ලෝක යුද්ධයට ගිය පිරිසෙන් ජීවතුන් අතර ඉන්න එකම සිංහලයා “සුසිරිපාල”

Spread the love
  •  
  •  
  •  
  •  

මීට දශක හත අටකට පෙර පැවැති දෙවැනි ලෝක යුද්ධයට ලංකාව පැටළුණේ එවකට මෙරට බ්‍රිතාන්‍යයට යටත් විජිත රටක් ලෙස පැවැතීම නිසාය. ජර්මනිය, ජපානය හා ඉතාලියට එරෙහිව මිත්‍ර පාක්ෂික හමුදා යුද වදින විට ලංකාවේ තරුණයෝද එකල බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට බැඳුණහ. එසේ රාජකීය හමුදාවට එක්වූ දහස් ගණනක් සිංහලයන් අතරින් තවමත් ජීවතුන් අතර සිටින්නේ එකම අයකු පමණි. ඔහු අක්මීමන කෝඹල විතානගේ සුසිරිපාල අබේසිරි වික්‍රමාරච්චිය. දිවි ගමනේ අනූ තුන් වැනි සැතපුම් කණුව පසුකරමින් සිටින ඔහුගේ මතකය නම් කිසිදු වෙනසක් නැත. මීට දශක හත අටකට ඉහතදී සත් සමුදුරු තරණය කරමින් විදේශයන්හි ඔහු මුහුණ දුන් ත්‍රාසජනක අත්දැකීම් අපට විස්තර කළේ මෙසේය.
අපේ පවු‍ලේ පස්දෙනෙක් හිටියා. මම පවු‍ලේ මද්දුමයා. තාත්තා ගාල්ලේ උසාවියේ ආරච්චි. අම්ම ඇලිස් නෝනා. මම ඉගෙන ගත්තේ පිලාන විද්‍යාර්තෝදය විද්‍යාලයෙන් පස්සෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න ගාල්ලේ ශාන්ත ඇලවිෂියස් විද්‍යාලයට ගියා. ඇත්තට පාසල් යන කාලයේදීම තමයි මම රාජකීය හමුදාවට බැඳුණේ” යැයි වික්‍රමාරච්චි කියන්නේය.
වික්‍රමාරච්චි වයස අඩු නිසා ඔහු රාජකීය හමුදාවට බඳවා ගැනීමට සුද්දෝ කැමැති නොවූහ. එනමුත් ඔහුගේ බලවත් පෙරැත්ත නිසාම සුදු මහත්වරු වික්‍රමාරච්චි රාජකීය හමුදාවට බඳවා ගත්හ. ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කිරීමට හැකිවීමත් වික්‍රමාරච්චිට වාසියක් ගෙන දුන්නේය. 1941 වසරේදී මොහු රාජකීය හමුදාවට එක්වන්නේය.
ඒ කාලයේ කිරුළපන තමයි රාජකීය හමුදාවට බඳවා ගන්න කාර්යාලය තිබුණේ. මම හමුදාවට බැඳුණම ඊජිප්තුවට යන්න පිටත් වුණා. රාජකීය හමුදාවට බැඳුණු සිංහලයින් 400ක් හිටියා. නෞකා තුනකින් තමයි පිටත් වුණේ. ඉන්දියන් සාගරය දිගේ ගමන් කරන විට බොම්බෙ වරාය ආසන්නයේදී අපට ආරංචියක් ලැබුණ අපට කලින් ගිය ඕස්ට්‍රේලියානුකාරයින්ගේ නෞකා දෙකකට ජපන්නු බෝම්බ දමලා ගිල්ලලා කියලා. ඒ අවස්ථාවේදී නම් බයක් ඇති වුණා. ඕන දෙයක් වෙච්චදෙන් කියලා හිත හදාගත්තා. දින දහයක් පමණ නෞකා තුන නැංගුරම් දමාගෙන ඉන්දියන් සාගරයේ හිටියා. පස්සේ එංගලන්තයෙන් පරිවාර නෞකා දහයක් පහළොවක් විතර ඇවිත් අපිව ඊජිප්තුවට අරන් ගියා. ඊට පස්සේ ඊජිප්තුවේදී මාස පහක පුහුණුවක් ලබා දුන්නා. මම ට්‍රක් රථ රියැදුරකු ලෙස සේවයට එක්වුණා.
ඊජිප්තුවේ වසර දෙකක් විතර හිටියා. ඇලෙක්සැන්ඩ්‍රියාවට ගියා. ඉතාලිය, ජර්මනිය යන රටවලටත් ගියා ඔහු කියන්නේය. වරක් ඔහු යුද්ධයේදී අතිබිහිසුණු අත්දැකීමකට මුහුණ දුන්නේය.
ඒ සිද්ධිය මෙසේය. දෙවැනි ලෝක යුද සමයේ රාජකීය හමුදාවට අයත් භටයින් පිරිසක් ට්‍රි‍පෝලි රටේ සිට ඇලෙක්සැන්ඩ්‍රියාව දක්වා අහස් යාත්‍රාවකින් ගමන් කරමින් සිටියහ. මෙකී අහස් යාත්‍රාවේ සුදු ජාතිකයින් 288 දෙනෙක් හා ශ්‍රී ලාංකිකයෝ අට දෙනෙක් සිටියහ. එවකට තරුණ සෙබළෙකු වූ වික්‍රමාරච්චි අහස් යාත්‍රාවේ පසුපස අසුනක වාඩි වී සිටියේය.
ඔහු රාජකීය හමුදාවට බැඳී වැඩි කාලයක් ගත වී තිබුණේ ද නැත. වික්‍රමාරච්චි අහස් යාත්‍රාව ගුවන් ගත වී ටික වේලාවකින් පසුපස අසුනේ සිට ඉදිරිපස අසුනකට විත් ඈදි ගත් රූබන් වික්‍රමාරච්චිගේ සිරුරට පෙට්‍රල් බින්දු කිහිපයක් වැටෙන්නට විය. ඔහුට යම් අමුත්තක් ගෙන දුන්නේය.
ඔහු මේ බව අහස්යාත්‍රාවේ නියමුවාට කීවේය. ඔහු වහාම යාත්‍රාවේ මීටරය දෙස බලන විට ඔහුට දෙලොව රත් විය. අහස් යාත්‍රාවේ ඉන්ධන කාන්දුවකි. මේ නිසා තත්පර තිහක් ඇතුළත අහස් යාත්‍රාව ගිනිගෙන විනාශ වීමට ඉඩ ඇති බව ගුවන් නියමුවාට සිහි විය. ගුවන්යානයේ සිටි සියල්ලෝම තුෂ්නීම්භූත වී බලා සිටියහ. තව මොහොතකින් අහස් යාත්‍රාව කඩා වැටී තමන් මරණයට පත්වනු ඇතැයි සියල්ලෝම කල්පනා කළහ. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ගුවන් නියමුවා අහස් යාත්‍රාව ඒ අසල තිබූ කාන්තාරයකට වහාම ගොඩ බැස්සුවේය. අහස් යාත්‍රාවේ සිටි සියල්ලෝම හදිසි දොරටුවෙන් එළියට පැන ගත්හ. ගත වූයේ නිමේෂයකි. අහස් යාත්‍රාව ගිනිගෙන පුපුරා සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය. අහස් යාත්‍රාවෙන් පැනගත් ඇතැම් සුදු ජාතිකයෝ ක්ලාන්ත වී ඇද වැටුණහ. අන්තිමට ගුවන්යානයේ සිටි සෙබළුන්ට ඉතිරි වූයේ ඇඳිවත පමණි. ඔවුන් සියල්ලගේම ජීවිත බේරුණේ සෙබළ වික්‍රමාරච්චි නිසායය.
රාජකීය හමුදාව වික්‍රමාරච්චිගේ ක්‍රියාව අගය කරමින් ඔහුට ලිපියක්ද දුන්නේය. ඒ විතරක් නොව අහස්යාත්‍රාවේ සිටි සියලුම සෙබළුන්ගේ විනාශ වූ බඩුභාණ්ඩ හා මුදල්වලට වන්දි මුදලක්ද ලැබිණි.
ඉතාලියේ නේපල්ස් නගරයේ පාලමක් අලුත්වැඩියා කරමින් තිබුණා. ඒ පාලම අලුත්වැඩියා කරමින් සිටියේ අපිත් සමග ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසක්ය. ඒ කණ්ඩායමට දාසය දෙනෙකු හිටියා. මම හිටියේ පාලමට ටිකක් දුරින්. එකවරම අනතුරු සංඥා නිකුත් කරන නළාව නාද වුණා. පාලම අලුත් වැඩියා කර කර හිටපු අය ඒක ගණන් ගත්තේ නෑ. ඔවුන් සිංදු කියමින් තමයි වැඩ කළේ. ජර්මන්කාරයෝ ගුවනින් බෝම්බ දමන්න පටන් ගත්තා. අර දාසය දෙනාම මිය ගියා. මම බංකරයක් ඇතුළට ගිහින් තමයි බේරුණේ. මම හිටපු බංකරය ආසන්නයේම බෝම්බ පිපිරුණා. එදා නම් මට මරණ භය දැනුණා. වාසනාවකට තමයි මගේ ජීවිතය බේරුණේ. විදේශයකදී මුහුණ පෑ බිහිසුණු අත්දැකීම් විස්තර කරමින් ඔහු එසේ කීවේය.
වික්‍රමාරච්චිට යුද සමයේදී දිනකට සිලිං තිස්හයක වැටුපක් ලැබුණි. ඒ  කාලයේදී ඔහු ගෙදරට මුදල් එව්වේ පාර්සලයක දමා තැපෑලෙනි. යුද්ධය අවසන් කාලයේදී ඔහු සිටියේ ඉතාලියේය. එහිදී ඉතාලියේ මුසලෝනිගේ හා ඔහුගේ පුතුගේ මළ සිරුරුද ඔහු දුටුවේය. මුසලෝනි හා ඔහුගේ පුතු දෙපළ මරා ජනතාවට දැක බලා ගැනීම සඳහා ඉතාලියේ ලෝර්නා නගරයේ බාල්කයක එල්ලා  තිබියදීය.

මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට තමයි මේ පියපුතු දෙපළගේ මළ සිරුරු එල්ලා තිබුණේ. මුසලෝනිගේ මළ සිරුර කකුල්දෙකෙන් තමයි එල්ලා තිබුණේ. මා ඒවා සියැසින්ම දැක්කා යැයිද වික්‍රමාරච්චි පවසන්නේය.
මේ සිද්ධිය නම් වුණේ ජර්මනියේදි. අපි පිට්ටනියක පෙරෙට්ටුවකට සහභාගිවෙලා හිටියේ. ශ්‍රී ලාංකිකයින් තමයි එම පෙරෙට්ටුවේ හිටියේ. එකවරම ගුවනින් බෝම්බ දමන්න පටන් ගත්තා. එදා පෙරෙට්ටුවේ හිටපු තිස්අටදෙනෙක් මිය ගියා. එදත් මගේ ජීවිතය බේරුණා. මේ විදියට අවස්ථා ගණනාවකදීම මම ජීවිතය බේරා ගත්තා. ඔහු කීවේය.
ඒ විතරක් නොව වික්‍රමාරච්චිට අප්‍රිකාවේ කොංගෝ වනාන්තරයට යාමටත් අවස්ථාව උදා විය. කොංගෝ කැලයේ සිටි සිංහයින් සුදු ජාතිකයන් විසිපස් දෙනෙක් සපාකාලා මරා දැමූ කතාවද ඔහු අප සමග කීවේය.
ඒකවුණේ මෙහෙමයි. කොංගෝ වනාන්තරය හරහා එංගලන්තයට ලයිට් කම්බි වගයක් ඇදලා තිබුණෙ. ඒක අලුත්වැඩියා කරන්න සුදු මහත්වරු සමග සිංහල අය පනස්දෙනෙක් ගියා. මේ වනාන්තරයේ සිංහයින් ඉන්නේ එකම තැනක. හැන්දෑවට තමයි සිංහයින් එක් රැස් වෙන්නේ. සුදු මහත්වරු රයිපල් අරගෙන ගියා සිංහයෝ මරන්න. නමුත් සුදු මහත්වරු 25 දෙනාම සිංහයින් මරලා දැම්ම. පස්සේ එංගලන්තයෙන් ආපු සුදු මහත්වරු කණ්ඩායමක් මේ ස්ථානයට ගිහින් සොයා බලන විට සුදු ජාතිකයින්ගේ ඇඳුම් කලිසම් කෑලි හා සිරුරු කොටස් තමයි හමුවුණේ. පස්සේ සුද්දෝ බෝම්බ හදලා විෂ ගෑස් එකක් දමල සිංහයින්ද මරලා පලියට පලිය ගත්තා යැයි ඔහු පවසයි.
වික්‍රමාරච්චිට නැවත මව් රට බලා යාමට අවස්ථාව ලැබුණේ වසර හයක් පුරා පැවැති දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුවය. 1945 වසරේ යුද්ධය ඉවර වුණා. නමුත් ඊට පසුවත් මම අවුරුදු හයක් විතර ජර්මනියේ, එංගලන්තයේ හා ඉතාලි යන රටවල හිටියා. ඊට පසුව රාජකීය හමුදාවෙන් තමයි නැවත මාව ලංකාවට කැඳවූයේ. ලංකාවේ මිල්ටරි ‍පොත්වල මගේ නම ‍ලේඛනගත වෙලා තියෙනවා. 1954 දී තමයි ලංකාවට ආවේ. මම ලංකාවට ඇවිත් සතොසේ රැකියාවක් හොයාගත්තා. 56 දී විවාහ වුණා. දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. දරු මුණුපුරන් සමග තමයි දැන් ජීවිතය ගෙවන්නේ. යැයි වික්‍රමාරච්චි මේ කතාබහට සමුදෙමින් අප සමග පැවැසීය.

(Visited 49 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!