දෙමළෙන් ඉහත ආත්මය ගැන කියූ සිංහල ළමයා

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වරින්වර වාර්තා වන පුනරුප්පත්ති කතා ජන මාධ්‍යයන් ඔස්සේ අප හමුවට පැමිණෙමින් තිබේ. එහෙත්, මීට කලකට පෙර අසන්නට ලැබුණු පුනරුප්පත්ති කතා කිහිපය මෙන් සුවිශේෂී ජනප්‍රිය බවක් ඒවාට ලැබි නැත. හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ගේ පුනරුප්පත්ති කතාව සහ අක්මීමන ගොනාමුල්‍ලේ මනුජ නම් සත්හැවිරිදි දරුවාගේ ඉහත ආත්ම විස්තරය මෑත කාලයේ එසේ ජනකාන්ත බවට පත්වූ පුනරුප්පත්ති කතා අතරේ තිබේ. එහෙත් රණසිංහ ප්‍රේමදාස පුනරුප්පත්ති කතාව “ගජ බින්නයක්” බව පාඨක ඔබ හමුවේ සනාථ කිරීමට එකල මාධ්‍යවේදියකු වූ මහින්ද ඉ‍ලේපෙරුමට හැකි විය. එමෙන්ම තමා ඉහත ආත්මයේ වෑන් රියක යද්දී දොර ගැලවී වැටීම නිසා සිදුවූ අනතුරකින් මරණයට පත් වූ බව කී මනුජ දරුවාගේ පුනරුප්පත්ති කතාව ඔහුගේ දෙමාපියන් මාධ්‍යකරුවන් නොමග යැවීමට තනා ගත් “රසවත් ප්‍රබන්ධයක්” බව ඔබ වෙත සනාථ කරවීමට මට හැකි විණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හේතුවාදී ‍ලේඛකයකු වන සැම්සන් ගුණතිලකයන් ලියූ “පුනර්භවයේ මනෝ මායාව” නම් කෘතිය මගේ අතට පත් වූයේ නූතන පුනරුප්පත්ති කතා අතුරින් ගවේෂණයකට තරම් වන කරුණු සහිත කතා ප්‍රවෘත්තියක් පිළිබඳව ඉව අල්ලමින් සිටින අතරේය. “පුනර්භවය පිළිබඳ භෞතිකවාදී විශ්‍ලේෂණයක්” යන වදන්පෙළ ගුණතිලකයන්ගේ කෘතියේ ග්‍රන්ථ නාමයට එක් කොට තිබිණ. එම කෘතියේ 72,73 පිටුවල මෙසේ සඳහන්ව තිබේ.
“පුනරුප්පත්තිය” කතා සියල්‍ලේම ‍පොදු සමානකමක් පවතී. එනම් යම් භාෂාවක් කතා කරන කෙනෙක් මැරී යළි උපදින්නේ එම භාෂාව කතා කරන පවුලකම වීමය. ප්‍රංශයේ කෙනකු මිය ගිය පසු ලංකාවේ සිංහල පවුලක ඉපිද ඔහුගේ ප්‍රංශ බස පිළිබඳ ඉහත ආත්මයේ මතකය අවදි කළ අවස්ථාවක් වාර්තා වී නැත. සිංහල පවුල්වල අය මැරී යළි උපදින්නේම සිංහල කතා කරන පවුලකය. සිංහල ගන්ධබ්බයන්ට පිට රටක ඉපදීම සඳහා මහ සයුර තරණය කිරීමට අපහසු විය හැක. එසේ නම් අඩු ගණනේ දෙමළ බස පමණක් කතා කරන ලංකාවේම ප්‍රදේශයක යළි ඉපදීමට ඔවුනට නොහැක්කේ මන්ද…? පිළිතුර පැහැදිලිය. ඒ එවැනි (පුනරුප්පත්ති) කතාවක් රඟදැක්වීමට භාෂාව හරස්වන බැවිනි. කෙනෙකු යළි ඉපදී කලින් ජන්මයේදී භාවිතා කළ වෙනත් භාෂාවක් ජන්ම මතකයෙන් කතාකරන එකම එක සිද්ධියක් හෝ “තහවුරු” කරනු ලැබුවහොත් ලොව කෙබඳු විපර්යාසයක් සිදුවනු ඇත්ද..?
හිටිහැටියේ තමන් නොදන්නා භාෂාවක් කතා කිරීමට පටන් ගත් පුද්ගලයන් පිළිබඳව මාධ්‍ය මගින් ලොව නන් දෙසින් වාර්තා වෙයි. එහෙත් ඒවා ඉහත සඳහන් පුනරුප්පත්ති කතා බඳු හුදෙක් පුවත්පත් වාර්තා මිස  ගවේෂණාත්මක තොරතුරු නොවේ. එනිසාම සැම්සන් ගුණතිලක මහතා සේම හේතුවාදීන් කියනුයේ ද මෙලොව කිසිවකුටත් එලෙස නොදන්නා බසක් කතා කළ නොහැකි බවය. ඒ අනුව භූතාවේෂයෙන් හෝ පුනර්භවයෙන් නොදන්නා බසක් කතා කර පෙන්විය හැක්කකු හට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ සේම ශ්‍රී ලාංකේය හේතුවාදයේ පියා වශයෙන් අවිවාදයෙන් පිළිගැනෙන ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් විවෘත අභියෝගයක් කොට තිබිණ. ඔහුගේ මරණයෙන් පසු එම අභියෝගය ශ්‍රී ලංකා හේතුවාදී සංගමය වෙනුවෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් ඉදිරියටත් පවත්වාගෙන යනු ලබයි. එහෙත් එය පිළිගැනීමට කිසිවකුත් මතෛක් ඉදිරිපත් වී නැත. එසේ වන්නේ ඇයි? පෙර ආත්මයේ එක් භාෂාවක් කතා කළ කෙනෙකුට ඊළඟ ආත්මයේ වෙනත් භාෂාවක් කතා කරන පවුලක ඉපදිය නොහැකි නිසාද? නැතිනම් පෙර ආත්මය පවසන බව කියන කුඩා දරුවකු ඇත්ත වශයෙන්ම කරනුයේ මේ ආත්මයේම කිසියම් මනෝමය තත්ත්වයක් ප්‍රකාශ කිරීමක් පමණක් නිසාද?
සැම්සන් ගුණතිලක මහතාගේ කෘතිය කියවන අතරේ එක්වරම මගේ මතකයට නැංවුණේ නොදන්නා දෙමළ බසින් තම ඉහත ආත්ම විස්තරය හෙළි කළ දරුවකු පිළිබඳ අපූරු කතාවකි. එය මගේ හේතුවාදී ගවේෂණ අතරිනුදු සුවිශේෂ තැනක් ගනී. ඒ කතා ප්‍රවෘත්තිය සැකෙවින් මෙසේය.
2006 වසරේ කටාන විද්‍යාලෝක විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබමින් සිටි දහතුන් හැවිරිදි ලක්ෂාන් නම් සිසුවකු හිටිහැටියේ දෙමළ බසින් කතා කරමින් තමන් යාපනයේ පදිංචි ශ්‍රී රාමචන්ද්‍රන් රාජි නම් දැරියක බව ප්‍රකාශ කොට සිටියේය. එම විස්මිත පුවත 2006 සැප්තැම්බර් අවසන් දින කිහිපය තුළ නිකුත් කෙරුණු පුවත්පත් කිහිපයකම පළ විය. එහි වඩාත් අරුමයක් වූයේ තම පුතු තුළ මේ ආත්මයේ නම් දෙමළ භාෂාව පිළිබඳ කිසිදු දැනීමක් නොමැති බවට ඔහුගේ මව තරයෙන්ම ප්‍රකාශ කර සිටීමය.
ලක්ෂාන් හිටිහැටියේ දෙමළ බස කතා කරමින් තමන් යාපනයේ පදිංචි ශ්‍රී රාමචන්ද්‍රන් රාජි නම් දැරියක බව ප්‍රකාශ කරන බව දැනගත් කටාන විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පති ලක්ෂ්මන් විජේරත්න මහතා මහත් කැළඹීමකට පත් විය. ඊට හේතුව ලක්ෂාන් එම පාසලට මාස දෙකකට වඩා පැරණි නොවූ අලුත් සිසුවකු වීමය. ඒ අනුව එල්ටීටීඊය විසින් පිරිමි වෙස් ගන්වන ලද කොටි කෙල්ලක ලක්ෂාන් යන නමින් තම විදුහලට භාර දී ඇතැයි ඔහුට සැක සිතිණි. එය අප රටේ උතුරේ පැවැති ත්‍රස්තවාදී ක්‍රියා දකුණට ද පිටාර ගැලූ සමයකි. එබැවින් තවත් නිහඬව සිටිය යුතු නැතැයි විදුහල්පතිවරයාට සිතිණි.
පළමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටද ඒ බව දන්වා ඔහු ඒ සම්බන්ධයෙන් කොච්චිකඩේ ‍පොලීසියට දන්වන ලද්දේ ඒ අනුවය.
මෙම හෝඩුවාවෙන් වහා ක්‍රියාත්මක වූ කොච්චිකඩේ ‍පොලිස් ස්ථානාධිපති හරූන් ඩූල් මහතා ප්‍රශ්න කිරීම පිණිස ලක්ෂාන් ‍පොලිස් භාරයට ගත්තේය. ඒ 2006 සැප්තැම්බර් 20 වනදාය. එතෙක් තම මිතුරන් හා දෙමළ බසින් කතා කරමින් තමන් යාපනයේ ශ්‍රී රාමචන්ද්‍රන් රාජි නම් දෙමළ දැරිය බව පමණක් කියමින් සිටි ලක්ෂාන්ගේ හැසිරීම් රටාව ‍පොලීසියේ දී මුළුමනින්ම වෙනස් විය. එහිදී ඔහු කතා බහ, අංග චලන, ඉරියව් ආදියෙන් සහමුලින්ම දැරියක මෙන් විය. ඒ අනුව දරුවාගේ ජාතිය සේම ලිංග භේදය පිළිබඳ ගැටලුවක් ද පැන නැගිණ. ‍පොලිස් ස්ථානාධිපතිවරයා ද දෙමළ භාෂාව මනාව ප්‍රගුණ කළ අයෙකි. ඔහු හමුවේ ලක්ෂාන් දෙමළ බසින් කොට තිබූ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙලෙසිනි.
“මම ඉගෙන ගත්තේ යාපනයේ භද්‍රකාලී අම්මාන් කෝවිල අසල තිබෙන තිරුප්පුලි විදුහ‍ලේ, ඉගෙන ගත්තේ තුන්වෙනි පන්තිය දක්වා පමණයි. මගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රාජි. මගේ තාත්තගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රමේෂ් කුමාර්. අම්මගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රාශම්. අපේ ගේ ලොකුයි. අම්මගේ ෆොටෝ එක එල්ලා තිබූ තැන පිටුපස බිත්තියේ රහස් සේප්පුවක් තිබුණා. අපිව රෑට එළියට දාලා තාත්තා කට්ටියත් එක්ක ඇවිත් සේප්පුවේ රත්තරන් බඩු හා සල්ලි තබනවා. මමයි අයියයි හොරෙන් බලා ඉන්නවා. අපේ තාත්තාට කවුරුත් හරි බයයි. අපට නිතරම වෙඩි හඬ ඇහෙනවා.  අපේ ගෙදරට බෝම්බයක් වැටිලා තාත්තාවයි අයියාවයි මැරුණා. මාව යාපනයේ සින්දු රාජශේකරන් හා සින්දු ජා කියන අංකල්ට හා ඇන්ටිට දීලා අම්මා පිටරට ගියා. මම හැදුණේ ඔවුන් ළඟයි. අවුරුදු දොළහකට ඉස්සර මම ද බෝම්බයක් වැදී මිය ගියා.”
ඒ අනුව ලක්ෂාන්ගේ මව හේමා ද වහා ‍පොලීසිය වෙත කැඳවිණි. ඒ වන විට ඇය කොච්චිකඩේ නගරයේ ලොතරැයි ඒජන්සියේ සේවය කරමින් සිටියාය.  මෙම දරුවා තම වැඩිමල් පුතු වන ලක්ෂාන් බව ‍පොලීසියේ දී පිළිගත් හේමා කියා සිටියේ තම පුතු දෙමළ මළ ‍පොතේ අකුරක්වත් ලියන්නට හෝ කතා කරන්නට නොදන්නා බවකි.
අවට සිටි කාගේත් දෙනෙත් එකවරම ඉහළ නැංවුණේ ඒ සමගිනි.  ඉන් අනතුරුව පළමුව දරුවාගේ ලිංගභේදය පරීක්ෂා කරනු පිණිස ලක්ෂාන් මීගමුව මූලික රෝහල වෙත යැවුණි. එහිදී අනාවරණය වූයේ ඔහු පිරිමි දරුවකු බවය. ඒ අනුව මෙම දරුවා තුළ කිසියම් මානසික විපර්යාසයක් ඇති බවට වාර්තා කළ මීගමුව රෝහ‍ලේ වෛද්‍යවරු ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම පිණිස ලක්ෂාන් උතුරු කොළඹ (රාගම)
ශික්ෂණ රෝහ‍ලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත මාරු කොට යැවූහ. ඒ 2006 සැප්තැම්බර් 29 දාය.
රාගම මහ රෝහ‍ලේ දී ලක්ෂාන් ගේ භාරකාරත්වය පවරන ලද්දේ කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ (රාගම) මනෝ වෛද්‍ය විද්‍යා අංශාධිපති මහාචාර්ය කේ.ඒ.එල්.ඒ. කුරුප්පුආරච්චි වෙතය. දැනට අප රටේ සිටින ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් මනෝ වෛද්‍ය විශේෂඥයන් අතළොස්ස අතුරින් ඔහුද එක් අයෙකි.
ලක්ෂාන්ගේ ලිංග භේදය පිළිබඳ ගැටලුවක් නැතත් ඔහු නොදන්නා බසක් කතා කිරීම කෙසේවත් සිදුවිය නොහැක්කක් බව මහාචාර්ය කුරුප්පුආරච්චි ට රහසක් නොවිණි. එබැවින් ලක්ෂාන් කතා කරනුයේ සැබෑම දෙමළ බසද යන්න සැක හැර දැන ගැනීම මහාචාර්යවරයාගේ පළමු අභිලාෂය විය.
ඒ අනුව ඔහු ඒ සඳහා යම් උපක්‍රමයක් යෙදීය. එනම් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන දෙමළ සිසුන් ලවා ලක්ෂාන් ගේ භාෂා ඥානය පරීක්ෂා කරවීමය. ඒ අනුව ලක්ෂාන් සමග දෙමළ බසින් කතා බස් කළ දෙමළ වෛද්‍ය සිසුවෝ ඒ සම්බන්ධ තම නිගමනය මහාචාර්යවරයා වෙත දැක්වූහ.
“මෙයා කතා කරන්නේ දෙමළ නම් තමයි සර්. ඒත් සමහර වචන තියෙනවා අපට නොතේරෙන, ඒවා ශාස්ත්‍රීය දෙමළ (Classial Tamil) කියලයි අපට හිතෙන්නේ.”
දෙමළ මළ ‍පොතේ අකුරක්වත් නොදන්නා දරුවකු හිටිහැටියේ ව්‍යවහාරික දෙමළ ද නොවන ශාස්ත්‍රීය දෙමළ ද යොදමින් කතා කරන්නට පටන් ගැනීම තමන්ට කෙසේ වත් ගැලපිය නොහැකි හරස් පද ප්‍රහේළිකාවක් යැයි මහාචාර්ය කුරුප්පුආරච්චිට සිතෙන්නට ඇත. එහෙත් ඒ වන විට එල්.ටී.ටී.ඊ. ළමා සොල්දාදුවකු රාගම රෝහලට ඇතුල් කරන ලදැයි කියන ආරංචිය තටුසලා දසත පියඹා යමින් තිබිණ. ඒ අනුව සිදුවිය හැකි කුමක් හෝ අනපේක්ෂිත අකරතැබ්බයක් පිටුදැකීම පිණිස ලක්ෂාන් අංගොඩ මානසික රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් අධ්‍යක්ෂවරයා ඒ වන විට තීරණය කොට තිබිණ. ඒ අනුව 2006 සැප්තැම්බර් 30 දාම ලක්ෂාන් අංගොඩට මාරු කරන ලදී.
ඒ සමගම මගේ සිතට පිවිසියේ භුතාවේශයෙන් හෝ පුනර්භවයෙන් නොදන්නා බසක් කතා කර පෙන්විය හැක්කකුට රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් කරන බවට ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් කළ විවෘත අභියෝගයයි. එසේම එය කෙසේ වත් සිදුවිය නොහැක්කැයි මගේ සිත තරයේම කියන්නට විය.
ඒ අනුව ඒ සම්බන්ධ ගවේෂණයේ මුල්ම පියවර වශයෙන් කොච්චිකඩේ නගරයට ගිය මම එහි ලොතරැයි කුටියක ලොතරැයි අලෙවියේ යෙදෙමින් සිටි ලක්ෂාන්ගේ මව වන හේමා හමුවීමි. එහිදීද ඇය කියා සිටියේ තම පුතු දෙමළ මළ ‍පොතේ අකුරක් වත් නොදන්නා බවය. එහෙත් ඇගේ එම ප්‍රකාශයෙන් සෑහීමකට පත් නොවූ මම ඒ මොහොතේම ලක්ෂාන්ගේ බාලවියේ දී ජීවත් වූ වයික්කා‍ලේ, තඹරවිල ප්‍රදේශය වෙත ගියෙමි. එහිදී මා හට ඔහුගේ ළමා වියේ මිතුරන්, ඒ මිතුරන්ගේ මාපියන් ආදී විවිධ පිරිස් හමුවිය. එහිදී මා විසින් අනාවරණය කරගත් කරුණු මෙලෙසිනි.
ලක්ෂාන්ගේ බාල කාලය ගෙවී ඇත්තේ වයික්කා‍ලේ තඹරවිලය. ශ්‍රී ලංකාවේ හොඳම උළු නිෂ්පාදනය කෙරෙන ප්‍රදේශයක් වශයෙන් වයික්කාල ප්‍රසිද්ධය. එම උළු කම්හල්වල සේවය කරන කම්කරුවන් වැඩි දෙනෙක් මන්නාරම, වව්නියාව ආදී ප්‍රදේශවල සිට පවුල් පිටින් පැමිණ යාපනයේ ඌරුවට දෙමළ කතා කරන දෙමළ ජාතිකයෝ වෙති. එම පවුල්වල දරුවෝ එම ප්‍රදේශයේ පාසල්වලට ඇතුළු වී සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගනිති. එහෙත් එම දරුවන් තම දෙමළ මිතුරන් සමග පාස‍ලේදීත් අදහස් හුවමාරු කරගනුයේ තම ගෙදර භාවිත භාෂාව වන දෙමළ බසිනි. ලක්ෂාන් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මෙබඳු පසුබිමක් යටතේය. ඒ නිසා ඔහුගේ දෙමළ භාෂා දැනුම ඉතා ස්වභාවික ලෙසින්ම ඔහු වෙත හිමි වූවකි. එහෙත් තඹරවිල පාස‍ලේ සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලැබූ තම පුතු පාස‍ලේ දී දෙමළ මිතුරන් ඇසුරු කරන බවක් හෝ ඔවුන් වෙතින් නොවිධිමත් දෙමළ අධ්‍යාපනයක් ලබන බවක් හෝ ලක්ෂාන්ගේ මව කෙසේ වත් නොසිතන්නට ඇත. දරුවන් සිය මවට භාර දී ඔවුන්ගේ ජීවිකාව සරි කරනු පිණිස මහත් දුක් ගැහැට විඳීමට සිදුවීම මත සිය සෙනෙහස අහිමි ලක්ෂාන් ඇතුළු දරු තිදෙනා ඇගේ අවධානයෙන් ගිලිහීමද එතරම් අරුමයක් නොවේ. ලක්ෂාන්ගේ
ළමා කාලය අනේක විධ දුක් ගැහැට සහ මානසික අර්බුදවලින් පිරී ගත් එකක් වී ඇත්තේ එබැවිනි. සැබැවින්ම ලක්ෂාන් පළ කළ ලිංගමාරුව සහ ඉහත ආත්මයේ කතාව ඔහු තුළ පැවැති මානසික අර්බුදයක් මුල්කොට පැන නැගුණකි. පවත්නා ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන ගැටලු අර්බුද හමුවේ ඒවායින් අත්මිදීම පිණිස තම පෞරුෂයෙන් පලා යාම පිළිබඳ රෝග තත්ත්වයක් ද තිබේ. එය හැඳින්වනුයේ විඝටන අනන්‍යතා ආබාධය (dissoclative identity disorder) යනුවෙනි. මෙම පලායාම සිතා මතා හෝ සැලසුම් සහගතව සිදුවන්නක් නොවේ. එය තමන් ද නොදැනුවත්වම ඉස්මතු වන රෝගී තත්ත්වයකි. ඒ අනුව මෙම විමර්ශනයේ දී මට විසඳීමට තිබූ අවසන් ගැටලුව වනුයේ ලක්ෂාන් තම පාසල් මිතුරන් වෙතින් ‘ශාස්ත්‍රීය දෙමළ’ වචන ඉගෙන ගන්නේ කෙසේද යන්නය.
සිංහල භාෂාවට සාපේක්ෂව දෙමළ බස විවිධාංගීකරණයට ලක්වූවකි. නිදසුනක් ගත හොත් උතුරේ භාවිත වන දෙමළ භාෂාවේ භාවිතා වන ඇතැම් වදන් ශ්‍රී ලංකාවේ වතුකරයේ භාවිතා වන දෙමළ භාෂාවේ නැත. ඒ වෙනුවට ඔවුන් යොදනුයේ වෙනත්ම වචනය. එසේම ශ්‍රී ලාංකීය මුස්ලිමුන් භාවිතා කරන දෙමළ භාෂාවේ ඔවුන්ටම ආවේණික වදන් තිබේ. ඒවා අතර ද ප්‍රාදේශීය වෙනස්කම් පවතී. ඒ අනුව ලක්ෂාන් කතා කළ දෙමළ භාෂාවේ ඇතැම් අපැහැදිලි වදන්වලට ‘ශාස්ත්‍රීය’ යන අර්ථකතනය දීමට රාගම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ දෙමළ සිසු සිසුවියන් නොපසුබට වී ඇත්තේ තම දැනුම් පරාසය මුල්කරගෙන බව පෙනේ. ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාව අතුරින් තම දරුවන්ට වෛද්‍ය විද්‍යාලයීය සුදුසුකම් ලබා දිය හැක්කේ මැද පන්තියේ සමාජමය තත්ත්වයක් සහිත දෙමළ ජාතිකයන්ට පමණි. ඇතැම් විට ඔවුන්ගේ ගෙදර දොර භාෂාව ඉංග්‍රීසි වීමටද පුළුවන. ඒ අනුව ලක්ෂාන්ගේ මුවින් පිට වූ තමන් නොදන්නා අමුතු වදන් ‘ශාස්ත්‍රීය දෙමළ’ සේ එම වෛද්‍ය සිසුන් සිතන්නට ඇත.
ඉහත සඳහන් සාමාන්‍ය කරුණු හැරුණු කොට මේ සඳහා මුල්වන මනෝ විද්‍යාත්මක කරුණක් ද තිබේ. එනම් ‍පොලීසියේ දී එක්වරම තම ප්‍රකෘතියෙන් බැහැරව දෙමළ දැරියකගේ වෙස් ගත් ලක්ෂාන් එහිදී හට ගත් මානසික උත්තේජනය හමුවේ තම සීමිත දෙමළ දැනුම වසා ගැනීම පිණිස අච්ෙතනිකව ව්‍යාජ සක්ක පද යොදන්නට ඇති ඉඩකඩය. එහෙත් එවැන්නක් පිළිබඳව නොදැන සිටි දෙමළ වෛද්‍ය සිසුන් ඒ ව්‍යාජ සක්කපද ‘ශාස්ත්‍රීය දෙමළ’ වචන ලෙස වරදවා අරුත්ගැන්වීමේ අරුමයක් ද නැත.
මේ සිදුවීම තුළින්ද නැවත වරක් පැහැදිලි වන්නේ ජනමාධ්‍ය ඔස්සේ රස කර කියන පුනරුප්පත්ති කතා අන්ධ ලෙස විශ්වාස කිරීමට පෙර සිතා බැලිය යුතු පැති රැසක් පවතින බවයි.

තිලක් සේනාසිංහ

(Visited 77 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!