මහින්ද සමග සටනට බණ්ඩාරනායකලා

Spread the love
  •  
  •  
  •  
  •  

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්‍ෂකයා කවුද යන්න සම්බන්ධයෙන් උණුසුම් වාද – විවාද මතුවෙමින් තිබෙන තත්ත්වයක් තුළ බණ්ඩාරනායකවරුන් දෙදෙනකු ඒ සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳ විපක්‍ෂයේ අවධානය යොමු වී තිබේ. බණ්ඩාරනායක පවුල නියෝජනය කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ වැඩිමහලු සොහොයුරිය වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය මේ සඳහා සුදුසු බවට යෝජනා වී ඇති අතර ඇය හරහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨයන් රැසකගේ සහාය ලබා ගැනීමට හැකිවෙතැයි යන්න විපක්‍ෂයේ අදහස වී ඇත.
එසේම ස්වාධීන විනිශ්චයකාරවරියක ලෙස ප්‍රකට දෝෂාභියෝගයක් මඟින් ඉවත් කළ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නමද පොදු අපේක්‍ෂක ධුරය සඳහා යෝජනා වී තිබේ. එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මීට පෙර එම පක්‍ෂයේ පිරිස් විසින් ප්‍රචාරය කළ අතර, පසුව එය එ.ජා.ප. නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීම දක්වා වෙනස් විය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන්ද පසුගිය සතියේ මාධ්‍යයට පවසා තිබුණේ මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවය.
මේ අතර විපක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුවට විසඳුමක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට සම්බන්ධ විද්වත් පිරිස් යෝජනා කර ඇත්තේ මේ බණ්ඩාරනායකවරුන් දෙදෙනාගෙන් අයකු පොදු අපේක්‍ෂක ධුරයට වඩා සුදුසු බවයි. ඊට විපක්‍ෂයේ පක්‍ෂ ගණනාවක ඒකමතික අනුමතය දැනටමත් ලැබී තිබෙන බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

(Visited 8 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!