“මහින්ද යුද්ධය අවසන් කර රට සංවර්ධනය කරා…” – සිරිසේන

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ මහතා සහ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය හා එක්‌ව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙනයැමට තමා සූදානම් යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21 වැනිදා) නුවරඑළියේදී පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නුවරඑළිය පක්‍ෂ සමුළුව ඊයේ (21 වැනිදා) නුවරඑළිය නගර ශාලාවේ පැවැති අවස්‌ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය යුද්ධ කරමින් රට සංවර්ධනය කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ පැවැති යුද්ධය අවසන් කර රට සංවර්ධනය කරා ගෙන ගිය බවද ජනපතිවරයා කීය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය
සෑම ජනාධිපතිවරණයකදීම පෙරමුණ හා සන්ධාන අපේක්‍ෂකයන්ගේ ප්‍රධාන පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නායකයන් අවුරුදු 20 ක්‌ රට පාලනය කළා. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී රටේ ප්‍රගතිශීලී මධ්‍යස්‌ථ මතධාරීන් මට ඡන්දය දුන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ වෙනසක්‌ කරන බවට දුන් පොරොන්දුව නිසයි. මම ජනාධිපති වී කෙටි කලකදී විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කිරීමට හැකිවුණා. දින සියයේ මැතිවරණ ප්‍රකාශය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසීමකට අනුව 18 වැනි සංශෝධනයෙන් ලබාදී තිබූ අසීමිත බලතල අහෝසි කළා.
19 වැනි සංශෝධනය තුළින් රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ස්‌වාධීනත්වය තහවුරු කිරීමට හැකි වුණා. නෙල්සන් මැන්ඩෙලා, මාඕ සේතුං, මහත්මා ගාන්ධි තම රටවල සමාජ පෙරළියක්‌ කළ නායකයන්. නෙල්සන් මැන්ඩෙලා වසර 27 ක්‌ හිරේ හිටියා. නිදහස ලැබී රටේ ජනාධිපතිවරයා වී රට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්‌කරණවලට ලක්‌කොට වසර හතරකින් විශ්‍රාම ගියා.
එසේම චීනය, ඇමරිකාව, අප්‍රිකාව වැනි රටවල දේශපාලකයන් බලයේ සිටින්නේ ඉතා සීමිත කාලයයි. එවැනි අලුත් දේශපාලන දැක්‌මක්‌ රටට අවශ්‍යයි.
මට කාවවත් කපන්න වුවමනාවක්‌ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දිනවා රට දිනවීම මගේ එකම අරමුණයි. පක්‍ෂය දෙකඩ වීමට මම ඉඩ තියන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වෙනුවෙන් උපරිම කැපකිරීම් කරන්න මම සූදානම්.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සැවොම එකට එකතු කිරීමට මගේ පැත්තෙන් සියලුම කැපකිරීම් කරනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකත්වය නොමැති අය මෙයට මැදිහත් වී පක්‍ෂය දෙකඩ කිරීමට, කඩාකප්පල්කාරී වැඩවලට ඉඩ නොදෙන ලෙසත් පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම ශ්‍රී ලනිප සාමාජිකයන් තම තමන්ගේ කාර්යය, තමාගේ වගකීම් දැනගෙන කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මෙම අවස්‌ථාවට ශ්‍රී ලනිප යේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය එස්‌. බී. දිසානායක, මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!