මහින්දගේ ආරක්ෂක ලොක්කාගෙනුත් ප්‍රශ්න කරයි

මහින්දගේ ආරක්ෂක ලොක්කාගෙනුත් ප්‍රශ්න කරයි

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග තහවුරු කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවූ හම්බන්තොට ශ්‍රීලනිප රැස්වීමට ගිනි අවියක් රැගෙන ගිය බව කියන හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට අනියුක්ත හමුදා කෝප්‍රල්වරයා සම්බන්ධයෙන් යුද හමුදා විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිසාන්ත ද සිල්වා මහතා විසින් පත්කර ඇති විශේෂ ඒකකය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් ජයනාත් ජයවීර මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව සත්‍යයක් බවයි.
එසේ වුවද සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ කවුරුන්ගෙන්ද යන්න හා ඉදිරියට ප්‍රකාශ සටහන් කරගනු ඇත්තේ කාගෙන්ද යන්න අනාවරණය කළ නොහැකි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එය පරීක්ෂණ වලට බාධාවක් විය හැකි බැවින් කිසිවක් අනාවරණය නොකරන බවද ඔහු කියා සිටියේය.
පසුගිය 25 වන දින හම්බන්තොට,අඟුණකොළපැලැස්ස පැවති ශ්‍රීලනිප රැස්වීමට ගිනි අවියක් රැගෙන පැමිණි බව කියන යුද හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් මැයි මස 02 දාය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා නිවේදනය කර තිබුණේ අත්අඩංගුවට ගත් සැකකරු අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ කෝප්‍රල් කුමාර අත්අඩංගුවට ගැනීමටත්, තමා සමග සිටින සැමටත්, එම පවුලේ සාමාජිකයන්ටත් එරෙහිව දිගින් දිගටම ගෙන යන අවලාද හා අඩන්තේට්ටම් ව්‍යාපාරයේම තවත් අංගයක් බවයි.
තමාටත්, තමාගේ පවුලේ සමාජිකයන්ටත් එරෙහිව ඇති දේශපාලන හා පුද්ගලික කෝන්තරවලට යුද හමුදා හෝ පොලිස් නිලධාරීන් පටලවා නොගන්නා මෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින බවද හිටපු ජනාධිපතිවරයා එකී නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!