මම හිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එක්‌ක. ඒකෙ වෙනසක්‌ වුණේ නැහැ. මට ආයෙත් හෙට සීඅයිඩී එකට එන්න කියලා තිබෙනවා. මොකටද කියලා දන්නේ නැහැ.
හැබැයි පහුගිය දවස්‌වල සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ ආණ්‌ඩුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරලා තිබුණා මම සිරගත නොවී එළියේ ඉන්නේ කොහොමද කියලා.
ඔවුන්ට අනුව මම ඉන්න ඕනේ හිරේලු. කොහොම හරි ඔවුන්ගේ ප්‍රශ්න කිරීමෙන් පසුව මගේ ආරක්‍ෂාවට සිටි පොලිස්‌ නිලධාරින් තිදෙනාත් ඉවත් කළා. මම දන්නේ එච්චරයි..”
අපට මතුවූ මුල්ම ගැටලුවට සජින් වාස්‌ දුන් පිළිතුර එය විය. සජින් වාස්‌ කියන අන්දමට ඔහු ඇප මත නිදහස්‌ වීමෙන් පසුවත් සිට ඇත්තේ මහින්ද රාජපක්‍ෂ පිලේය. එහෙත් පසුගිය කාලයේ ඔහු මහින්දට එරෙහි ප්‍රකාශයක්‌ කිරීමට යන බවක්‌ද කියෑවෙමින් තිබිණ. අපි ඒ පිළිබඳ සජින්ගෙන් ඇසුවෙමු. මේ එයට ඔහු කී කතාවය.
“මම කවදාවත් එහෙම ප්‍රකාශයක්‌ කරන බවක්‌ කොතනකදීවත් කියලා නැහැ. ඒක කාගේ හරි ප්‍රචාරයක්‌ විතරයි. ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කළයි කියලා චෝදනා කළේ මට. මම පැවති රජයේ මන්ත්‍රිවරයෙක්‌. විදේශ අමාත්‍යාංශය අධීක්‍ෂණය කළේ මම. ඉතින් චෝදනාව මට එරෙහිව තියෙද්දී හිටපු ජනාධිපතිට හෝ රාජපක්‍ෂවරුන්ට විරුද්ධව මම මොනවා කියන්නද?
කාට හරි වුවමනාවක්‌ ඇති මට කියලා එහෙම ප්‍රකාශයක්‌ කරව ගන්න. ඒත් මට තියෙන ප්‍රශ්නේ රාජපක්‍ෂවරුන්ට විරුද්ධව කියන්නේ මොනවද කියන එක..”
අද සිරගතව සිටින සජින් වාස්‌ ගුණවර්ධන රහස්‌ පොලිසියේ යළි කැඳවීමට අනුව එහි ගියේ අපේ ඒ හමුවීමට පසුදා ය. තමන් නැවත පොලිසියට කැඳවන්නේ කුමකටද යන්න පිළිබඳ ඔහු දැන සිටියේද නැත.
එහෙයින් ඉකුත් 27 වැනිදා යළි රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සජින් වාස්‌ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ සිදු වන්නේ කුමක්‌දැයි බැලීමට අපි එහි ගියෙමු.
සීඅයිඩීය සජින් රැගෙන ආවේය. විනිසුරු ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කරමින් ඔහුට එරෙහි චෝදනාව ඉදිරිපත් කළේය. ඒ චෝදනාව වූයේ කුමක්‌ද? ක්‍රිෂ්ණා නමැති කෝටිපති ව්‍යාපාරිකයකුට තර්ජනය කර රුපියල් කෝටි හැටඑකක්‌ වටිනා චෙක්‌ පත් ලබා ගැනීමක්‌ පිළිබඳවය.
සජින් වාස්‌ ගුණවර්ධන මහතාගේ දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වසර එකහමාරක්‌ තිස්‌සේ සිදු කරන විමර්ශනයකට අනුව සොයා ගත් තොරතුරු මත ඔහු අධිකරණයට ඉදිරිපත් කළ බවද රහස්‌ පොලිසිය කීය.
එහෙත් අදාළ ව්‍යාපාරිකයා සජින් වාස්‌ තර්ජනය කළ බවට පැමිණිල්ලක්‌ කර තිබේදැයි අධිකරණය මෙහිදී රහස්‌ පොලිසියෙන් කළ විමසීමේදී පොලිසිය අපූරු කතාවක්‌ කියන්නට විය.
පොලිසිය කී ඒ අපූරු කතාව වූයේ ක්‍රිෂ්ණා නමැති ඒ ව්‍යාපාරිකයා පැමිණිල්ලක්‌ නොකළද සැකකාර සජින් වාස්‌ගේ තර්ජනවලට බයේ සැඟවී සිටින ඔහු සොයා ගොස්‌ ප්‍රකාශයක්‌ සටහන් කර ගත්තේ යෑයි යන්නය.
මෙම විමර්ශනයේදී සජින් වාස්‌ මහතාගේ ගණකාධිකාරීවරයා පැහැදිලි ප්‍රකාශයක්‌ ලබා දී නොමැති බවද මෙහිදී රහස්‌ පොලිසිය අධිකරණයට කියා සිටියද අදාළ ගණකාධිකාරීවරයා හැට වතාවක්‌ රහස්‌ පොලිසියට ගොස්‌ ප්‍රකාශ ලබා දී ඇති බව සජින් වාස්‌ගේ නීතිඥවරයා කියා සිටියේය.
අවසානයේ සියල්ල පිළිබඳ අවධානය යොමු කළ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සැකකරුවකුට දඬුවම් කළ යුත්තේ නඩු විභාගයකින් අනතුරුව බවත් එහෙයින් ඔහු තර්ජනය කළේ යෑයි කියන ව්‍යාපාරිකයා අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැකි දැයි සීඅයිඩීයෙන් විමසීය.
එහිදී පැමිණිලිකාර ව්‍යාපාරිකයා ඉදිරිපත් කළ හැකි බව රහස්‌ පොලිසිය කීය. මේ අනුව එම ව්‍යාපාරිකයා අනිද්දා (5 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැනුම් දුන් විනිසුරු ගිහාන් පිලපිටිය මහතා එදින දක්‌වා සජින් වාස්‌ ගුණවර්ධන රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
සජින් වාස්‌ දෙවන වර සිරගත වූයේ එසේය. එහෙත් මෙහිදී විනිසුරුවරයාගේද අවධානය යොමු වූ සුවිශේෂීම කරුණ වූයේ සජින් වාස්‌ගේ වත්කම් පිළිබඳ විමර්ශන කරමින් සිටි රහස්‌ පොලිසිය කඩිමුඩියේම ව්‍යාපාරිකයකු සොයාගෙන ගොස්‌ සජින් වාස්‌ තර්ජනය කළේ යෑයි ඔහුගෙන් ප්‍රකාශයක්‌ ලබාගෙන මේ අත්අඩංගුවට ගැනීම සිදු කිරීමය.
බලන්න. අපේ පොලිසිය දැන් මොනතරම් කාර්ය ශූරද? අති විශිෂ්ටද? සැබවින්ම මෙවන් පොලිස්‌ නිලධාරින්ට නිබ්බුත පද කිව යුතුය.
කෙසේ වෙතත් සජින් යළි හිරේ ගිය එක පිළිබඳ අපට ගැටලුවක්‌ නැත. මන්ද ඒ තීරණය ගනු ලැබුවේ ගරු අධිකරණය ය. එහෙත් අපට අද බරපතළ ගැටලුවක්‌ බවට පත්ව ඇත්තේ පොලිසිය මෙසේ හෙට දිනයේ අධිකරණය ඉදිරියට රැගෙන එන්නේ කවරෙක්‌දැයි කියා කල්පනා කිරීමේදීය.
සිවිල් ක්‍රියාකාරීන් හෙවත් එන්ජීඕ නඩවලට අනුව එසේ හිරේ යා යුතු අනිකා වන්නේ අද යහපාලනයට රිංගාගෙන සිටින හොර දේශපාලුවෙක්‌ද පොලිසිය මීළඟට අත්අඩංගුවට ගන්නේ එවැන්නකු විය හැකිද? සමා වන්න සම්භාවිතාව එකට බිංදුවය. කණ කැස්‌බෑවා විය සිදුරෙන් අහස බලන බව අප අසා ඇත. එහෙත් කිසිදා කිසිවකු එය දැක තිබේද?

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!