මිනිසුන් පිස්සන් කරන ඉස්සන් ලංකාවට ගෙනා මෙහෙයුම

මිනිසුන් පිස්සන් කරන ඉස්සන් ලංකාවට ගෙනා මෙහෙයුම

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ඉස්‌සන් වගාකරුවන් සිය අස්‌වැන්න අලවිකිරීමට නොහැකිව පීඩාවට පත්ව සිටින අවදියක කර්මාන්තයට දැඩි ලෙස තර්ජනයක්‌ එල්ල වන බව කියන වනමි (vannamei) ඉස්‌සන් ලංකාවට රැගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධව ජලජීවී වගා ක්‌ෂේත්‍රයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක්‌ උද්ගතවී තිබේ.
ඇමරිකාවේ හවායි ගුවන් තොටුපලේ සිට කොරියානු ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් වනමි ඉස්‌සන් ප්‍රභේදයේ මව් ඉස්‌සන් තොගයක්‌ මෙරටට රැගෙන එන්නේ ඉකුත් 08 වැනි දින අලුයම 4.30 ට පමණය.
මෙසේ රැගෙන ආ මව් ඉස්‌සන් ජෝඩු 50 ක්‌ අඩංගු බහාලුමේ බර කිලෝග්‍රෑම් 550කි.
වනමි නමින් හඳුන්වන මෙම ඉස්‌සන් මෙරටට ගෙන්වීම තුළින් භයානක රෝග පැතිරී යා හැකි බවට හා කිසිදු නීරෝධායන කටයුක්‌තක්‌ සිදු නොකර මෙම මව් ඉස්‌සන් මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇති බවට සඳහන් කරමින් පුත්තලම දිස්‌ත්‍රික්‌ ඉස්‌සන් වගාකරුවන්ගේ සංවර්ධන සන්ධානය විසින් හලාවත කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයා වෙත පැමිණිල්ලක්‌ද ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව පොලිසිය විසින් කරන ලද දැනුම් දීමක්‌ මත මව් ඉස්‌සන් ඇතුළත් බහාලුම තම භාරයට ගෙන පරීක්‌ෂා කිරීමට රේගු නිලධාරීන් කටයුතු කළ අතර එහිදී ඇමෙරිකාවෙන් මෙම ඉස්‌සන් තොගය ගුවන් ගත කිරීමට පෙර නිරෝධායන කටයුතු සිදු කර ඇති වාර්තාවක්‌ ද හමු වී තිබේ.
කෙසේ වෙතත් පුත්තලම දිස්‌ත්‍රික්‌ ඉස්‌සන් වගාකරුවන්ගේ සංවර්ධන සන්ධානය විසින් ජලජීවී වගා සංවර්ධන අධිකාරිය වෙත මෙම ඉස්‌සන් අනයනය කිරීම තහනම් කරන ලෙස ඉල්ලීම් කර තිබුණ ද එම ඉල්ලීම නොසලකාහැර වනමි මව් ඉස්‌සන් රැගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධ දැඩි විරෝධයක්‌ එම සංවිධානය විසින් එල්ල වී තිබේ.
මෙවැන් වාතාවරණයක්‌ එසේ පැන නැගී තිබූ අවස්‌ථාවක එදින (08 දා) පොලිස්‌ ආරක්‌ෂාව යටතේ වනමි මව් ඉස්‌සන් සහිත බහාලුම වෙන්නප්පුව – නයිනමඩම පිහිටි ඉස්‌සන් අභිජනනාගාරය වෙත රැගෙන ඒමට කටයුතු කළේය.
1970 දශකයේ කුඩා පරිමාණ ව්‍යාපාරයක්‌ ලෙස ආසියාතික රටවල ආරම්භ කළ ඉස්‌සන් වගාව ක්‍රමයෙන් ලෝකයේ අන්රටවලට ව්‍යාප්තවීමට පටන් ගැණින
චීනයේ, තායිලන්තය ඉන්දියාව යන රටවල් ආසියානු කලාපයේ ඉස්‌සන් වගා කරන ප්‍රධානතම රටවල් වන අතර ඇමෙරිකාව, බ්‍රසීලය, මෙක්‌සිකෝව සෙසු රටවල් වේ.
වර්තමානයේ ලෝකයේ ප්‍රධාන වශයෙන් වගා කරනු ලබන ඉස්‌සන් ප්‍රභේදයේ Peneausmonodon හා Litopeneausvannamei යන ප්‍රභේදයන්ය.
ශ්‍රී ලංකාවේ තුළ ඉස්‌සන් වගාව ආරම්භ වූයේ 1980 දශකයේ මුල් අවධියේදී බහු ජාතික සමාගම් අතළොස්‌සක්‌ විසින් ආරම්භ කළ ඉස්‌සන් වගාව සඳහා පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ කල්පිටිය සිට වෙන්නප්පුව දක්‌වා කලපුතීරය ප්‍රයෝජනයට ගැනිණි.
අනතුරුව ඉස්‌සන් වගාව පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ කලපු ආශ්‍රිතව ඉතා සීඝ්‍රයෙන් ව්‍යාපාරයක්‌ ලෙස පවත්වාගෙනයාම සිදු විය. Peneausmonodon ඉස්‌සන් විශේෂය වගා කෙරිණි. එවකට රටට විශාල විදේශ විනිමයක්‌ ලබා දෙන පොල් වගාවට නොදෙවෙනි ලෙස ඉස්‌සන් වගා අපනයනය සිදු විය. කාලයාගේ ඇවෑමෙන් නිසි ප්‍රමිතියකින් තොරව ඉවක්‌ බවක්‌ නොමැතිව ඉස්‌සන් වගා කිරීම හේතුවෙන් ලෙඩ රෝග පැතිරී එම ව්‍යාපාරය අඩපන විය. ඉස්‌සන්ට වැළඳෙන සුදු පුල්ලි රෝගය මින් ප්‍රධාන විය.
මෙම කඩාවැටීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකයන්ට සිය කර්මාන්තය පවත්වාගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදාවිය. කර්මාන්තයේ රැඳෙන සංඛ්‍යාවට වඩා එය අතහැර දමන සංඛ්‍යාව වැඩි විය.
ශ්‍රී ලංකාවට ලැබෙන ඉස්‌සන් අපනයනය ආදායම ඉතා ශීඝ්‍රයෙන් පහත වැටුණි.
වසර ගණනාවක්‌ තිස්‌සේ මෙසේ අභාවයට පත්වෙමින් පවතින කර්මාන්තය ඉස්‌සන් කර්මාන්තකරුවන් දැඩි කැපවීම හා උත්සහය තුළන් අදාල අංශ සමග සාකච්ඡා පවත්වමින් ඉස්‌සන් වගාවට යළි ජීවිතයක්‌ ලබා දීමට හැකි වූයේ මීට වසර කිහිපයකට පෙරය. ඉස්‌සන් කර්මාන්තකරුවන්ගේ සෝ සුසුම් සැනසුම් සුසුම් බවට පරිවර්තනය වෙමින් පවතින යුගයක වනමි ඉස්‌සන් මෙරටට රැගෙන ඒමට කටයුතු කිරීමෙන් ඉස්‌සන් වගාව යළි පෙර තිබූ තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බව කර්මාන්තකරුවන් පෙන්වා දෙති.
මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සංධානයේ සභාපති කමල් නානයක්‌කාර
මුලින් මෙම වනමි ඉස්‌සන් උතුරු නැඟෙනහිර ප්‍රදේශයට පමණක්‌ හඳුන්වා දෙන යෝජනාවක්‌ 2017 වර්ෂයේ ගෙනවා.
අපි කිව්වේ සුදුසු තාක්‌ෂණික කමිටු නිර්දේශයකට අනුව මෙය සිදු කළ යුතු බවය.කෙසේ වෙතත් මෙය ක්‍රියාත්මක වුණේ නෑ. නමුත් මොනඩෝන් ඉස්‌සන් ප්‍රභේදය ඉතා සාර්ථකව වගාකර අස්‌වැන්නක්‌ ලබා ගන්නා වකවානුවක මෙම ආගන්තුක ඉස්‌සන් ගෙන ඒමට අපි විරුද්ධයි මොකද භයානක ලෙඩ රෝග ඇතිවිය හැකියි.
මොහාන් ප්‍රනාන්දු – මේ ඇමරිකාවෙන් මෙහාට ගෙනාපු වනමි (vanammi) ඉස්‌සන් විශේෂයට සුදු පුල්ලි රෝගය වඩා භයානක රෝගයක්‌ වන E.M.S (Early Mortality
Syndrome) කියන රෝගය වැළඳෙනවා. මීට අමතරව තවත් ලෙඩ රෝග කිහිපයක්‌ වනමි ඉස්‌සන්ට වැළඳෙනවා කියලා අපි දැනගත්තා වර්තමානයේ මොනඩෝන් ඉස්‌සන් වගාව අපි සාර්ථකව කරගෙන යනවා. ඒ වගාව තවත් සාර්ථකව පවත්වා ගෙන යන්න අවශ්‍ය වටපිටාව සකස්‌ නොකර අපේ පරිසරයට නුසුදුසු ඉස්‌සන් ඇයි ගේන්නේ අපි ඒකට තරයේ විරැද්ධයි.
සනත් රුද්‍රිගෝ – දැන් ගෙනල්ලා තිබෙන ඉස්‌සන් අපිට තේරෙන විදිහට අපේ රටට ගැලපෙන් නෑ.
ලෙඩ රෝග බෝවන ප්‍රවණතාවය වැඩි විය හැකිවේ. අනිත් එක තමයි නිසි පරීක්‌ෂණාගාර පහසුකම් අපේ රටේ තාම නෑ. ඕනම දෙයක්‌ හඳුන්වා දෙන්න ඕන රටට ගැලපෙනවද නැද්ද බලලා. අද එක්‌ පුද්ගලයකුගේ අවශ්‍යතාවය මත තමයි මේ වනමි ඉස්‌සන් ලංකාවට ගෙනල්ලා තියෙන්නෙ. අපේ දැන් නිෂ්පාදනය කරන ඉස්‌සන් හට නිසි මිලක්‌ නොමැතිව දුක්‌ විඳිනවා. ඒවා සොයලා බලලා විසඳුම් ලබලා දෙනවා වෙනුවට මේවද කරන්නේ. රටේ ජාතික නිෂ්පාදනයට දායක වන ඉස්‌සන් වගාකරුවන්ගේ හඬට රජය මීට වඩා ඇහුම් කන් දිය යුතුයි.
වයඹ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය සුමල් තිසේරා. මේ ඉස්‌සන් ප්‍රභේදය වෙළෙඳපොළට රැගෙන ඒමට පෙර නිසි පරීක්‌ෂාවට ලක්‌ කරලා රටට ගැලපෙනවද කියලා නිසි අධ්‍යනයක්‌ කර බලන්න ඕනා. වෙනත් රටවල පරීක්‌ෂණ වාර්තාවන් අපිට පිළිගන්න බෑ. අපේ රටේ පරීක්‌ෂණ කරලා වාර්තාවක්‌ ලබා ගෙන මේ කාර්යය කරන්න තිබුණා. නීති රීතිවලට රෙගුලාසිවලට යටත්ව වනමි ගෙන්නීමට සුදුසුයි කියලා මම කියනවා. ධීවර අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා මේ සම්බන්ධව දැනුවත් කිරීමට මම කටයුතු කරනවා.
ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නීතිඥ උපාලි මොහොට්‌ටි. අද ලෝකයේ ඉස්‌සන් වගා කරන රටවල් වන වියට්‌නාමය, චීනය, ඉන්දියාව ,තායිලන්තය ඇතුළු රටවල් 70% ක්‌ පමණ වගා කරන්නේ වනමි ඉස්‌සන්ය. මෙම ඉස්‌සන් විශේෂය අඩු ඉඩ ප්‍රමාණයක වැඩි අස්‌වැන්නක්‌ ලබා ගත හැකිය. මෙම ඉස්‌සන් ගෙනල්ලා එකපාරටම µdම්ස්‌වලට දමන්නේ නෑ. ප්‍රථමයෙන් මේ රටට ගැලපෙනවද නැද්ද යන්න අධ්‍යනය කරන්න තමයි මේ ඉස්‌සන් ගෙනාවේ. මන්නාරම ජන ශූන්‍ය ප්‍රදේශය පොකුණක මෙම ඉස්‌සන් වගා කරලා නිසි අධ්‍යනයක්‌ සිදු කරනවා. එය රටට යෝග්‍ය නම් පමණක්‌ සෙසු අයටත් හඳුන්වාදීලා ප්‍රචලිත කරනවා.
මෙය නියමු ව්‍යාපෘතියක්‌ ලෙස අපි ක්‍රියාත්මක කරන්නේ. අනිත් එක ඔය විරුද්ධ වන අය තමයි මෙම වනමි ඉස්‌සන් ලංකාවට ගේන්න කියලා මුල ඉඳන්ම කිව්වේ. ඒ ගොල්ලන් දැන් දවස්‌ කීපයක ඉඳන් මෙයට විරුද්ධ වෙලා . අනිත් එක දැන් එයාලට තිබෙන එක්‌ ප්‍රශ්නයක්‌ තමයි ඉස්‌සන්ට මිලක්‌ නෑ කියන එක. අස්‌වැන්න වැඩි නිසා මිල පහත වැටෙනවා. විශේෂයෙන් විදේශවලට අපිට අඛණ්‌ඩව ඉල්ලුමට අනුව සැපයුමක්‌ ලබා දිය නො හැකියි. ඒ නිසා එවැනි ඉල්ලුමකට නිසි සැපයුමක්‌ ලබා දෙන්න ඉස්‌සන්ගේ නිෂ්පාදනය අඛන්ඩව තියෙන්න ඕනා. අපි අපනයන කරැවන් හා අමාත්‍යවරයා සමග සාකච්ඡා කර යම්තරමක මිලක්‌ වැඩි කළා.
ලෙඩ රෝග පැතිරෙනවා එම ලෙඩ රෝග ඉතා භයානකයි කියලා මාධ්‍යයට කියන්නේ ඉස්‌සන් වගා කරන අයමයි. මින් හානිය වන්නේ ඒ අයටයි. මොකද ඉස්‌සන් පරිභෝජනයට ගැනීමේදී දෙවරක්‌ හිතන්න පුළුවන් ඉස්‌සන්ගේ පරිභෝජනය අඩු වෙලා කර්මාන්තයට බලපෑම් ඇතිවෙන්න පුළුවන්.
මෙම ඉස්‌සන් ගැන නිසි අධ්‍යනයක්‌ සිදු කරලා රටට ගැලපෙනවද නැද්ද කියලා බලමු.

අමරනන්ද විඡේසේකර – මහවැව

(Visited 87 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!