පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සොයාගත් හැටි

Spread the love
  •  
  •  
  •  
  •  

යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීම ගැන මෙරට දේශපාලන පක්‍ෂ විවිධ පරස්‌පර මත පළ කරති. එහෙත් ප්‍රභාකරන් අපරාධ කළ බවට සාක්‍ෂි සොයාගත් එකම පොලිස්‌ නිලධාරියා සිටියේ මෙරටයි ගල්කිස්‌ස ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලෙස කටයුතු කළ එම්. නිලබ්දීන් සතු සාක්‍ෂි මෙරට වෙන කිසිම පොලිස්‌ නිලධාරියකු සතුව නැත. මේ එකම සාක්‍ෂිකරු ඝාතනය කිරීමට 1999 මාර්තු 16 දා මේරි කුවින්ස්‌ නමැති මරාගෙන මැරෙන බෝම්බකාරිය නිලබ්දීන් ගමන් කළ මෝටර් රියට කඩාවැදුණි. එහෙත් ඔහු ඉන් දිවි ගලවා ගත්තේය.

නිලබ්දීන් විසින් සොයාගත් ප්‍රභාකරන්ගේ ඝාතන සැලසුම්වලින් කීපයක්‌ මෙසේය.

1. 1996 ජනවාරි 31 දා කොටුවේ මහ බැංකු බෝම්බය

2. කොළොන්නාව තෙල් ටැංකි ප්‍රහාරය

3. මහනුවර දළදා මාළිගාවට ප්‍රහාර එල්ල කිරීම

4. හිsටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ඝාතනය

5. කටුනායක ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරය

6. ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ ඝාතනය කිරීමට එවූ තැඹිලි කරත්ත බෝම්බය

7. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීමට සැලසුම් කිරීම

නිලබ්දීන්ගේ ක්‍රියාදාමය කෙසේද කිවහොත් කොටහේනේ සිට ක්‍රියාත්මක වූ කොටින්ගේ එල්ලාලන් බළකායේ මෙහෙයුම්කරු සිවරාජා සිවකුමාරන් ද අල්ලා ගැනීමට හැකිවිය.

එසේම 1996 ජනවාරි 31 දා ජීවිත 78 ක්‌ විනාශ කරමින් සිදු වූ කොටුවේ මහ බැංකු ප්‍රහාරය ගැන ප්‍රභාකරන් වරදකරු වූයේ නිලබ්දීන් සොයාගත් ඇඟිලි සලකුණු නිසාය.

මෙරට පොලිස්‌ ඉතිහාසයේ කිසිම නිලධාරියකුට ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සොයාගත නොහැකි විය.

මෙකී කොටුවේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ රගු නමැති කොටියා නිලබ්දීන්ට රහසක්‌ හෙළි කළේය. ප්‍රභාකරන් මට තෑගි පෙට්‌ටියක්‌ දුන්නා. එය මුතුර්හි මගේ පියාගේ නිවසේ තිබෙනවා යෑයි රගු කීවේය. හයදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ සමග මුතුර් වෙත පාලම් පාරුවෙන් ගිය නිලබ්දීන් කොටි පාලන ප්‍රදේශයට යැමට හමුදා සහය පැතීය. එහෙත් මුතුර් හමුදා අනුඛණ්‌ඩය බාරව සිටි නිලධාරියා සහය ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඉල්ලන් කන්ටද යන්නේ මට සහය දෙන්න බැහැ යෑයි තරයේ කියා සිටියේය. අවසානයේ මුතුර් පොලිසියේ ස්‌ථානාධිපතිවරයා පමණක්‌ ප්‍රදේශය ගැන දන්නා ග්‍රාමාරක්‍ෂක භටයකුගේ සහය නිලබ්දීන්ට ලබාදුන්නේය.

නිලබ්දීන් මුතුර් වෙත පාලම්පාරුවෙන් යැමට පෙර එය මෙහෙයවන්නා පැවසුවේ පස්‌වරු 5 ට පාලම් පාරුව ආපසු ත්‍රිකුණාමලයට යනවා. ඊට පස්‌සේ මම එන්නේ නැහැ. පහෙන් පස්‌සේ කොටි මේ පැත්තට එනවා යන්නයි.

මුතුර්හි පොල් වත්තක්‌ මැද පිහිටි රගුගේ නිවසට ගිය නිලබ්දීන් පෙට්‌ටගමක්‌ අවුස්‌සා ප්‍රභාකරන් දුන් තෑගි පෙට්‌ටිය සොයා ගත්තේය. ඒ වන විට නිවසේ සිටියේ රගුගේ පියා පමණයි. තමන් කොටි සංවිධානයෙන් බවත් නායකයා දුන් පෙට්‌ටිය ආපසු ගෙන එන ලෙස රගු පැවසූ බවත් නිලබ්දීන් පියාට කියා සිටියේය.

ඒ වන විට කළුවර වැටීමට ආසන්නය. පස්‌වරු 4.56 වනවිට නිලබ්දීන් ඇතුළු කණ්‌ඩායයමට පාලම්පාරුවට ඒමට හැකි විය. එම අවස්‌ථාව වන විට පාලම් පාරුව ගමන් ඇරඹීමට සූදානම් වී තිබිණි.

රගු ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට අසු වූ බව දැනගත් ප්‍රභාකරන් කෝප විය. ඔහු රගුගේ නිවසට කණ්‌ඩායමක්‌ එවා තෑගි පෙට්‌ටිය සොයා බලා ඇත. රගුගේ පියා එම කොටි කණ්‌ඩායමට පැවසුවේ නුඹලාගේ කට්‌ටියක්‌ ඇවිත් පෙට්‌ටිය ගෙන ගිය බවයි.

ප්‍රභාකරන් විසින් රගුට දුන් තෑගි පෙට්‌ටියේ ඇඟිලි සලකුණු තුනක්‌ තිබිණි.

නිලබ්දීන් විගස මදුරාසි පොලිසියේ තිබූ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු ද මෙරටට ගෙන්වා කොළඹ ඇඟිලි සටහන් අංශයට යොමු කළේය.

ප්‍රභාකරන්ගේ තෑගි පෙට්‌ටියේ රන් හා රිදී පැහැයෙන් යුත් ඊළම් දේශය ලකුණු කර තිබූ සමරු ඵලකයක්‌ විය.

උප පොලිස්‌ පරීක්‍ෂක නෝමන් පෙරේරා සහ සැරයන් රත්නායක විසින් එම සමරුඵලකයේ තිබූ ඇඟිලි සලකුණු සහ මදුරාසි පොලිසියේ තිබූ ඇඟිලි සලකුණු සැසඳෙන බවට සනාථ කරනු ලැබිණ.

මෙම පසුබිම මැද සියදිවි පරදුවට තබමින් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සොයා මහ බැංකු බෝම්බයට ප්‍රභාකරන් වරදකරු කිරීමට මග පෑදූ නිලබ්දීන් පොලිස්‌ දෙපාර්තමේන්තුව යටතේම අසරණ තත්ත්වයට පත් විය.

2002 ඊනියා සටන් විරාම ගිවිසුම නිලබ්දීන්ගේ ත්‍රස්‌ත මර්දන කටයුතු මුළුමනින්ම නතර කළේය. අධිකරණය හමුවේ සාක්‍ෂි දීම වළක්‌වනු සඳහා 1999 මාර්තු 16 නිලබ්දීන්ව ඝාතනය කිරීමේ උත්සාහය ද ව්‍යර්ථ විය.

කොටි මත්පැන් පොවා ඔහුගේ සගයා වූ ජෙයරත්නම්ව පැහැරගෙන ගොස්‌ පසුව මරා පුළුස්‌සා දමනු ලැබීය. පොලිසියේ හව්හරණක්‌ නැතිවීම නිසා තවත් වසර දෙකක්‌ තිබියදී නිලබ්දීන් විශ්‍රාම යැමට තීරණය කළේය. ඔහුට සිය විශ්‍රාම වැටුප් ලබාගැනීමට සිදුවූයේද අධිකරණය හමුවේ නඩුවක්‌ පැවරීමෙනි.

ත්‍රස්‌තවාදීන් රැසක්‌ද බෝම්බ ඇඳුම් කට්‌ටල රැසක්‌ ද අල්ලාගත් නිලබ්දීන්ට රුපියල් ලක්‍ෂ 2 ක ගාස්‌තුවක්‌ ලබාදීමට නියමිත විය.

එහෙත් කොටුවේ මහ බැංකු බෝම්බයට අදාළ තොරතුරු සොයා ගැනීම නිසා හිමි වූ ලක්‍ෂ දෙකක තෑගි මුදලින් ඔහුට රුපියල් ලක්‍ෂයක්‌ ලබාදුන් පොලිසිය මහ බැංකු බෝම්බ ප්‍රහාරයට අදාළ තීන්දුව ගැන අභියාචනයක්‌ තිබෙන බව කියමින් ඉතිරි ලක්‌ෂය දුන්නේ නැත.

එහෙත් එම රුපියල් ලක්‍ෂය පවා නිලබ්දීන්ට ලබාගැනීමට හැකි වූයේ ඔහුගේ බිරිය පොලිස්‌ මූලස්‌ථානයට ගොස්‌ කළ විමසීමෙනි.

1980 පාමංකඩ පාළම අසල ගමන් කළ ද්‍රවිඩ තරුණයකු අල්ලාගත් නිලබ්දීන් ඔහුගේ ගෙලේ තිබූ සුරය ගලවා බැලීය. එහි තිබුණේ කොටි හිසේ ලාංඡනයයි.

එම තරුණයා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක අමිතර්ලිංගම්ගේ දෙවැනි පුත් බහිරදන්ය. වසර ගණනකට පසු අමිතර්ලිංගම් ඝාතනයේ ප්‍රධාන මෙහෙයුම්කරු මරියදාසන්ව අල්ලා ගත්තේද නිලබ්දීන්ය.

එහෙත් යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීමට පෙර ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සොයාගත් නිලබ්දීන්ගේ සහය ලබාගැනීමට පොලිසිය ක්‍රියා කළේ නැත.

පොලිස්‌ දෙපාර්තමේන්තුව ඔහුව කුණු කූඩයට දමා තිබේ. නිලබ්දීන් ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි සේවාව යටතේ සේවය කළේ නම් ඔහු වීරයකු බවට පත් වනු නියතය.

කීර්ති වර්ණකුලසූරිය

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!