දැන් ඇමතිලා 109යි

Spread the love
  •  
  •  
  •  
  •  

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාධක්‍රිෂ්ණන් උද්භිද උද්‍යාන හා පොදු ‍විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ දී අද බ්‍රහස්පතින්දා උදෑසන දිවුරුම් දුන්නේය.

රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයාගේ දිවුරුම් දීමත් සමග රජයේ නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව 41 දක්වා ඉහළ යන අතර ජේෂ්ඨ ඇමතිවරුන් ඇතුළු කැබිනට් ඇමතිවරුන් 66 දෙනාත්, ව්‍යාපෘති ඇමතිවරුන් දෙදෙනාත් සමග මුළු ඇමති සංඛ්‍යාව 109කි.

පසුගිය අගෝස්තු මාසයේ දී නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ද පසුගිය වසරේ නොවැම්බර් මාසයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් නව දෙනෙකු ද ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරණු ලැබුණි.

නව පත් කිරීමත් සමග මන්ත්‍රීවරුන් 161 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ඇමති පදවි නො ලැබුණු මන්ත්‍රී සංඛ්‍යාව පනස් දෙදෙනෙකු පමණි.

එලෙස අමාත්‍ය පදවි නො ලැබුණු ඇතැම් මන්ත්‍රීවරුන් අමත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර තිබෙන අතර එමගින් අධීක්ෂණ මන්ත්‍රීවරුන්ටද අදාළ අමාත්‍යංශ වලින් කාර්යාල ඇතුළු අනිකුත් පහසුකම් ලබා ගැනීමට හැකිව තිබේ.

මෙතරම් විශාල ඇමති මණ්ඩලයක් සිටියත් ප්‍රධාන විෂය පථ වන ආරක්ෂක, නාගරික සංවර්ධන, මුදල් හා ක්‍රම සම්පාදන, වරාය හා මහාමාර්ග, නීතිය හා සාමය යන අමාත්‍ය ධුර දරන්නේ ද ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!