“රැජිණගේ අත අල්ලනකොට සිරිසේනට දැනුන සනීපෙ ජනතාවට දැනිලා නෑ..” – ගම්මන්පිල

“රැජිණගේ අත අල්ලනකොට සිරිසේනට දැනුන සනීපෙ ජනතාවට දැනිලා නෑ..” – ගම්මන්පිල

Spread the love
  •  
  •  
  •  
  •  

එළිසබෙත් මහ රැජින ස්වකීය අත්වැසුම් ගලවා අතට අතදීමේදී ජනාධිපතිවරයාට දැනුණු සනීපය රටට දැනී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ලොව ජයගත් බවට පම්පෝරි ගැසූවද අවසානයේ සිදුව ඇත්තේ අපේ නායකයින් ඒ රටවල ගොස් කා බී විනෝදවී පැමිණීමත්, ඒ නායකයින් අපේ රටට පැමිණ කා බී විනෝදවීමත් පමණක් බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද(06)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
ජනපති හා අගමැති තරඟයට මෙන් රට සවාරි යන බවත්,අගමැති ලෝක ආර්ථික සමුළුවට යනවිට ජනපති ජී-07 සමුළුවට යන බවත්,ලෝක නායකයනුත් පෙළගැසී ලංකාවට පැමිණියත් රටට ප්‍රයෝජනයක් වී නොමැති බව ඔහු සඳහන් කළේය.
මේ ආණ්ඩුව විසින්ම නිකුත් කළ 2015 මහබැංකු වාර්තාව ගෙන බැලීමේදී මෙම තත්ත්වය තහවුරු වන බව හෙතෙම අවධාරණය කළේය.
2013 වසරේදී ඩොලර් මිලියන 10,394ක්ව පැවති අපනයන ආදායම 2014 දී මිලියන 11,130 දක්වා ඉහළගොස් 2015 දී මිලියන 10,505ක් දක්වා පහත වැටුණු බව මන්ත්‍රීවරයා කියා සිටියි.
2013 දී 293,218ක් වූ ,2014දී 300,703ක් වූ විදේශීය රැකියා ගණන 2015 දී 263,307ක් දක්වා පහත වැටුණු බවත්,එය 2010 න් පසු වාර්තාවූ අඩුම විදේශ රැකියා ගණන බවත් ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.
2014 දී ඩොලර් මිලියන 894ක් වූ සෘජු විදේශ ආයෝජන 2015දී 681ක් වී ඇති බවත්,රාජපක්ෂවරුන් කොමිස් ඉල්ලන බැවින් ලංකාවේ ආයෝජනය කිරීමට අකමැති විදේශීය ආයෝජකයින් ඒජාප ආණ්ඩුවක් එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින බවට ඒ දිනවල කළ ප්‍රකාශ දැන් පුස්සක් බවට පත්ව ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
2014 දී ලංකාවේ කොටස් වෙළඳපල‍ට රුපියල් බිලියන 22ක විදේශ ආයෝජනයක් ගලා ආ නමුත් 2015දී බිලියන 4.4ක ආයෝජනයක් කොටස් වෙළඳපලින් ඉවත්කර ගැනීමට කටයුතු කර ඇති බවත්,2014 දී බිලියන 10.6ක් වූ ප්‍රදාන ලැබීම බිලියන 5.3 දක්වා පහත වැටී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!