නීතිය රකින්න ගොස් දඟගෙට වැටුණු තෙබුවන පොලිස් නිලධාරියා මෙල්ල කරගත් හැටි

නීතිය රකින්න ගොස් දඟගෙට වැටුණු තෙබුවන පොලිස් නිලධාරියා මෙල්ල කරගත් හැටි

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

මේ දිනවල ‘ශී‍්‍ර ලංකා පොලිසිය’ සූර කතන්දර කරුවකුගේ භූමිකාවක් නිරූපණය කරමින් ඇත. එම නාටකීය කතා මාලාවේ චරිත අතර පොලිස්පතිවරයා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරු කීප දෙනෙක් සහ සෙසු නිලයන් සමූහයක් ද වෙති. රටේ නීතිය හා සාමය කොයි හැටි වෙතත් ‘කුතුහලය’ මුසු කතා මවන්නට සමත්ව සිටින පොලිසිය පිළිබඳ රට්ටුන් සතුව පවතින්නේ තරමක මතභේදාත්මක කතා බහකි.
පොලිසිය විසින් දිගින් දිගටම නිර්මාණය කරමින් පවතින නාටකීය කතා මාලාවේ අලූත්ම රංගනය කරළියට පැමිණෙන්නේ තෙබුවන පොලිස් ස්ථානය මුල් කර ගනිමිනි. පොලිස් සැරයන් සනත් ගුණවර්ධන විසින් ප‍්‍රදේශයේ ඉහළම පොලිස් නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් ප‍්‍රදේශවාසීන් පැය 2 ට ආසන්න කාලයක් නරඹන්නන් පිරිසක් බවට පත් කල එම විරෝධතාවය නතරවන්නේ එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමෙන් අනතුරුව ඔවුන්ගේ මැදිහත්වීම මතය. වාර්තා වන ආකාරයට සිදුවීම පෙළගැසෙන්නේ මේ ආකාරයටය.
ඉකුත් 29 වැනිදා පොලිස් සැරයන් සනත් ගුණවර්ධනගේ රාජකාරි දිනයක්ය. තෙබුවන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් සනත් එදින අලූයම් කාලයේ රාජකාරියේ යෙදී සිටින අතරතුර වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පරීක්ෂා කරන්නේය. තෙබුවන ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරියකගේ ස්වාමිපුරුෂයකුට අයත් එම ලොරි රථය පරීක්ෂා කළ පොලිස් සැරයන්වරයා බලපත‍්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ප‍්‍රවාහනය කළ ලොරි රථ හිමිකරුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නේය. රටේ නීතියට අනුව බලපත‍්‍ර තිබූ පමණින් වැලි ප‍්‍රවාහනය කළ නොහැකිය. වැලි ප‍්‍රවාහනය සඳහා ඒ ඒ බලපත‍්‍රයට නියමිත වේලාවක් සහ තවත් කොන්දේසි කීපයක් සම්පූර්ණ කළ යුතුය. පොලිස් සැරයන්වරයා විසින් අදාළ ලොරි රථය නීතිය හමුවට පැමිණ වීම පිණිස කටයුතු කර ඇත්තේ ඉහත සඳහන් ලොරි රථ හිමිකරු විසින් බලපත‍්‍රයේ අඩංගු එක් කොන්දේසියක් කඩකිරීම හේතුවෙන්ය. බලපත‍්‍රයේ සඳහන් පරිදි එම ලොරි රථයට වැලි ප‍්‍රවාහනය සඳහා නියමිත වේලාව සඳහන් කර ඇත්තේ පෙරවරු 6.00 ට පමණය. එසේ තිබියදී අලූයම 4.00 ට වැලි ප‍්‍රවාහනය කරමින් තිබීම බලපත‍්‍ර කොන්දේසි කඩකිරීමක්ය. ඒ අනුව නීතිය පිළිබඳ මනා වැටහීමක් සහිත පොලිස් සැරයන්වරයා නීතිය කි‍්‍රයාත්මක කර ඇත්තේ හිතේ මනාපයට නොව පොතේ ලියවී ඇති නීතියට අනුවය.
සැකකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන සැරයන් සනත් එදින තම වැඩමුරය නිමා කොට නිවසට යන අතර ඔහු නැවත සේවයට වාර්තා කොට ඇත්තේ ඉකුත් 3 දාය. තෙබුවන පොලිසියේ අධිකරණ දිනය එදිනය. එදිනට නියමිත අධිකරණ ලිපි ලේඛන පරීක්ෂා කරන පොලිස් සැරයන්වරයාට වැටහී යන්නේ ඊට දින දෙකකට පෙර නීති විරෝධී අයුරින් වැලි ප‍්‍රවාහනය කරමින් සිටියදී තමන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ‘හොර පාරේ’ ගෙදර ගොස් ඇති බවක්ය. එවැන්නක් සිදුවිය හැක්කේ ඉහළ නිලධාරීන්ගේ අනු දැනුම මතය. ඒ අනුව තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ වැලි ලොරිය සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම පිළිබඳ උරණ වන පොලිස් සැරයන්වරයා ඊට විරෝධය ප‍්‍රකාශය කිරීම පිණිස තෝරා ගනු ලබන්නේ තම ජීවිතය උගසට තබමින් නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීමය.
ඒ අනුව ඉකුත් 03 දා තම රාජකාරි ගිනිඅවිය T56 අතට ගන්නා පොලිස් සැරයන්වරයා තෙබුවන මංසන්ධිය කරා පියවර මනින්නේය. ඉන් අනතුරුව ඔහු උස් හඩින් ප‍්‍රකාශ කර සිටින්නේ තමන්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බවත් ඊට සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් සියදිවි නසා ගන්නා බවත්ය.
ප‍්‍රදේශයම භීතියට පත් කරමින් විරෝධතාවක නිරතව සිටින පොලිස් සැරයන්වරයාගේ හැසිරීම පිළිබඳ ආරංචිය ලැබෙන කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් තෙබුවන මංසන්ධියට පැමිණෙන්නේ ඒ අතරතුරය. එහිදී පොලිස් අධිකාරිවරයා විරෝධතාවයේ යෙදී සිටින පොලිස් සැරයන්වරයා අමතමින් ප‍්‍රකාශ කර සිටින්නේ ගිනිඅවිය පසෙකලා අදාළ ගැටලූව සමඟ තමන් සමඟ කතාබහ කිරීමට පැමිණෙන ලෙසය. එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන පොලිස් සැරයන් ඉහළ නිලධාරීන් අමතමින් උස් හඬින් කියා සිටින්නේ තමන් සෑහීමකට පත් වන්නේ නීති විරෝධී අයුරින් වැලි ප‍්‍රවාහනය කළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට ඒ බව සනාථ කිරීම පිණිස අදාළ ලියකියවිලි තමන් වෙත ඉදිරිපත් කලොත් පමණක් බවය. එසේ නොවන්නේ නම් කිසිවෙකුගේ ඉල්ලීමට තමන් කන් නොදෙන බව ප‍්‍රකාශ කළ සැරයන්වරයා තවදුරටත් විරෝධතාවයේ නිරතව ඇත.
උද්ගතව ඇති තත්ත්වයේ බරපතළ බව වටහා ගන්නා පොලිස් අධිකාරිවරයා විසින් පොලිස් විශේෂ කාර්ය බළකාය එම ස්ථානයට ගෙන්වනු ලබන්නේ ඉන් අනතුරුවය.
ඒ වනවිටද පොලිස් සැරයන්වරයා තෙබුවන මංසන්ධිය අසල ගිනි අවියද සමග ආවේගශීලී අයුරින් හැසිරෙමින් සිටි අතර නිරායුධව ඔහු අසලට පැමිණි විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක් ප‍්‍රකාශකර සිටියේ ගිනි අවිය පසෙකලා සාමකාමී අයුරින් ගැටලූව විසඳා ගැනීමට පැමිණෙන ලෙසය. ඔහු අමතමින් නැවතත් පොලිස් සැරයන්වරයා සඳහන් කර සිටින්නේ තමන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවත් ඊට සාධාරණ විසදුමක් ලැබෙන තුරු තමන්ගේ විරෝධතාවය නතර නොකරන බවත්ය. මේ අවස්ථාව වන විට තෙබුවන මං සන්ධිය අසලට විශාල පිරිසක් රැස්වී සිටි අතර බොහෝ දෙනෙක් තුළ වූ ගැටලුවක් වූවේ ඉදිරියේදී කුමකින් කුමක් සිදුවේදැයි යන්න පිළිබඳවය.
ඒ වන විට පොලිස් සැරයන් මෙල්ල කිරීම පිණිස ප‍්‍රදේශයේ ඉහළම පොලිස් නිලධාරීන් විවිධ උත්සාහ ගෙන තිබුණද ඒ කිසිවක් සාර්ථක මට්ටමක පැවැතී නැත. මේ අතර සිදුවීම සම්බන්ධව පොලිස් සැරයන්වරයාගේ බිරිඳව දැනුවත් කිරීමටද පොලිසිය කටයුතු කරන්නේය. එම ආරංචිය ලැබීමත් සමග පොලිස් සැරයන්වරයාගේ බිරිඳ ඇතුළු සමීප ඥාතීන් කීප දෙනෙකු තෙබුවන පොලිසියට පැමිණෙන අතර ඉන් අනතුරුව ඔවුන්ගේ කීප දෙනෙක් පොලිස් සැරයන්වරයා විරෝධතාවයේ යෙදී සිටි තෙබුවන මංසන්ධියට පැමිණ විරෝධතාවය නතර කරන මෙන් සැරයන්වරයාගෙන් කීපවරක් ඉල්ලා ඇත. ඔවුන් අමතමින් නැවතත් සැරයන්වරයා ප‍්‍රකාශ කර සිටින්නේ තමන් වරදක් කර නැති බවත් නීතිය උල්ලංඝනය කොට තමන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහැර ඇත්තේ පොලිසියේම ඉහළ නිලධාරීන් බැවින් ඔවුන්ට එරෙහිව කටයුතු කරන තුරු තමන් තවදුරටත් විරෝධතාවයේ යෙදෙන බවත්ය.
මේ වන විට එම ස්ථානයේ සාමය ආරක්‍ෂා කිරීම පිණිස කැඳවා සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉතා සූක්‍ෂම ලෙස පොලිස් සැරයන්වරයාව කොටුකර ගැනීමේ උපක‍්‍රම සැලසුම් කරමින් සිටියේය. ඒ වන විට පැයකට අධික කාලයක් පොලිස් සැරයන්වරයා තම විරෝධතාවය ප‍්‍රකාශ කරමින් නොසන්සුන් අයුරින් හැසිරීම ඔහුව මෙල්ල කිරීමට තිබූ ප‍්‍රධානතම බාධාව වී ඇත. ඒ අනුව ආයුධ සන්නද්ධ විශේෂ කාර්ය බළකා සෙබළුන් අවට ආරක්‍ෂාව තර කර තිබූ අතර තවත් කීප දෙනෙක් සිවිල් ඇඳුමින් සැරසී ඒ අවට සැරිසරන්නට වූවේ එළඹෙන කුමන මොහොතක හො පොලිස් සැරයන්වරයා වෙත කඩා පැන ඔහුව ජීවග‍්‍රහයෙන් කොටුකර ගැනීම පිණිසය. තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වුවහොත් තමන් ළග ඇති ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සියදිවි නසා ගන්නා බවට පොලිස් සැරයන්වරයා කීපවරක් ප‍්‍රකාශ කර තිබීම හේතුවෙන් කිසිවෙකුට හෝ හානියක් නොවන අයුරින් ඔහුව අත්අඩංගුවට ගැනීම විශේෂ කාර්ය බළකායේ අරමුණ විය.
මේ අතර වෙනත් උපක‍්‍රමයක් මගින් පොලිස් සැරයන්වරයාගේ අවධානය වෙනත් අතකට යොමු කරනවාත් සමග සිවිල් ඇඳුමින් සැරසී සිටි විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙදෙනෙක් පොලිස් සැරයන්වරයා වෙත කඩා පනින්නේ ඔහුට කිසිවක් සිතාගත නොහැකි අයුරින්ය.
රැස්ව සිටි ඉහළ පොලිස් නිලධාරීන් ඇතුළු අවට ප‍්‍රදේශවාසීන් තුෂ්නිම්භූතව බලා සිටියදී පොලිස් සැරයන්වරයා සමග පොර බදන විශේෂ කාර්ය බළකා සෙබළුන් ඔහු මෙල්ල කිරීමට යෑමේදී සැරයන්වරයාගේ අත තිබූ ටී. 56 ගිනි අවිය ක‍්‍රියාත්මක වී වෙඩි හඬවල් කීපයක්ද නිකුත් වන්නට විය.
වෙඩි හඬ නිකුත්වීමත් සමග පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් විලාප තබන්නට වූ අතර අවසානයේදී විශේෂ කාර්ය බළකාය හා පොලිසිය එක්ව සැරයන්වරයා හා ගිනි අවිය අත්අඩංගුවට ගැනීමට සමත් වන්නේ අවට රැස්ව සිටි සිය ගණනක් වූ පිරිස අන්ද මන්ද කරවන ආකාරයේ මෙහෙයුමකින් අනතුරුවය.
පොලිස් සැරයන්ව අත්අඩංගුවට ගත් පසුවද ඔහු උස් හඬින් කියා සිිිටින්නේ තමන්ට හිරගෙය සහ මාංචු අලූත් දෙයක් නොවන බවත් වරක් තමන් කොටි අත්අඩංගුවේ වසර ගනණාවක් සිරබත්කා පැමිණි ඇති අයෙකු බවත් තමන් බය වන්නේ අවි ආයුධවලට නොව නීතියට පමණක් බවත්ය.
අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් සනත්ව ඉන් අනතුරුව මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයට රැගෙන එන අතර එදිනම සවස ඔහුව මතුගම අතිරේක මහේස්ත‍්‍රාත් තරංගා මහවත්ත මහත්මිය වෙත ඉදිරිපත් කොට ඇත. එහිදී මහේස්ත‍්‍රාත්වරිය විසින් සැකකාර පොලිස් සැරයන් සනත් ගුණවර්ධනව මෙම මස 9 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර ඇත.
මේ වන විට සැකකාර පොලිස් සැරයන් සනත් ගුණවර්ධන පසුවන්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය. ඔහු මීට පෙරත් අවස්ථා දෙකකදී සිරගතව සිටි බැවින් ‘හිරබත්’ ඔහුට හුරු පුරුදුය.
වරක් ඔහු කොටි අත්අඩංගුවට පත් වී ඇත. ඔඞ්ඩුසුඩාන් ප‍්‍රදේශයේ රාජකාරී කරමින් සිටියදි කොටි අත්අඩංගුවට පත්වන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන වසර 4 ක් පුරා නොවිඳිනා දුක් විඳ යළිත් නිදහස ලබා පැමිණි පොලිස් නිලධාරියෙක්ය. කොටි අත්අඩංගුවේ පසුවීමේදී ඔහුගේ යටි පතුල් පලමින් දසවධ දී ඇත. බීමට ජලය ලබාදී ඇත්තේ සතියකට වරක් පමණය. තමන්ගෙම මුත‍්‍රා පානය කරමින් පවස නිවා ගත් අවස්ථා බොහෝමයක්ය. වසර හතරක් පුරා ඔහුට ජීවත්වන්නට සිදු වී ඇත්තේ දෙපයට දමන ලද යකඩ දම්වැල් සමගය. 2002 සාම කාල සීමාව තුළ රතු කුරුස සංවිධානයේ මැදිහත් වීම මත නිදහස ලබන සැරයන් සනත් නැවත ගමරට පැමිණීමේ වාසනාව හිමිකර ගත්තෙක්ය.
ඉන් අනතුරුව නැවත පොලිස් සේවයට එක්වන ඔහුට දෙවන වරටද හිරබත් කෑමට සිදුවන්නේ කළුතර පයාගල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදීය. දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීමට යෑමේදී වූ ජීවිත අනතුරක් හේතුවෙන් ඔහු ඇතුළු තවත් පොලිස් නිලධාරීන් පිරිසක් එම චෝදනාවට ලක්වන අතර එම නඩු කටයුත්ත තවදුරටත් කළුතර මහාධිකරණයේ විභාග වෙමින් පවතින්නේය. මෙම මස 25 වැනි දින සැරයන් සනත් කළුතර මහාධිකණයේ පෙනී සිටිය යුතුය.
ඉකුත්දා තෙබුවන මංසන්ධියේ සිදුවීමත් සමග ඔහු නැවත වතාවක් රක්‍ෂිත බන්ධනාගාර ගත කොට ඇත. ඔහු ප‍්‍රකාශ කළ ආකාරයට මෙවර ඔහුට බන්ධනාගාර ගත වන්නට සිදුවන්නේ ‘නීතිය’ හරියට ක‍්‍රියාත්මක කිරීමට යෑමේදීය. ඔහුගේ ප‍්‍රකාශයට අනුව පොලිස් නිල ඇඳුමේ ගෞරවයට හානි කරන අයුරින් කටයුතු කර ඇත්තේ තමන්ගේ රාජකාරී ස්ථානය වන තෙබුවන පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු ප‍්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ය. ලැබෙමින් පවතින අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ගවලින් කියවෙන්නේ අදාළ සිදුවීමෙන් පසුව මතුගම ප‍්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරියෙක් තමන් හමුවට කැඳවන සැරයන් සනත් ගුණවර්ධනට පහත් නින්දිත අයුරින් බැනවැදී තිබූ බවක්ය.
සැරයන් සනත් ගිනි අවියක්ද සමගින් මහ පාරට බසින්නේ ඉහත සඳහන් සියලූ පීඩනයක් මුදා හැරීමේ මානසිකත්වයෙන් යුක්තවය. ඒ සිදුවීම සම්බන්ධව ප‍්‍රකාශයක් කරන කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා පවසා සිටින්නේ මෙවැන්නක්ය.
‘‘මෙම වැලි ලොරිය බලපත‍්‍රයක් ඇතිවයි ප‍්‍රවාහනය කරල තියෙන්නේ. බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය වෙලා කියමින් තමයි සැරයන්වරයා එම ලොරිය අත්අඩංගුවට අරන් තියෙන්නෙ. බලපත‍්‍ර තිබුණ නිසා උසස් නිලධාරීන් එය නිදහස් කරල තිබෙනවා.’’
‘‘මෙතැන වරදක් අසාධාරණයක් වෙලා නැහැ. එහෙම දෙයක් තිබුණා නම් ඔහුට තිබුණ ඒ පිළිබඳව මට පැමිණිලි කරන්න. මේක තවත් අයට පූර්වාදර්ශයක්. මොහුව මානසික රෝග වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.’
පොලිස් අධිකාරිවරයා කියන ලෙස පොලිස් සැරයන් විසින් කරන ලද විරෝධතාවය හරහා ලබාදී ඇත්තේ නරක පූර්වාදර්ශයක්ය. ඒ පිළිබඳ තර්කයක් නැත. ඒ සඳහා දෙපාර්තමේන්තු මට්ටමින් මේ වන විටත් තීන්දු තීරණ ගෙන ඇත. ඉදිරියේදී කුමකින් කුමක් සිදුවේදැයි පැවසීමට තවමත් කල් වැඩිය. පොලිස් සැරයන්වරයා එවැනි තත්ත්වයකට ඇද දැමුවේ ඔහුගේම වරදින්ද? නැතිනම් ඉහළ නිලධාරීන්ගේ හිතුවක්කාරී තීරණ මතද? යනුවෙන්ද විධිමත් පරීක්‍ෂණයක්ද පැවැත්විය යුතුය.
මේ දිනවල ශ‍්‍රී ලංකා පොලිසිය හරහා වේදිකාගත වන විකාරරූපී නාටකීය රංගනයන් ගත් කල පොලිසියෙ ඉහළම නිලධාරියාගේ සිට පහළට ඇති බොහෝ නිලයන් සිටින්නේ පිස්සු කෙළමින්ය.
ඒ අර්ථයෙන් ගත් කළ නුදුරේ දිනක තිදරු පියකු වන පොල්ගම්පළ කුරුපිට පදිංචි පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යනු ‘පිස්සෙක්’ යැයි පොලිස් නිවේදන පවා නිකුත් වීමේ ඉඩකඩක් ඇත.
තත්ත්වය එසේ වුවද රට්ටුන් පුදුම නොවන්නේ මේ දිනවල ශ‍්‍රී ලංකා පොලිසියේ හැසිරීම පිළිබඳ හොඳ අවබෝධයක් බොහෝ දෙනා තුළ පැවතීම හේතුවෙන්ය. ඉකුත්දා කරලියට ආ තෙබුවන සිදුවීම පිළිබඳ වඩාත් නිවැරදි සාධාරණ පරීක්‍ෂණයක් සිදුවිය යුත්තේ එබැවින්ය.
වරද ඇත්තේ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන අතද නැත්නම් ඔහුගේ උසස් පොලිස් නිලධාරීන් මතද යනුවෙන් එහිදී සැකහැර හඳුනාගත හැකිය. එම පදනම මත නීතිය ක‍්‍රියාත්මක වී සැබෑ වරද කරුවන් කවුද ඔවුන් සඳහා ලබා දිය යුතු දඬුවම් කවරේද යන්න තීරණය වේ නම් එය රටේ අනාගත යහපත පිණිස ඉවහල් වනු ඇත.

රුවන් ජයවර්ධන

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!