“මගේ පුතා නයිට් ක්ලබ් එකට ගියේ විදේශගත ඥාති නැඟණියකගේ තනියට”ප්‍රසිද්ධ ක්‍රීඩකයාගේ මරණයේ අභිරහස

“මගේ පුතා නයිට් ක්ලබ් එකට ගියේ විදේශගත ඥාති නැඟණියකගේ තනියට”ප්‍රසිද්ධ ක්‍රීඩකයාගේ මරණයේ අභිරහස

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

2018.12.29 වැනි දින අලුයම කොම්පඤ්ඤවීදිය පොලිස් වසමට අයත් අංක 46, නවම් මාවත, කොළඹ 02 පෙදෙසේ ග්‍රීන් ලංකා ට්‍රැවල්ස්හි 9 වැනි මහලේ ඇති රාත්‍රි සමාජ ශාලාවක් කරා විදුලි සෝපානයකින් ගමන් ගනිමින් සිටියදී 151/1 තලංගම උතුර බත්තරමුල්ල පදිංචි කෝකිල සමන්ද සම්මන්දපෙරුම හදිසි අනතුරකට ලක්ව මියයන්නේ සියල්ලන්ම විමතියට පත් කරමිනි. කෝකිල අතිදක්‍ෂ රගර් ක්‍රීඩකයෙක් පමණක් නොව දෙස් – විදෙස් රගර් තරග රැසකට මුහුණ දී ජනප්‍රියතාව දිනාගෙන සිටි අයෙක් නිසා ඔහුගේ මරණය සමාජයේ දැඩි කතාබහකට ලක්ව ඇති අතර ඒ පිළිබඳ විවිධ මත පළවන්නට ගෙන තිබේ. කෝකිලගේ මරණය පිළිබඳ ශෝකයෙන් බර ඔහුගේ මෑණියන් වන නෙංජලී නීෂා කුමාරි මහත්මිය පවසා සිටින්නේ මෙවැන්නකි.

\’මට දරුවෝ තුන්දෙනයි. පුතාලා දෙන්නම වෙස්ලි විද්‍යාලයට ගියා. දරුවන්ට අපි නිදහස දුන්නා එයාලට කැමැති දේවල් තෝරා ගන්න. අපේ ගෙදර ඇත්තටම නිදහස් ගෙදරක්. පුතාලා දෙන්නා ක්‍රිකට් තෝර ගන්නේ නැතිව රගර් ක්‍රීඩාව තෝරා ගත්තා. අපි සල්ලිකාරයෝ නොවෙයි. ඒත් ළමයි තෝරා ගත්ත මඟ අපි වෙනස් කළේ නැහැ.

අපට නැති වුණු පුතා මට ලැබුණේ 1993 දෙසැම්බර් 2 වැනිදායි. පුතා බොහොම නිහඬයි. එයා මටයි එයාගේ තාත්තටයි ආදරෙයි. මම පුතාට දෙවි පිහිටයි කියලා කිව්වාම තමයි එයා ගෙදරින් එළියට බහින්නේ. මම මොන වැඩක හිටියත් එයා මම ඒ වැඩේ ඉවර කරලා එනකම් ඉන්නවා ගෙදරින් එළියට බහින්න. මගේ අනෙක් දරුවෝ දෙන්නත් එහෙමයි. එයා හොඳින් ඉගෙන ගත්තා. පාසලේ විනය අතින් ඉහළටම ගියා. මට තාම මතකයි එයාට ඉඳුල් කටගාපු දවස. එයාගේ සීයා මැකෑනික් කෙනෙක්. කැටපිලර් මැකෑනිකල් තමයි කළේ. ඉඳුල් කටගාන දවසේ දරුවන්ට දේවල් තෝර ගන්න දෙනවනේ. එයා තෝර ගත්තේ කැටපිලර් එකක යතුරක්. එයාගේ සීයා ඒ ගැන හරි සතුටු වුණා. දෛවය කියන්නේ පුතා එයාගේ රැකියාව විදියට තෝර ගත්තෙත් කැටපිලර් මැකෑනිකල්. මම සිංහල බෞද්ධ. මගේ මහත්තයා කතෝලික. මගේ ආගම අනුව මම හිතන්නේ මගේ පුතා ජීවතුන් අතර ඉන්න කාලේ එයාගේ ජීවිතයට සාධාරණයක් කරපු කෙනෙක්. මගේ දරුවා හොඳ දරුවෙක්. අම්මලා කවම කවදාවත් දරුවන්ට වැරැදි කියන්නේ නැහැනේ. ඒත් මට ඇත්තටම මගේ දරුවගේ වැරැද්දක් කියන්න බැහැ.

ඉලන්දාරි වයසෙ ළමයි කරන දේවල් තලතුනා අපට වැරැදි විදියට පේන්න පුළුවන්. ඒත් මම එහෙම දෙයක් දැක්කේ නැහැ. එයාගේ පුංචි කාලේ ගෙවුණේ එහෙම. ඊට පස්සේ එයා රගර් සෙල්ලම් කරන්න ගත්තා. දක්‍ෂ ක්‍රීඩකයෙක් වුණා. අන්තර් රගර් තරගවල එයා හරිම ජනප්‍රියයි. ඒ හින්දා ක්‍රීඩා සමාජවල අය පුතාට ගොඩක් කැමැතියි. මම පුතා සෙල්ලම් කරන හැම තරගයක්ම බලන්න යනවා. තරගය පටන් ගන්න කලින් පුතා මට කතා කරනවා. තරගය ඉවර වෙලා මාව ත්‍රීවීල් එකකට ගොඩ කරලා, ඒකට සල්ලි දීලා තමයි පුතා ජය පරාජය මොක වුණත් ඒක විඳින්නේ. මගේ දරුවා එහෙමයි. ක්‍රීඩාව එයාට විනය හඳුන්වලා දීලා තිබුණේ. තරගයකට කලින් දවසේ පුතා වැඩියෙන් කැමැති ගෙදර ඉන්න. පෙර පුහුණු වීම් තිබුණොත් විතරයි ගෙදරින් යන්නේ. නැතිනම් ගෙදර ඇතුළටම වෙලා ඉන්නවා. ඒකයි මම කිව්වේ එයා අමුතු අහිංසක දරුවෙක් කියලා. පුතා පවුලට ලොකු බැඳීමකින් කටයුතු කරපු කෙනෙක්.

මම අදාළ කාරණාවට එන්නම්. අපි සාමාන්‍ය මිනිස්සු. පුතාලා රගර් සෙල්ලම් කළාට අපි ඉන්නේ තාමත් හදාගෙන යන ගෙදරක. මගේ දරුවන් රාත්‍රි සමාජ ශාලාවලට ගිහිල්ලා ලොකු මුදලක් වියපැහැදම් කරන්න පුළුවන් අය නෙවෙයි. එහෙම මුදලක් වියපැහැදම් කරන්න පුළුවන්කම තිබුණත් එහෙම කරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි රාත්‍රි සමාජ ශාලා කියන්නේ දියුණු සංස්කෘතියක ඉන්න ළමයින්ට බොහෝම පොඩි දෙයක්. මගේ පුතාගේ මරණය කොයි තැනකදී වුණත් වෙන්න පුළුවන් දෙයක්. දැන් සමාජය කතා කරන්නේ පුතාගේ මරණය රාත්‍රි සමාජ ශාලාවකට යන ගමන් වුණු හින්දා. රගර් ක්‍රීඩකයෙක් රාත්‍රි සමාජ ශාලාවක හිටියා කියන එක රටට ප්‍රවෘත්තියක්. හැබැයි මගේ පුතා ග්‍රවුන්ඩ් එකකදී හදිසි අනතුරකින් මියගියා නම් ඒක ප්‍රවෘත්තියක් නොවේවි.

මෙතැන වැදගත් දේ තමයි පුතා රාත්‍රි සමාජ ශාලාවලට ගියේ නංගා එක්ක. ඒ කියන්නේ මගේ නංගීගේ දුව එක්ක. ඒ අය ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඒ දුවගේ යාළුවෝ එදා මුණගැහෙන්න නියමිත කරගෙන තිබෙන්නේ ඒ රාත්‍රි සමාජ ශාලාවේදී. ලංකාවේ තත්ත්වය ඕස්ට්‍රේලියාවේ අය දන්නේ නෑනේ. පුතා හැමවෙලාවෙම කිව්වේ අම්මා… ඔයාගේ නංගී ඔයාව විශ්වාස කරලා එයාගේ දුව ලංකාවට එවද්දී අපි එයාව හොඳින් බලාගන්න ඕන කියලා. මොකද ලංකාවේ තත්ත්වය අපි හොඳින් දන්න නිසා.

ඕස්ට්‍රේලියාවේ හැදුණු ළමයෙක් එයාගේ යාළුවෝ මුණගැහෙන්නේ එයාගේ සමාජ තලයට සමාන පරිසරයක. ඊට පස්සේ පුතා කිව්වා අම්මා මට මැච් එකක් තියෙනවා. ඒත් නංගාව තනියම යවන්න හොඳ නෑ කියලා. මම එයාව එක්කම් යන්නම්. එතකොට ඉක්මනට එක්කගෙන එන්න පුළුවන් කියලත් පුතා කිව්වා. මගේ පුතා අනතුරට පත් වුණේ එයාගේ සහෝදරියව එයාගේ රැකවරණය යටතේ රාත්‍රි සමාජ ශාලාවට රැගෙන යද්දී. අනෙක මම නංගා කියලා කිව්වට ඒ ළමයා මගේ පුතාගේ අක්කා. ඒ දුව මගේ පුතාටත් වඩා වැඩිමල්. මරණය සිදු වෙන්න කලින් මගේ පුතා තමයි අන්තිමටම ලිෆ්ට් එකට නැඟලා තියෙන්නේ. ඒකනේ එයා මුලින්ම බහින්න උත්සාහ අරගෙන තියෙන්නේ. මේක හදිසි අනතුරක්, හරි විදියට ලිෆ්ට් එක මේන්ටෙන් නොකරපු නිසා සිදුවුණු හදිසි අනතුරක්. ඒ අනතුර සිදුවන වෙලාවේ එයාගේ සහෝදරිය එයා ගාව. පුතා හිතන්න ඇති මුලින්ම තමන්ගේ සහෝදරියව බේර ගන්න ඕන කියලා. මොකද මගේ පුතා එහෙම කෙනෙක්.

රගර් සෙල්ලම් කරන හැමෝම පුතා දන්න අය. මම දන්නේ නැහැ ඒ අය හැමෝම පුතාගේ යහළුවෝද කියලා. එහෙම කියන්න බැහැනේ. එයාගේ යාළුවෝ තෝර ගන්නේ එයා. නාමල් රාජපක්‍ෂ, යෝෂිත රාජපක්‍ෂ ඒ හැමෝම එයාව දන්නවා. එයා කොළඹ කෙනෙක් වුණාට මහනුවර කඩවල පවා එයාගේ මරණය ගැන ශෝක ප්‍රකාශ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ පුතා හැමෝම එක්ක හිතවත් නිසා. පත්තරවල, ගොසිප් වෙබ්වල ගියේ සම්පූර්ණ බොරු. මම කරුණාකරලා ඉල්ලනවා මගේ පුතාගේ මරණයට දේශපාලනය ගාව ගන්න එපා කියලා. එක වෙබ් එකක පළවෙලා තිබුණා පුතා එයාගේ ප්‍රේමවන්තිය එක්ක රාත්‍රි සමාජ ශාලාවකට යද්දී මේ අනතුර සිදු වුණා කියලා. තවත් වෙබ් එකක තිබුණා පුතා එයාගේ මරණයට පෙර අන්තිම මොහොතේ ඩාන්ස් කරන ෆොටෝ එකක් මෙන්න කියලා. මේ ළමයා රාත්‍රි සමාජ ශාලාවට යමින් සිටියදී තමයි මේ අනතුර වුණේ. මොන බොරුවක්ද. අනෙක ඒ ෆොටෝ එක මගේ ලොකු පුතාගේ මාස ගණනකට පෙර ගත්ත එකක්. මේ වගේ බොරු නිසා මගේ දරුවට පවක් සිදු වෙයි. මට දුක ඒක ගැන.\’

කෝකිල තරුණ ජවයෙන් අනූන ක්‍රීඩකයෙකි. ක්‍රීඩාවට අන්‍ය වූ ජීවන රටාවක් තෝරා ගත් පුද්ගලයකු ලෙස කෝකිලට සමාජයට වැඩි ඉඩකඩක් හිමි වී තිබුණේ ඒ නිසාය. ලංකාව වැනි සංස්කෘතිකව දිළිඳු රටක සාමාන්‍යයෙන් සිදු වන්නේ මරණයෙන් පසුව පුද්ගලයකු විසින් කීර්තිය අත්පත් කර ගනු ලැබීම පමණි. එවැන්නකදී එම කීර්තිය සත්ත්‍යවාදී වීම හෝ ව්‍යාජ වීමේ වැදගත්කමක් නොමැත. ඒ සිදු නොවිය යුතු දේ සිදුව ඇති නිසාය.

\’දරුවෝ අපට නැති වුණා. ඒක එයාගේ දෛවය. මම මගේ දරුවා දිහා බලාගෙන හිටියේ ඒ අයගේ ඇස්වලින්. අපේ ඇස්වලින් ලෝකය දිහා බලන දරුවෙක් මම හැදුවේ නැහැ. ඒකයි මගේ දරුවෝ දක්‍ෂ, ලස්සන දරුවෝ වුණේ. සමාජයට ආදර්ශවත් විදියට ජීවත් වුණේ. එයා නැති වුණා. හැමදේම දෙවියන් වහන්සේගේ කැමැත්ත. අන්තිමට සිද්ධ වෙන්නේ උන්වහන්සේ දුන්නු දේ උන්වහන්සේගේ තුරුලට යන එක විතරයි. එච්චරයි… ඒ කෝකිලගේ පියාගේ හඬය.\’

දැන් කෝකිලගේ මරණයට වගකිව යුතු දෝෂය කරා වැදගත්ය. කෝකිල රගර් ක්‍රීඩකයකු ලෙස සමාජය හඳුනා ගත්තද ඔහු අතිදක්ෂ කාර්මික ශිල්පියෙකි. කැටපිලර් වාහනවල අඩුලුහුඬුකම් කෝකිලට ක්‍ෂණිකව හඳුනා ගත හැකි යැයි පැවැසේ. කෝකිල ඉතා කුඩා වියේදී කැටපිලර් වාහන අතිදක්ෂ ලෙස හසුරුවන දසුන් අන්තර්ජාලයේ වුවද දැකිය හැකිය. මරණය සිදුවන විට කෝකිල කැටපිලර් වාහන සම්බන්ධ රැකියාවක් සඳහා විදෙස්ගත වීම සිට තිබේ. මරණය සිදුව ඇත්තේ විදෙස් ගත වීමට දින කිහිපයකට මෙපිටිනි. කෝකිලගේ මරණය සිදුවන විට විදුලි සෝපානයේ ගමන් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිස් පළ කළ අදහස් කරා යොමු වෙමු.
සෝපානයේ ගමන් ආරම්භ කිරීමට ප්‍රථමව එහි නැඟී ඉහළට යෑමට පුද්ගලයන් පහළොවක් පමණ සිට ඇති අතර අදාළ පිරිසේ බර සෝපානයට දරා ගත නොහැකි යැයි යන සංඥාවද සෝපානයෙන් දිස් වී නොමැත. මියගිය කෝකිල තම සහෝදරිය සෝපානයට ඇතුළු කර ඊට ගොඩ වී ඇත්තේ අවසානයට ගොඩවන්නා වශයෙනි. ඒ වන විට සෝපානයේ තිබී ඇත්තේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේය. සෝපානය එකවර බේස් මන්ට් එකට වැටී ඇති අතර එම අවස්ථාවේ සෝපානය ලොකු දුරක් පහළට නොගියද එය එක වරම සිර වී ඇති අතර එවිට ‍ෙදාරෙන් එළියට පැමිණීමට උත්සාහ ගත් අවස්ථාවේ සෝපානය එකවර පහළට ඇදී යෑම නිසා කෝකිල සෝපනයේ පහළ පානමේ සිර වී ඇත.

ඔහුගේ පපුව සිරවී ලේ ගලමින් සිහිසන්වූ බවට පැවැසේ. සිද්ධිය ඇසින් දුටු අය පවසන්නේ කෝකිල එම අවස්ථාවේදීම මියගොස් ඇති බවය.

\’අපි ඔක්කෝම පහළොවක් විතර හිටියා. ඊට පස්සේ අපි ගොඩවුණා. ඒ කියන්නේ අපි ඔක්කෝම. තව හතර පස් දෙනෙක් ගොඩ වෙමින් සිටියා. එක පාරටම උඩට යන්න හදද්දී ලිෆ්ට් එක පහළට වැටුණා. ඒ වෙලාවේ තමයි අනතුර සිදු වුණේ. හැමෝම කෑ ගැහුවා. ඒත් කාටවත් කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි ඇතුළින් වීදුරුවක් කැඩුවා. එළියේ හිටිය අයත් වීදුරුවක් කැඩුවා. ඊට පස්සේ තමයි ලැඩර් එකක් දාලා ඇතුළේ හිර වෙලා හිටිය අය එළියට ගත්තේ. ලිෆ්ට් එක ඕවර් ලෝඩ් වුණා කියලා කිසිම සංඥාවක් දැනුණේ නැහැ. තප්පරයක්වත් ගියේ නෑ ලිෆ්ට් එක පහළට වැටෙන්න. ඒ වෙලාවේ අපේ උදව්වට ගොඩක් අය හිටියේ නැහැ. ඊට පස්සේ පොලිසිය ආවා. ගිනි නිවන හමුදාවත් ආවා. කෝකිලගේ සිරුර ඉවත් කළේ ගිනි නිවන හමුදාවේ සහායෙන්. කෝකිලගේ පපුවට තමයි හානි වෙලා තිබුණේ.\’

පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ ජාතික රෝහලේදී සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේද කෝකිලගේ මරණය පපු කුහරයට හානි සිදුවීම නිසා ශ්වසන අවහිරතා හේතුවෙන් සිදුවී ඇති බවයි. සිදුවීම පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පොලිසිය විසින් කරුණු වාර්තා කර ඇති අතර රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ ඉන්ජිනේරුවන් යොදවා තාක්‍ෂණික වාර්තාවක් කැඳවීමටද අධිකරණය මේ වන විට නියෝග කර තිබේ.

කොළඹ නගරය තුළ ගොඩනැඟිලි ඉදිවුවද ඒවායේ ප්‍රමිතිය සහ ගොඩනැඟිලිවල තාක්‍ෂණ උපකරණ පිළිබඳව පසු විපරම් ගැටලු තිබේ. සාමාන්‍ය ලෙස විදුලි සෝපානයක් භාවිත වීමේදී ආරක්‍ෂිත උපක්‍රම පිළිබඳ පූර්ව නිගමන තිබේ. සෝපානයක් භාවිත කරන පුද්ගලයන් ඒවා පිළිබඳ සැලකිලිමත් වීම අතිශයින් වැදගත් වන්නේ සුළු අත්වැරැද්දකින් පවා විශාල හානියක් සිදුවිය හැකි නිසාය. කෝකිල ගමන් ගත් විදුලි සෝපානය කඩාවැටීම පිළිබඳ නිරීක්‍ෂණය කළ විට පැවසිය හැක්කේ එහි යම් කාර්මික දෝෂයක් ඇති වී ඇති බවය. විදුලි සෝපානයක එම සෝපානය අක්‍රියව ගියහොත් ඒ ඉබේම පහසුවෙන් ආසන්නතම මහල කරා පහත් කිරීම සඳහා ක්‍රියාවලියක් පවතී. මෙහිදී එවැන්නක් සිදුවී නැත. කෙසේ වෙතත් මෙවැනි වටිනා තරුණ ජීවිත අකාලයේ මිලින වීම අපට කියා දෙන්නේ කොතැනක හෝ වැරැද්දක් ඇති බවය. අතිශයින්ම වැදගත් වන්නේ වැරැද්ද නිවැරැදි කිරීමය. සත්‍ය කිසිමදාක වර්තමානයට අයත් වන්නේ නැත. ඒ අයත් වන්නේ අතීතයටය. කෝකිල මියගිය, මළගිය ඊයේ අතීතයට නිසා කෝකිල වෙනුවෙන් යුක්තිය ඉටුවෙනු ඇතැයි අනුමාන කිරීම හැර අන් යමක්ද නොමැත.

(Visited 129 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!