වයස 7 “අස්ලාම් මොහොමඩ් ඉස්‌මයිල්” සුදර්ශනාලංකාර පොඩි හාමුදුරුවන් වූ හැටි

වයස 7 “අස්ලාම් මොහොමඩ් ඉස්‌මයිල්” සුදර්ශනාලංකාර පොඩි හාමුදුරුවන් වූ හැටි

Spread the love
  •  
  •  
  •  
  •  

දිඹුලාගල ආරණ්‍යය සේනාසනයේ මුස්‌ලිම් දරුවකු මහණ වෙලා…’ කන වැකුණු ඒ පුවත විඩාබර අපේ සිත්වලට මහත් ශාන්තියකි. සංහිඳියාව ගැන කතා කරමින් ජාතිවාදයම වපුරන මිනිසුන් සහිත රටක මෙවැනි කතා අසන්නට ලැබීම ද පිනකි. තිස්‌ අවුරුද්දක්‌ පුරා ඇවිලී ගිය කුරිරු ජනවාර්ගික යුද්ධයේ රස්‌නය දැඩිව දැනුණු දිඹුලාගල ප්‍රදේශයෙන් මෙවැනි සිද්ධියක්‌ වාර්තා වීම ද අපේ රටේ සංහිඳියාව ගැන ලෝකයාට ලබාදෙන සුබ පණිවිඩයකි. එහෙයින් ඒ පින්බර ආරංචිය කනවැකුණුq සැණින් අපි දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ගියෙමු.
දකින දසුන සිත් සතොසින් පුරවාලන්නේය. හිමිදිරි උදෑසන පුංචි සාමණේර හාමුදුරුවරු සෙනසුන සුද්ධ පවිත්‍ර කරමින් සිටිති. දෙනමක්‌ පන්සල් මිදුල අමදිමින් සිටින අතර දෙනමක්‌ කොළ රොඩු ඉවතලමින් සිටිති. කෙළිදෙලෙන් දුව, පැන, ඇවිදිමින් කවටකමින් පොඩි හාමුදුරුවරු වැඩෙහි නිරතව සිටින අයුරු අපි බලා සිටිමු. අපේ කතා නායකයා ද ඒ සාමණේaර භික්‍ෂුන් අතර සිටිති. ඒ මෙරට සම්බුද්ධ ශාසනයට අලුත් පිටුවක්‌ එකතු කරමින් පසුගිය පසළොස්‌වක පෝය දිනයේ පැවිදි ජීවිතයට ඇතුළු වූ රත්නපුරයේ සුදර්ශනාලංකාර පොඩි හාමුදුරුවන් වහන්සේය.
‘අපි උන්වහන්සේ වැඳ නමස්‌කාර කළෙමු…’
‘සුවපත් වේවා…’ හඬ හුරතල්ය. එහෙත් ස්‌වරය ගැඹුරුය.
‘පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ එක්‌ක අපිට ටිකක්‌ කතා කරන්න පුළුවන්ද…’
‘දැන් අපි වැඩ. ඉවර වෙලා කතා කරමු…’ සිංහල චතුර ලෙස හසුරුවන පුංචි සාමණේaර භික්‍ෂුන් වහන්සේ අපගෙන් මිදී සෙසු සාමණේර හිමිවරු සමඟ එකතු වූහ.
මොහොතක්‌ අපි දැහැන්ගතව සෙනසුන පිරිසිදු කරමින් සිටි කුඩා භික්‍ෂුන් වහන්සේලා දෙස බලා සිටියෙමු. ආවාස ගෙය දෙසින් සක්‌මන් ගමනින් වැඩම කළ කාශ්‍යප මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ගොරකඔය බෝධිමාලාලංකාර හිමියන් අප ඉදිරියේ සිට ගත්හ. අපි උන්වහන්සේ වැඳ නමස්‌කාරව රත්නපුරේ සුදර්ශනාලංකාර පොඩි හාමුදුරුවන්ගෙන් කතාබහ පටන් ගත්තෙමු. බෝධිමාලාලංකාර හිමියන් පවසන ආකාරයට සුදර්ශනාලංකාර පොඩි හාමුදුරුවන්ගේ ගිහි ජීවිතයේදී නම ස්‌මයිල් අස්‌ලාම්ය. වයස අවුරුදු හතකි.
පුංචි අස්‌ලාම්ගේ පියාගේ නම සිත්ති ලෙබ්බේ මොහොමඩ් ඉස්‌මයිල්ය. වයස අවුරුදු තිස්‌ අටකි. මව ජී. එම්. රේණුකාය. මේ වන විට ඇය විදේශගතව රැකියාවක නියෑළී සිටින්නීය. එදා සිට පුංචි අස්‌ලාම්ව ආදරයෙන් රැකබලා ගත්තේ සිත්ති ලෙබ්බේය. තවදුරටත් ඔහුට පුංචි අස්‌ලාම්ව බලාගැනීම ගැටලුවක්‌ නොවේ. එහෙත් පුංචි අස්‌ලාම් නිතරම ඔහුට ඇවිටිලි කරන්නේ මහණ කරන්නයි කියාය. එකම දරුවාගේ කැමැත්තට ඉඩ දුන් සිත්ති ලෙබ්බේ බිරිඳ රේණුකා සමඟ කතාබහ කර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට එක්‌කරගෙන ඇවිත් සිරිපාලාලංකාර නායක හිමිපාණන්ට භාර දුන්නේය. තම එකම පුතු ශාසනයට පූජා කිරීමට සිත හදාගැනීම පියෙකුට අසීරුය. එහෙත් තම එකම දරුවාට සත්‍ය අවබෝධ කරගැනීමට මාර්ගය පෙන්වමින්a සිත්ති ලෙබ්බේ දැන් සිටින්නේ හරිම සතුටින්ය. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සිත්ති ලෙබ්බේ අපට ඒ බව පැවසුවේය. මේ ඒ පිං ඇති මිනිසා අපට කියූ සතුටු කතාවය.
”අපි ජීවත් වෙන්නේ රත්නපුරේ දුෂ්කර ගමක. මම වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්‌. පන්සල්වල කුලියට චිත්‍ර අඳිනවා. රත්නපුරේ පොත්ගුල් විහාරයේ චිත්‍ර අඳින කාලේ තමයි මගේ බිරිඳ රට ගියේ. එදා ඉඳලා පුතාව බලාගන්න ගෙදර කවුරුවත් හිටියේ නැති නිසා චිත්‍ර අඳින්න ගියේ පුතාවත් අරගෙන. ඒ නිසා තේරෙන කාලේ ඉඳලා පුතා හිටියේ පන්සල්වල. සෙල්ලම් කළේ පොඩි හාමුදුරුවරුත් එක්‌ක. කතා කළේ සිංහල වචන. වැලිකන්දේ අසේලපුර පන්සලේ චිත්‍ර අඳින්න ගියෙත් පුතාත් එක්‌කරගෙන. ඒ පන්සලට පය තියපු මොහොතේ ඉඳලා පුතා මහණ වෙන්න ආසයි කියලා මට නිතරම කරදර කළා.
‘මම වගේ පුංචි ළමයි පොඩි සාදුලා වෙලා ඉන්නේ. ඇයි මට මහණ වෙන්න බැරි. අනේ තාත්තේ මාවත් මහණ කරන්න කෝ…’ පුතා හැම වේලාවෙම කිව්වේ ඔය කතාවම තමයි.
මම ඒ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ඒ කාරණය කිව්වා. ඊට පස්‌සෙ ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ අපි දෙන්නව දිඹුලාගල පන්සලට එව්වා. ගිය මාසේ පසළොස්‌වක පෝය දවසේ පුතාව පැවිදි කළා. පුතාව මහණ කරපු කතාව අහලා මගේ බිරිඳත් ගොඩක්‌ සතුටු වුණා…”
”මම කාලයක ඉඳලා ස්‌වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. ධර්ම දේශනාවලට සවන් දෙනවා. ඒ නිසා බුදුදහමෙහි වටිනාකම හොඳට දන්නවා. ආගම දහමින් කෙරෙන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක කිරීම. මමත් බෞද්ධ දර්ශනය පිළිපදින කෙනෙක්‌. බුදුහාමුදුරුවෝ බෞද්ධ දර්ශනය ලෝකයාගේ යහපැවැත්මට ලබා දුන් දායාදයක්‌. ජාතිය කුමක්‌ වුවත් අපිත් මිනිස්‌සු. අපිත් කැමැතියි ජීවිතේ යහපත් විදිහට ගත කරන්න. අද මට පොඩි හාමුදුරුවෝ දකිනකොට හිතට ලොකු සතුටක්‌ දැනෙනවා. ඒක මගේ හිතට සැනසීමක්‌…”
සිත්ති මේ කරගත්තා වූ පුණ්‍යකර්මය සතර වර්ගයාම නිවන් දකින පින්කමකි. එමෙන්ම ජාතිවාදයේ කුණු දියෙන් නැහැවී තිබෙන අපේ සමාජයට සිත්තිගේ කතාව මහත් ආදර්ශයකි. මේ වන විට මුළු මහත් ලෝකයේම අන්‍ය ආගමිකයන් බුද්ධ දර්ශනය අවබෝධ කරගනිමින් බුදු දහම වැළඳගනිමින් සිටින බව නොරහසකි. එමෙන්ම ඉස්‌ලාම් දහම බෞද්ධ හා හින්දු වැනි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්‌ සහිත ආගමක්‌ නොවේ යෑයි පූර්ව මුස්‌ලිම් ජාතීන් නමැති සංවිධානයක ඉහළ නිලධාරියකු පසුගිය දිනක ‘දිවයින’ට ප්‍රකාශ කර තිබිණි. ඉස්‌ලාම් ආගම හැර ගොස්‌ පූර්ව මුස්‌ලිම් ජාතීන් නමින් සංවිධානයක්‌ පිහිටුවා ගත්තේ තවදුරටත් තම ඉස්‌ලාම් දහම පිළිගත නොහැකි නිසා බව ද හෙතෙම ප්‍රකාශ කර තිබිණි. මේ උතුම් ආගමික නැඹුරුව දෙස වුවද වපරැසින් බලන කාලකණ්‌ණි කුහක මිනිසුන් ද අප අතර ඕනෑ තරම්ය. ඒ සමාජයේ හැටියට.
බුදුහාමුදුරුවන්ගේ දර්ශනය තුළ ජාති, කුල මල බේද නැත. දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර කිතලගම සිරි සීලාලංකාර නායක හාමුදුරුවන් වහන්සේ ද ජාති, කුල මල බේද නොසැලකූහ. සම්බුද්ධ ශාසනයට ඇතුළුවීමට කැමැත්තෙන් එන ඕනෑම තරාතිරමක පුද්ගලයෙක්‌ පැවිදි කිරීමට උන්වහන්සේ මැලි නොවූහ. මේ වන විට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නායක හිමිපාණන් වහන්සේ ලෙස වැඩ සිටින මිල්ලානේ සිරිපාලාලංකාර හිමියන්ද ආදිවාසී පරපුරෙන් සම්බුද්ධ ශාසනයට ඇතුළු වූ භික්‍ෂුන් වහන්සේ නමකි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙන් ශාසනයට ඇතුළත් වූ ආදිවාසී, ද්‍රවිඩ දරුවන් කිහිපදෙනෙක්‌ ද අද භික්‍ෂූන් වහන්සේලා වී මේ වන විට ද රට පුරා ධර්ම ප්‍රචාරක කටයුතුවල නිතර වෙමින් සිටිති. එමෙන්ම දිඹුලාගල ආරණ්‍ය සේනාසනය තුළ පවත්වාගෙන යන කාශ්‍යප මහ පිරිවෙනෙන් ධර්ම ඤණය ලබා ගත් දෙස්‌, විදෙස්‌ භික්‍ෂුන් වහන්සේලා විශාල පිsරිසක්‌ ලෝකය පුරා ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතව සිටිති. මේ වන විට දිඹුලාගල සඟ පරපුරට අයත් විහාරස්‌ථාන සියයකට වැඩිය. එම විහාරස්‌ථාන තුළින් රට ජාතියට සම්බුද්ධ ශාසනයට අප්‍රමාණ වූ සේවාවක්‌ සිදු වන බව ද නොකිවමානය.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වර්තමාන අධිපති මිල්ලානේ සිරිපාලාලංකාර නායක හිමියන්ද තම නායක ස්‌වාමීන් වහන්සේලා ගිය මඟ යමින් ජාති ආගම් කුල බේදයකින් තොරව දැනටමත් විවිධ ජාතීන්හි දරුවන් කිහිප දෙනෙක්‌ම සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගෙන සිටිති. ඒ අතර ද්‍රවිඩ දරුවන් මෙන්ම ආදිවාසී දරුවන් ද සිටිති. ඉතිහාසයේ පළමු වතාවට දිඹුලාගල ආරණ්‍ය සේනාසනය තුළදී මුස්‌ලිම් ජාතික දරුවකු සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගැනීමේ ගෞරවය හිමි වන්නේ ද උන්වහන්සේටය. ඒ ස්‌මයිල් අස්‌ලාම් නම් වූ සත් හැවිරිදි පුංචි දරුවා රත්නපුරේ සුදර්ශනාලංකාර පොඩි හාමුදුරුවන් වහන්සේ නමින් පැවිදි ජීවිතයට ඇතුළත් කරගැනීම නිසාය.
රට තුළ සැබෑ සංහිඳියාවක්‌ ඇති කරලීමට නම් ජාතීන් අතර මිත්‍රත්වය වර්ධනය විය යුතුය. රටේ ජනතාව අන්‍ය ආගම්වලට ගරු කළ යුතුය. ද්‍රවිඩ ජාතික සුන්දරලිංගම් තම දරුවන් සිව් දෙනකු සම්බුද්ධ ශාසනයට පූජා කළේය. ඒ භික්‍ෂූන් වහන්සේලා ද දිඹුලාගල ආරණ්‍ය සේනාසන කාශ්‍යප මහ පිරිවෙනේ හොඳින් අධ්‍යාපනයේ නියෑළෙමින් සිටිති. මුස්‌ලිම් ජාතික සිත්ති ලෙබ්බේ තම එකම පුතු ශාසනයට පූජා කරමින් නිරාමිස සතුටක්‌ විඳිමින් සිටින්නේය. අස්‌ලාම් බුද්ධ පුත්‍රයකු ලෙස ධර්මය හොඳින් ඉගෙන ගනිමින් සිටිති. දැන් අප මේ පණිවිඩය ගෙන යා යුත්තේ අපේ රටේ බෙදුම්වාදී කුහක මිනිසුන් අතරටත් වඩා මෙරට මානව අයිතිවාසිකම්, සංහිඳියාව ගැන මුසාවාද පතුරුවාහරින ජාත්‍යන්තර එන්.ජී.ඕ නඩවලටය.

තරංග රත්නවීර

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!