ලොව පෙරළිකාර චරිතයක්වූ පාප්තුමා ලංකාවට එන්නේ තවත් පාප්තුමෙකු ලෙස නොවේ

Spread the love
  •  
  •  
  •  
  •  

2015 ජනවාරි 13 දා සිරිලක සැපත්වන I ෆ්‍රැන්සිස් පාප්  සසුනිසුරාණන් පිළිගැනීමේ හරසර දැක්වීමේ හා ආගමික වත්පිළිවෙත් පැවැත්වීමේ කටයුතු දැන් සිදු කරමින් තිබේ. කතෝලික සභාව හා රජය ඒකාබද්ධවය. ඒ පිළිබඳ නිල ප්‍රකාශනය සැප්. 12 දා රාත්‍රි මෙරට සියලු විද්‍යුත් මාධ්‍ය විසින් හෙළිදරව් කෙරුණි. 2015 ජන. 13 උදේ කටුනායකට ළඟා වන පාප්තුමා, පුරා දින දෙකක් මෙරට ගතකරයි. ජන. 15 උදෑසන යළි පිලිප්පීනය බලා එතුමා පිටත් වෙනු ඇත.

ජන. 13 නිල හමු කීපයකට සහභාගි වන පාප්තුමා ජන. 14 උදේ ගාලුමුවදොර පිටියේ දී මෙරට සියලු රදගුරුවරු හා එක්ව දිව්‍ය පූජාවක් පවත්වයි.

එදිනම සවස මන්නාරම මඩු සිද්ධස්ථානයට යන පාප්තුමා එහි දී කෙටි දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාද මෙහෙයකට සහභාගි වෙයි.

මීට පෙර පාප්වරු දෙනමක් මෙරටට සම්ප්‍රාප්තව ඇත. 1970, හයවන පාවුළු පාප්තුමාය. පැය දෙකකටය. 1995, දෙවන ජුවාම් පාවුළු පාප්තුමාය. එක් දිනකටය. I ෆ්‍රැන්සිස් පාප්තුමා පැමිණෙන්නේ දෙදිනකටය.

17 සියවසේ දී ලන්දේසින් විසින් මෙරටින් අතුගා දමන්නට උත්සාහ කරන ලද, කිතු දැක්ම, රැකගෙන.. යළි පුනරුත්ථාපනය කිරීමට දිවි නොතකා ක්‍රියා කළ ජෝශප් වාස් (ජුසේ වාස්!) පියනම ශුද්ධවන්තයකු බව ඒ දින දෙක ඇතුළත කුමන හෝ මොහොතක පාප්තුමා විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි ශ්‍රී ලංකා කතෝලික ජනතාව බලාපොරොත්තු තබාගෙන සිටී.

ඉපැරැණි කතෝලික සභා සම්ප්‍රදාය වූයේ පාප්වරු වතිකානයෙන් පිටට අඩියක්වත් නොතැබීමය. වතිකානයේම ‘සිරකරුවන්’ සේ සිටීමය. ඒ සම්ප්‍රදාය බිඳදැම්මේ හයවන පාවුළු පාප්තුමාය. (1963.06.21 ධූරයට පත්) සිය සාමාජික කිතුනුවන් සොයා ලොව පුරා සංචාර අරඹමිනි.

I ෆ්‍රැන්සිස් පාප්තුමා ධූරයට පත් වූ දා (2013.03.13) සිට ම ‍ලොව පුරා මහත් ආන්දෝලනාත්මක චරිතයක්ව සිටී. කරන ප්‍රකාශ නිසාය. ගන්නා යම් යම් ක්‍රියාමාර්ග නිසාය. එතුමාගේ ඒ ප්‍රකාශ හා ක්‍රියාමාර්ග නිසා අද ලෝක කතෝලික සභාවම තුෂ්ණීම්භූතව සිටී.

ඊයේ පෙරෙයිදා එතුමා, කිතුදහම උඩුයටිකුරු කෙරෙන ප්‍රකාශයක් කළේය.

“ලොව පුරා පැතිරෙන ඉස්ලාම් ත්‍රස්තවාද මර්දනය කළ යුතු බවටÓය.

කිතු හිමි උපන්නේ… දතට දත.. ඇසට ඇස… නියාය අනුගමනය කළ ජුදාගම වෙනස් කර, දකුණු කම්මුලට පහර දෙන්නාට වම් කම්මුලත් පෑමේ… නිහතමානී හා ඉවසිලිවන්ත ජීවිත ක්‍රමයක් පලස්තීනුවන්ට හඳුන්වා දීමටය.

“සතුරාට පවා ප්‍රේම කිරීම” ඓතිහාසික මූලික කිතු දැක්මය. “ඔබ පාපයට හෙළන්නේ ඔබේ ඇස නම්.. ඇස උගුල්ලා දමා… ශරීරයේ අනෙක් අවයව ආරක්ෂා කරගන්න” යන්න මූලික කිතු දැක්මය.

ෆ්‍රැන්සිස් පාප්තුමා කරැති, ත්‍රස්තවාදියා ත්‍රස්තවාදයෙන්ම මර්දනය කළ යුතුය… යන ප්‍රකාශයෙන් මූලික කිතු දැක්ම කණපිට පෙරළෙන බව අපේද ප්‍රත්‍යක්ෂයය.

ෆ්‍රැන්සිස් පාප්තුමා ගේ චර්යා ද ආන්දෝලනාත්මකය. එතුමා ධූරය ලත් විගස, සුඛෝපභෝගී පාප් නිල මාලිගයේ (ගොන්දොල්සෝ මාලිගය) පදිංචිවීම ප්‍රතික්ෂේප කළේය. කාදිනල් යුගයේ ජීවත්වූ නේවාසිකාගාරයේ කුඩා කාමරයේම දිවි ගෙවීමට තීන්දු කළේය.

වතිකාන සුළු සේවක කැන්ටිමට දිනෙක පැමිණි එතුමා, එදින ඔවුන් හා සිය දිවා ආහාරය ගත්තේය.

කාල්මාක්ස් සිය දේශපාලන හා ආර්ථික දර්ශනය සොරා ගත්තේ බයිබලයෙන් යැයි පවසන පාප්තුමා, සභාවේ මුදල් වියදම් කර තමා සඳහා සුඛෝපභෝගී ‘මාලිගාවක්’ තනාගත් ජර්මානු රදගුරුවරයකු ධූරයෙන් පහකළේය.

එතුමා අදත් භාවිත කරන්නේ, ධූරයට පත්වීමට පෙර පාවිච්චි කළ කුඩා ෆොක්ස්වාගන් රථයමය. ධාවනය කරගෙන යන්නේ ද එතුමාමය. වෙඩි නොවදින රථය එතුමා ප්‍රතික්ෂේප කළේය. සාම්ප්‍රදායික ස්විට්සර්ලන්ත නිල ආරක්ෂක හමුදාව ද එතුමා පිළිකෙව් කළේය.

ත්‍රස්තවාදය ත්‍රස්තවාදයෙන්ම මැඬිය යුතු බවට I ෆ්‍රැන්සිස් පාප්තුමා කළ ප්‍රකාශය තවදුරටත් සහතික කරන ප්‍රකාශයක්, ජිනීවා හි එක්සත් ජාතීන් ගේ වතිකානු නියෝජිත සිල්වානි මොර්ටාසි අගරදගුරු හිමි ද එහි රැස්වීමක දී කර තිබුණි.

“ඉරාකයේ වෙසෙන කිතුනුවන් බේරා ගැනීමට යුද ක්‍රියාකාරිත්වයක් අවශ්‍යව ඇති” බවටය. (2014.08.24 – ඥානාර්ථ ප්‍රදීපය)

ඉරාකයේ වෙසෙන කිතුනුවන් මරා දමමින්… ළදරුවන් පවා මරා දමමින්… ශුද්ධ වූ ඉස්ලාම් රාජ්‍යයක්, එහි බිහි කරන්නට ක්‍රියා කරන්නේ ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදීන්ය.

I ෆ්‍රැන්සිස් පාප්තුමා ධූරයට පත්වූයේ, 16 බෙනඩික් පාප්තුමා හදිසියේම විශ්‍රාම ගැනීම නිසාය. අසනීප නිසාද, වතිකානු බලධරයන් අතරම මතභේදයට ලක්වීම නිසාද, 16 බෙනඩික් පාප්තුමා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි අපි 2012 වසරේ ඉරිදා ලක්බිම සංග්‍රහයකට ලිපියක් ලියමින් යෝජනා කර සිටියෙමු.

කොළඹ කතෝලික ජනමාධ්‍ය භාර සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියනම, ලිපියක සඳහන් කැර තිබුණේ පාප්වරු මියයනතුරු ධූරයේ සිටින බවත් පාප්වරු ඉල්ලා අස්වීමේ සම්ප්‍රදායක් නැති බවත්ය. මගේ යෝජනාව සිංහල කිතුනුවන් නොමඟ යවන බවත්, එය කරුණු නොදැන කළ යෝජනාවක් බවත්ය.

2013 පෙබරවාරි මස 16 බෙනඩික් පාප්තුමා ඉල්ලා අස්වූයේය.

පත්වූ දින සිට ම ලෝක ජනමාධ්‍යවල තියුණු අවධානයට පාත්‍රව සිටින I ෆ්‍රැන්සිස් පාප්තුමා, බොහෝ පාප් සම්ප්‍රදායන් අත්හැර දමලාය. චාම් වෙලාය. සරල වෙලාය. රාජකීය පාප් නිළැඳුම්වලින් ද එතරම්ම පෙනී නොසිටී.

කොරියාවට ගිය ෆ්‍රැන්සිස් පාප්තුමා ගමන්බිමන් ගොස් ඇත්තේ එහි භාවිත “කියාසෝල්” නමැති ඉතාම කුඩා වාහනයකය. කොරියාවේ කිතුනු ආගමික නායකයන් ගමන් කර ඇත්තේ, “ලිමසෝන්” වර්ගයේ ඉතා සුඛෝපභෝගී වාහනවලය.

තනතුරට පත්ව සිවු මස ඉක්මෙද්දී, එතුමා ඉතා වටිනා ප්‍රකාශයක් කළේය. “පීඩිත ජනතාව වෙනුවෙන් හඬ නැඟීම කොමියුනිස්ට් ක්‍රියාවක් නොවන බවටÓය.

දිළිඳුන් හා පීඩිත ජනතාව වෙනුවෙන් හඬ නැඟීම හැබෑ කිතුනුවකු හඳුනාගත හැකි අංක එකේ සලකුණ බවත්, වසර දෙදහසකට පෙර කිතු හිමි හෙළි කළ ඒ පාරමිතාව කාල්මාක්ස් විසින් බයිබලයෙන් සොරා ගත් බවත්, ඉහත ප්‍රකාශය සමඟ ෆ්‍රැන්සිස් පාප්තුමා තවදුරටත් හෙළි කර තිබුණි. (කාල්මාක්ස් කුඩා වියේ ජර්මනියේ කතෝලික දෙව් මැදු‍රක පූජා උදව් සේවක දරුවෙකුව සිට ඇත.)

වසර පහකට වරක් ලෝකයේ රටවල කතෝලික රදගුරුවරු පාප්වරයා මුණගැසී, සිය සභාවල වගතුග හෙළිකර.. උපදෙස් පතන ක්‍රමයක්, වතිකානයේ ක්‍රියාත්මක වේ. ඉතාලි බසින් එය හැඳින්වෙන්නේ… අද්මිනා හමුව.. නමිනි.

2014 මැයි මස ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය I ෆ්‍රැන්සිස් පාප්තුමා හමුවූයේ ඒ නිල ක්‍රියාත්මකය පරිදිය. එහිදී පාප්තුමා මෙරට රදගුරු මණ්ඩලයෙන් ඉල්ලා ඇත්තේ… ශ්‍රී ලංකාවේ දුගී ජනතාව වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාකරන ලෙසය.

ඊට අමතරව විධානයක් ද කර තිබුණි. ශ්‍රී ලංකා කතෝලික සභාවේ කටයුතු “පවුල” තේමා කරගෙන ක්‍රියාත්මක කරන ලෙසය. ලෝකයේ හැම රටකම පවුල් මහ විපතකට මුහුණ දී සිටින බව දක්වමිනි. (බෙනඩික් ජෝශප් පියනම)

“උතුර දකුණ ලෙස නොබෙදී එකමුතු වෙන්නැයි ද, රටේ ප්‍රශ්න ගැන නිද්‍රාශීලීව නොඉඳ අවදිව ක්‍රියා කරන්නැයි ද” I ෆ්‍රැන්සිස් පාප්තුමා 2014.08.15 දා කොරියාවේ දී කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ඇතැම් කතෝලික පූජකවරු ලොව පුරා සිදුකරන ළමා අපචාර පිළිබඳව I ෆ්‍රැන්සිස් පාප්තුමා ‍ලෝකයෙන් සමාව ඉල්ලා සිටියේය. එපමණක් නොවේ. එබඳු අපචාරී පූජකයනට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ලෝකයේ ආණ්ඩුවලට දන්වා සිටියේය.

වතිකානයේ පූජක ලිංගික අපචාර මැඬීම සඳහා කමිටුවක් පත් කර ඇති පාප්තුමා, කතෝලික පූජකවරු විසින් සිදු කරනු ලබන ළමා අපචාර ගැන ක්‍රියා කිරීමට එ.ජා. සංවිධානය කරැති තීන්දුවට සිය සහාය දක්වා ඇත.

බටහිර යුරෝපයේ සමහර රටවල, රදගුරු පදවිවල සිදුව ඇති පූජක ලිංගික අපචාරවලට වන්දි ගෙවීම නිසා ඒ රටවල සමහර රදගුරු පදවි මූල්‍යව බංකළොත් බවට පත්ව ඇතැයි වරෙක මෙරට කිතුනු පූජකවරයකුම අප හා පැවසීය.

වතිකාන පූජක කණ්ඩායමක් විසින් ලිංගික පහස සඳහා යොදා ගන්නා ලද පිරිසක් හා I ෆ්‍රැන්සිස් පාප්තුමා දවසක සතුටු සාමීචියක යෙදුන බව, අන්තර් ජාලය හරහා මෑතක ලොවට හෙළිවුණි.

ගාසා තීරයේ පවතින යුද්ධය ඇරැඹීමට පෙර I ෆ්‍රැන්සිස් පාප්තුමා, පලස්තීන ජනාධිපති මොහමඩ් අබ්බාස් හා ඊශ්‍රායල් ජනාධිපති සීමොන් පෙරෙස් වතිකානුවට කැඳවා, සාම සාකච්ඡාවක් හා යැදුම් මෙහෙයක් පැවැත්වීමට පියවර ගත්තේය.

ලෝ පුරා කිතුනු රටවල ද සිදුවන සමලිංගික විවාහ ගැන I ෆ්‍රැන්සිස් පාප්තුමා දරන්නේ විවෘත මතයකි. මෑතක ලෝකයේ සියලු රටවල කතෝලික රදගුරුවරුන් වෙත.. පවුල් අවුල්.. පිළිබඳ ප්‍රශ්නාවලියක් යවා පිළිතුරු ලබාගැනීමට ක්‍රියා කළ පාප්තුමා.. සමලිංගික විවාහ වලට කතෝලික සභාව ඉඩ දිය යුතු දැයි ප්‍රශ්න කරයි. ප්‍රශ්නාවලිය අප ලබාගත්තේ කිතුදන පුබුදු උපාධ්‍ය, රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියනමගෙනි.

බ්‍රිතාන්‍ය, වේල්සය හා ස්කොට්ලන්තය යන ක්‍රිස්තියානි හා කතෝලික රටවල් දැනටමත් සමලිංගික විවාහ නීතිගත කර ඇත.

2014 ඔක්තෝබර් මස, වතිකානයේ පැවැත්වෙන ලෝක කතෝලික රදගුරු මණ්ඩල සමුළුවේ තේමාව ලෙස I ෆ්‍රැන්සිස් පාප්තුමා නිර්දේශ කර ඇත්තේද.. “විවාහය හා පවුල අද ලොව පුරා මුහුණ දෙන අර්බුද”.. යන්නය.

ධූරයට පත් වූ විගස, වතිකාන රාජ්‍ය බැංකුවේ දිගුකලක් එකදිගට ක්‍රියා කළ කාදිනල්වරු කීපදෙනෙකු ඉවත්කළ I ෆ්‍රැන්සිස් පාප්තුමා වතිකාන කාදිනල් ක්‍යුරියාවට (ලෝක කතෝලික සභාවේ ඇමැති මණ්ඩලය – පාප් උපදේශක මණ්ඩලය) ඉහළින්, තමාගේ මූලිකත්වයෙන් කාදිනල්වරු අට දෙනෙකුගෙන් යුත්, නව පාලන ව්‍යූහයක් ඇති කළේය. වතිකාන රාජ්‍ය පාලනය “ශුද්ධ කිරීමේ” අරමුණෙනි. මීට පෙර සිටි කිසිදු පාප්වරයකුට පෙර සඳහන් බලගතු කාදිනල් ක්‍යුරියාවට ඉහළින් ක්‍රියා කිරීමට ඉඩ නොලැබුණි.

වතිකාන රාජ්‍ය පරිපාලනය ශුද්ධ කිරීමට තැත් කළ පාප්වරයෙකු මීට පෙර ද සිටියේය. හයවන පාවුළු පාප්තුමා දිවංගත වූ පසු පත්වූ, I ජුවාම් පාවුළු පාප්තුමාය. 1978 අගෝ. 26 ධූරයට පත් එතුමාට ධූරය දැරිය හැකි වූයේ, දින තිස්තුනක් පමණි.

කිසිවෙකු නොදත් මොහොතක නොදත් හේතුවකින් එතුමා මියගොස් සිටියේය. අදත් හේතුව මෙන්ම, වරදකරුවන් හෙළිකර නැත. බලගතු කාදිනල් ක්‍යුරියාවේ මෙහෙයවීමෙන් සිදු කළ ඝාතනයක් බව.. ඩේවිඩ් යැලොප් නම් ලේඛකයා ලියූ.. දෙවියන් ගේ නාමයෙන් නම් කෘතිය හෙළිකරයි. එහි සිංහල පරිවර්තනයක් ද ඇත. ඉංග්‍රිසි මුල් කෘතියේ පිටපත් 6,000,000 විකුණුන බව .. එහි සඳහන්ය.

ලතින් ඇමෙරිකාවේ පහසුකම් අඩු පවුලක ඉපිද, දුගීකමේ කරුමය.. පාපය.. වැලඳගෙන ජීවත්ව, පූජකවරයකුව අගරදගුරුවරයකුව.. කාදිනල් වරයකුව.. පාප් ධූරය ලැබ සිටින, I ෆ්‍රැන්සිස් සසුනිසුරාණෝ පත්වූ දා සිටම ඉඳුරාම මෙසේ පවසි.

“කතෝලික සභාවේ සාමාජික බහුතරය ද දුගීන් නිසා, ලොව සියලු රටවල කතෝලික සභා.. ලෝකය දුගීකමෙන් මුදා ගැනීමේ අරගලයේ පෙර ගමන්කරු විය යුතු බවය.”

2014 ලෝක සන්නිවේදන දින ප්‍රකාශයක් නිකුත් කළ I ෆ්‍රැන්සිස් පාප්තුමා.. ලෝකයේ ඉතා සමෘද්ධිමත් ධනවතුන් හා අන්ත දුගී දුප්පතුන් අතර පවතින ගර්හිත පරතරය දුරු කිරීමට උචිත මත දක්වන ලෙස පුවත්පත් වලින් හා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

“මාධ්‍යකරුවන් ද තෝරා ගැනීමක් කළ යුතු බවත්, වරදක් දැක දැක පා‍රේ අනික් පසින් යාමට කිතුනු මාධ්‍ය කරුවන් ක්‍රියා නොකළ යුතු බවත්” එහි එතුමා තවදුරටත් සඳහන් කරයි.

බැලූ බැල්මට I ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ප්‍රකාශ හා ක්‍රියාකාරකම් සම්ප්‍රදාය විරෝධී ද මූලික කිතුදහමට පටහැනි ද යැයි කෙනෙකුට සිතෙන ඉඩ ඇත.

එහෙත්, බයිබලයේ දුගීන් ගේ දේවධර්මයට, ඒවා සපුරාම එකඟ බව ප්‍රගතිශීලී කිතුනු ලෝකයේ මතයය. ඊට පටහැනි මත දරන්නන් ද වේ.

තමාටම තම මත හා ක්‍රියාමාර්ග පිළිබඳ කිසියම් අනතුරුදායක ඉවක් දැනෙන නිසාදෝ, I ෆ්‍රැන්සිස් පාප්තුමා තමා ධූරය දරන්නේ සිවු වසරක් පමණක් බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබේ.

සිරිල් එ‍ඬේරමුල්ල

(Visited 53 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!