“මේ වසර දෙකටම මෙයාල කලේ මම හදපුව විවෘත කරලා අපෙන් පලිගැනීම විතරයි” – මහින්ද

“මේ වසර දෙකටම මෙයාල කලේ මම හදපුව විවෘත කරලා අපෙන් පලිගැනීම විතරයි” – මහින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

මේ ආණ්‌ඩුව උඩුවේ ධම්මාලෝක නායක හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවරු 48 දෙනකු අද වෙනකොට හිරගෙදරට දමලා තියෙනවා. අපේ ඉතිහාසේ කවදාවත් මෙහෙම වෙලා නෑ. අපි අපේ කාලේ මහා සංඝරත්නයට සැලකුවේ කොහොමද කියලා මේ අය දන්නවා. අපේ රජය තිබුණු කාලේ තමයි මේ රටේ නැවත බෞද්ධ ප්‍රබෝධයක්‌ රට තුළ ඇති කලේ.ඒක කාටවත් නෑ කියන්න බෑ.රට ගොඩ නැගුවා වගේම අපි පන්සල් ටික හැදුවා. පල්ලි කෝවිල් ටිකත් හැදුවා. යුද්දෙන් විනාශ වුණ ආගමික ස්‌ථාන සංවර්ධන කිරීමට අපි කටයුතු කළා. මොකද අපි විශ්වාස කළා රට භෞතිකව සංවර්ධය කරනවා වගේම මිනිස්‌සුන්ගේ අධ්‍යාත්මයත් දියුණු කල යුතුයි කියලා. එදා අපි හදපු සමහර පන්සල් වල බුද්ධ ප්‍රතිමා ඉවත් කරමින් යැම නම් අපි කිසිසේත්ම අනුමත කරන්නේ නෑ යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසිය.
ඒ මහතා මේ අදහස්‌ පළ කලේ පෙරේදා (16) සවස ලුණුගම්වෙහෙර කැන්දගස්‌මන්කඩ ශ්‍රි රත්නාරාම පුරාණ රජ මහා විහාරස්‌ථානයේ අභිනවයෙන් ඉදිකරණ ලද ප්‍රධාන වාහල්කඩ හා බුද්ධ මන්දිරය විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වු හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසිය.
එදා මේ දෙගොල්ලෝ එකතු වෙනකොට අපි කිව්වා ඕක හරියට එළහරකයි මීහරකයි එකට බැඳලා හාන්න කුඹුරට දමනවා වගේ කියලා. අද ඒක හොඳටම ඔප්පුවෙලා තියෙනවා. එළහරකයි මීහරකයි දෙන්නා එකට බැඳලා කුඹුරු හාන්න ගියාම වෙන්නේ මොකද්ද කියලා මන් තමුන්නාන්සේලාට කියන්න ඕනේ නෑ. මටත් වඩා හොඳට මේ අය ඒක දන්නවා අද මේ ආණ්‌ඩුවට වෙලා තියෙන්නෙත් ඒ වගේ වැඩක්‌ තමයි. තවමත් මේ ආණ්‌ඩුව කරන්නේ රට හදන කාර්යය නෙමෙයි. ජනතාවට සෙත සදන කාර්යයන් නෙමෙයි. තවම මේ රජය කරන්නේ අපෙන් පළිගන්න එක. අපිට සම්බන්ධ අයගෙන් පළිගන්න එක. රටක්‌ සංවර්ධනය කිරීම මෙන්ම ජනතාවක්‌ සංවර්ධනය කිරීමේදී එම කාර්යය ආණ්‌ඩුවකට විතරක්‌ තනියම කළ හැකි දෙයක්‌ නෙමෙයි. ඒකට ජනතාවගේ සහාය වගේම ගරුතර මහාසංඝරත්නයේ සහායත් ඕන වෙනවා. තිස්‌සමහාරාමේ නායක හාමුදුරුවෝ කිව්ව වගේ පහුගිය දවසේ තිස්‌සමහාරාම පන්සලේ හිටිය අලි පැටියා අරගෙන ගියා. කතරගම පන්සලේ හිටිය අලි පැටිය අරගෙන ගියා. ගංගාරාම පන්සලේ හිටිය අලි පැටියා අරගෙන ගියා. දැන් එතකොට මේ අලියො අරගෙන ගිහින් පින්නවලට දමනවා. එහිදි මෙච්චර කාලයක්‌ ඒ අලිය බලාගත්ත ඇත්ගොව්ව නෙමෙයි ඒ අලියා බලා ගන්නේ. මේ ගෙනියන අලින් විවිධ හිරිහැරවලට පවා ලක්‌වෙලා තුවාල වෙලා තියෙනවා කියලා අපිට දැනැගන්න ලැබිලා තියෙනවා.
මේක දෙවියන් බුදුන් ඉන්න රටක්‌ කියලා මේ ආණ්‌ඩුවට අමතක වීම පුදුමයක්‌. කතරගම අලියා අරගෙන ගිහිල්ලා දින 21 ක්‌ යන්නත් කළින් මේ ආණ්‌ඩුව එµa.සී.අයි.ඩියට, අල්ලස්‌ කොමිසමට, සී.අයි.ඩී. යට මහත් චෝදනාවක්‌ කරනවා. ලේසි පහසු කෙනෙක්‌ නෙමේ මේ චෝදනාව කරන්නේ රටේ ජනාධිපතිවරයා විසින්මයි. ඒ විතරක්‌ නෙමෙයි එහිදි ජනාධිපතිවරයා කියනවා මන් කාටවත් බය නෑ කියලා. අපි දන්නේ නෑ මේ ආණ්‌ඩුවේම කවුරුහරි ජනාධිපතිවරයා බය කරන්න හැදුවද කියලා. මන් පුදුම වුණා රටේ ජනාධිපතිවරයා ඒ වගේ ප්‍රකාශයක්‌ කරනකොට. රටේ විධායක ජනාධිපතිවරයා ශක්‌තිමත්ව ඉන්නකොට තමයි අපේ හාමුදුරුවනේ රටකට වැඩක්‌ කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ගෙවුණු පහුගිය අවුරුදු දෙක තුළම මේ අය කරපු කිසිදු සංවර්ධක කටයුත්තක්‌ නෑ. ඒ අය අවුරුදු දෙකේම කළේ මන් හදපුවා විවෘත කරපු එකයි අපෙන් පළිගත්ත එකයි. වැඩේ කියන්නේ මගෙනුත් මගේ පවුලේ අයගෙන් පළිගත්තා විතරක්‌ නෙමෙයි මට සම්බන්ධයි කියලා හිතුණු සියලු දෙනාගෙන් මේ ආණ්‌ඩුව පළිගත්තා.
මේ රටේ සංහිඳියාව ඇති වෙන්න නම් දෙපැත්තෙම සංහිඳියාව තියෙන්න ඕනේ. එක පැත්තකින් විතරක්‌ සංහිඳියාව බලාපොරොත්තු වෙන්න බෑ. අපි මෙහේ සංහිඳියාවෙන් වැඩ කරන්න හදනකොට උතුරේ අය ඒකට එරෙහිව කටයුතු කරනවා නම් එතන සංහිඳියාවක්‌ ඇතිවෙන්නේ නෑ.
අද ටෙලිවිෂන් එකක්‌ දැම්මොත් දකින්න තියෙන්නේ අපිට බනින ඒවා විතරයි. අද මේ ආණ්‌ඩුව මාධ්‍යට වාරණයක්‌ නෑ කිව්වට හොඳටම මාධ්‍යට වාරණ දමලා තියෙන්නේ මේ යුගයේ තමයි. පුද්ගලිකවම ගෙන්නලා බනිනවා. පාර්ලිමේන්තුවේදී නම කියලා බනිනවා. ඒ විතරක්‌ නෙමෙයි ඇඹිළිපිටියේ වාර්තාකරුවකුටත් බැන්නා එක අවස්‌ථාවක. මීට ඉස්‌සර මෙහෙම යුගයක්‌ තිබුණේ නෑ. අද මාධ්‍ය ලේකම් කාර්යාල දෙකක්‌ තියෙනවා. එකකින් කියනවා පත්තරේ ඕක දමන්න එපා. අනිත් අය තව එකක්‌ කියනවා. අන්තිමට පත්තරේ කියවන්න අලුතින් ලියන්න දෙයක්‌ නෑ. මේ වගෙන් පේනවා අද මාධ්‍යට කොච්චර නම් වාරණ දමලාද කියලා.
ඒ කාලේ අපිට චෝදනාවක්‌ කලා රස්‌සා දුන්නෙ හිතවතුන්ට කියලා. අද මේ ආණ්‌ඩුව කියනවා මෙයාලා රස්‌සා දෙන්නේ සුදුසුකමට විතරයි කියලා. මාත් මේ ආණ්‌ඩුව රස්‌සා දෙන හැටි ගැන වීඩියෝ පිටියක්‌ දැක්‌කා අන්තර්ජාලයට දමලා තියෙන. ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. “කෝ ඉල්ලුම් පත්‍ර අරගෙන පස්‌දෙනෙක්‌ එන්න. මේ ඉන්ටර්විව් එක කරන තැන ඉන්නේ තමුන්නාන්සේලාගේම පළාතේ ඇමැතිවරයෙක්‌. ඔන්න සුදුසුකම් අනුව රස්‌සා දෙන හැටි වීඩියෝ එකේ තියෙනවා. කොහොමද දෙන්නේ. ආ..කොට ලමයට පියන් රස්‌සාවක්‌ දෙන්න. උස ළමයා සිකියුරිටි දමන්න. සුදු ළමයා රෙස්‌ටව්ස්‌ එකට ගේන්න.” එහෙමද කියන්නේ. වීඩියෝ එකේ තියෙන විදියට නම් එහෙම තමා ඇහෙන්නේ. එහෙම තමා කියන්නේ. මෙන්න යහපාලන ආණ්‌ඩුවේ රස්‌සා දෙන විදිය. මේ ආණ්‌ඩුව රස්‌සා දෙන එක කෙසේවෙතත් ඉන්න අයත් දොට්‌ට දමනවා කියන එක නම් පැහැදිළියි. වරායෙත් 200ක්‌ විතර අයින් කරන්න සුදානම් වෙනවා. තවත් විවිධ ආයතනවල ඉන්න විශාල පිරිසක්‌ අයින් කරන්න හදනවා. ඇයි අයින් කරන්නේ ඔවුන් ශ්‍රිලංකා නිදහස්‌ පක්‌ෂයට වැඩ කල නිසා. අලුතින් හදපු ආණ්‌ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වුණේ මේවද. කරනවා කිව්ව අලුත් වෙනස මේකද. යහපාලනය කියන්නේ මේකද කියලා අපිට දැන් අහන්න සිද්ධ වෙලා තියෙනවා.
එදා මම මේ පළාතට ගෙනාව සංවර්ධනය අද සම්පුර්ණයෙන්ම නැවතිලා තියෙනවා. එදා මන් හදපු පාරවල් ටික කිසිදු නඩත්තුවක්‌ නැතිව විනාශවෙමින් යනවා. එදා මන් රේල් පාර හා අධිවේගී මාර්ගය මේ පළාතට ගේන්න කටයුතු කලා. නමුත් අද ඒ බොහෝ ව්‍යාපෘති අතරගම නතරවෙලා. හැබැයි එදා අපි අත්සන් කරපු මේ ගිවිසුම් කාටවත් එහෙම නවත්තන්න පුළුවන්කමක්‌ නෑ. එදා චීනෙට බැන බැන හිටපු මේ ආණ්‌ඩුව අද චීනේ පස්‌සෙන්ම යනවා. අද පන්සලක ළමයෙක්‌ මහනකරන්න ගියත් අධිකරණයට ගෙනියන්න තරම් මේ ආණ්‌ඩුවේ ඇතැම් අය කටයුතු කරනවා. ඉන්න හාමුදුරුවරු ටිකත් ඉතා සීග්‍රයන් අඩුවෙලා යනවා. උන්වහන්සේලා ආරක්‌ෂා කරගන්න කිසිදු වැඩපිළිවෙළක්‌ වර්තමාන රජයෙන් අපිට දකින්න නෑ. අපේ රටේ හාමුදුරුවරු ටික තමයි එදත් රට රැක ගැනීමේදී පෙරට ආවේ කියලා. උන්වහන්සේලා මේ රට වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරනවා. කැක්‌කුමකින් කටයුතු කරනවා. පහුගිය දවස්‌වල අපි දැක්‌කා සමහරු කියනවා ව්‍යවස්‌තාවෙන් බුදුදහමට තියෙන තැන ඉවත් කරලා සියලු දෙනාට එකහා සමාන සළකන ක්‍රමයක්‌ ගේන්න ඕනේ කියලා. පුදුමේ කියන්නේ එදා සුද්දා පිළිගත්තදේ අද මේ ආණ්‌ඩුවේ සමහර අය පිළිගන්න කැමති නැති එක යෑයි පැවසිය.
ඓතිහාසික තිස්‌සමහාරාම සදගිරි උභය රාජමහා විහාරාධිපති ආචාර්ය පුජ්‍ය දේවාලේගම ධම්මසේන නාහිමියන් ඇතුළු ප්‍රදේශයේ මහාසංඝරත්නය ,පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩී.ඩී.චානක මහතා ඇතුළු පළාත් සභා මැති ඇමැතිවරුන් හා සතරපේරුවේ දායකකාරකාදීන් රැසකගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්විණි. පිළිගැනීමේ කතාව සිදු කළේ කැන්දගස්‌මන්කඩ ශ්‍රී රත්නාරාම පුරාණ රජ මහා විහාරස්‌ථානයේ විහාරාධිපති, ලුණුගම්වෙහෙර සාසනාරක්‌ෂක බලමණ්‌ඩලයේ ලේඛාකාධිකාරී, තිස්‌සමහාරාම ලුණුගම්වෙහෙර ඒකාබද්ධ භික්‌ෂු සංවිධානයේ සභාපති, ගලපිටගල පේමරනත හිමියන් විසිනි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!