“රාජිතගේ කමිටු අපිට එපා… කිසිම විශ්වාශයක් නෑ …” – කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය

“රාජිතගේ කමිටු අපිට එපා… කිසිම විශ්වාශයක් නෑ …” – කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය

Spread the love
  • 641
  •  
  •  
  •  
    641
    Shares

ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් සිදු කළැයි පැවසෙන කතාවේ සත්‍ය අසත්‍ය සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයම තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය “කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය ” විසින් ලිඛිතව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත අද (28) දැනුම්දී ඇත.
කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවත් එවැනි කමිටුවක් හමුවේ සාක්ෂි ලබාදීම කුරුණෑගල ශික්ෂණ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයම ප්‍රතික්ෂේප කරන බවත් ඒ පිළිබඳව රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව දැනුම් දුන් බවත්ය.
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කර එවන කමිටුවක් හමුවේ අවශ්‍ය සාක්ෂි ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලය සූදානම් බවද වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය.
වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුවේ සාමාජිකයින් හයදෙනෙකු අද කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණියද එම කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට රෝහලේ කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයකු ඉදිරිපත් නොවූ බවද වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පැවසීය .
කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත්කර එවන ලද කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට ඉදිරිපත් නොවන බව ලිඛිතව තමන්ට දන්වා ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය , රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා සුව සේවා සංගමය , රජයේ විකිරණවේදීන්ගේ සංගමය, ගිලන් රථ රියදුරන්ගේ සංගමය, රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර සංගමය , ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය යන වෘත්තීය සංගම් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයට ඇතුළත්ය.

(Visited 366 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!