දරුවන්ට දුක් දී තහනම් ගහට නැග්ග බිරියට පව් පල දුන් හැටි

Spread the love
  •  
  •  
  •  
  •  

වරදේ බැඳී දරුවන්ට දුක්දෙන මවුවරුන් සිටින සමාජයක මවුවරුන් නිසාම ඒ දරුවන් පෙරළිකාර සමාජයට තල්ලු වී නීතිය ඉදිරියට යන අවස්ථා එමටය. තම දරුවන් කුඩා කාලයේ සිට තමන්ගේ දෑස් මෙන් රැකබලා ගන්නා ඇතැම් මවුවරුන් තාරුණ්‍යයට වහල්වී වල්මත් වී දරුවන් අඳුරට ඇද දමන අවස්ථා කාලි කෝවිල තුළින්ම අසන්නට ලැබෙන බව හලාවත මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ මහේන්ද්‍රසාමි පවසයි. තමන් උස්මහත් කළ දරුවන්ද ඇදගෙන තහනම් ගහේ නඟින්නට යන කාන්තාවන් නිසා තම මවට අනියමින් පෙම් බැඳි සැමියන්ගෙන් විඳින වද වේදනා පිළිබඳ අවනඩු ඒ අතර තිබෙන බවද ඔහු පැවැසීය. එවැනි සිද්ධියක අතීත කතා මෙවරද සැඟවී තිබුණේ මහේන්ද්‍රසාමි ළඟය. ඒ ගැන කියන්නට ඔහු මෙවරද හඬ අවදි කර සිටියේය.

“මම මේ කියන පවුලේ අය පදිංචිවෙලා හිටියේ අනුරාධපුරයට නුදුරු ප්‍රදේශයක. ගම්බද පාසලක ඉගෙන ගන්නා අවධියේ තමයි ඒ දෙන්නා ආදරයෙන් බැඳුණේ. පාසල් දිවිය අවසානයේ ඇගේ පාසල් පෙම්වතා කෘෂිකාර්මික අංශයෙන් පුහුණුවීම් ලබලා රජයේ ඉහළ රැකියාවකට සම්බන්ධ වී හිටියා. එයා රැකියාවක් හොයාගෙන වසර දෙකක් යන්නත් පෙර දෙන්නගෙම මවුපියන්ගෙ කැමැත්ත මත ඒ දෙන්නා විවාහ වුණා. ඒ විවාහවෙලා සැමියාගෙ නිවෙසට කැන්දාගෙන ගිහින් හොඳ පවුල් ජීවිතයක් ගත කළා. මේ දෙන්නම විවාහ වුණේ 20 හැවිරිදි වියේදී. ගැමි පරිසරයක ජීවත් වුණු ඒ අයගෙ පුංචි නිවෙසට අමුත්තන් තුන් දෙනකු වසර එකහමාරෙන් එකහමාරට වගේ එකතු වුණා. ඒ සුරතල් පුතුන් තිදෙනෙක්. වැඩිමහල් පුතාගෙ වයස අවුරුදු 15යි. ඒ දරුවා කුඩා කාලයේ ඉඳන් ඉගෙනීමට දස්කම් දැක්වූවා. ඒක කුඩා කාලයේ සිටම පේන්න තිබුණා.
ගමේ පාසලේ ගුරුවරු පවා ඒ දරුවා ගැන කතා කළා. එයා දස්කම් පෑවේ චිත්‍රවලට. ගුරුවරු කීවේ එයාගේ හැකියාව පෙර භවයක දස්කම් විය හැකියි කියල. ටික කාලෙකදි ඒ ගම්මානය ආසන්නයේ ඉදිවුණු කර්මාන්ත ශාලාවක වැඩ පරීක්ෂකවරයෙක් හැටියට කොළඹ පළාතේ අයෙක් ඒ ගමට පදිංචියට ආවා. එයා නැවතිලා හිටියේ මේ පුංචි පවුල පදිංචි නිවෙසට ආසන්න ගෙදරක. ඒ පුද්ගලයා මේ ගෙදර වැඩිහිටි අය සමඟ දැන හැඳුනුම්කම් ඇතිකරගෙන මේ ගෙදරට එන්න යන්න පටන් ගත්තා. මේ ගෙදර කාන්තාව තරමක් රූමත් අයකු නිසා අර නිලධාරියාගෙ යාම් ඊම් වැඩිවුණා.

සමහර අවස්ථාවල ඒ නිලධාරියා ගෙදර වැඩිහිටියො සමඟ කතාබහට වැටෙන අවස්ථාවල අර කාන්තාවත් ඒ කතාබහට හවුල් වුණා. දින සති මාස ගණන් ගෙවී යද්දි සැමියා නැති අවස්ථාවලදී අර ගමට ආව වැඩ පරීක්ෂක මේ ගෙදරට රිංගන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි ලියුම් කඩදාසියෙන් ආරම්භ වුණු අනියම් පෙම් පලහිලව්ව මාස ගණනක් යනකොට හුඟාක් දුරදිග ගිහින් තිබුණා. අවසානයේ මේ කොළඹින් ආව පුද්ගලයා සමඟ මේ කාන්තාව, දරුවන් තුන්දෙනත් අරන් පැනලා ගියා. එහෙම පැනලා යන්න කලින් ඒ කාන්තාව තම සැමියාට අවසන් ලිපියෙන් ලියා තබලා ගියේ ඒ අයවත්, ළමයින්වත්හොයන්න එපා කියලා. එහෙම හොයන්න ආවොත් ඇය දරු තිදෙනා සමඟ සියදිවි හානිකර ගන්නව කියලා පොඩි තර්ජනයකුත් කරලයි ලියුම ලියා තිබුණේ.

ඒ ගිය දවසේ අර කාන්තාවගෙ සැමියා ගෙදර එනකොට ‍ෙදාර ළඟ ලියුම තබා තිබුණා. ඒ අය ගෙදරට ඇතුළු වුණේ ‍ෙදාර කඩාගෙන. පාසල් වියේ සිට පෙම් කළ බිරිය මේ වගේ වේදනාවක් දේවි යැයි ඔහු මොහොතක්වත් සිතුවෙ නැහැ. ඒ වගේම එයා කිසිදිනක තම බිරිය සැක කළේ නැහැ. පස්සේ මේ පුද්ගලයා පැනල ගිය බිරිය හොයාගන්න පේන කියන තැන්වලට ගියත් ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ. අවසානයේ මේ පුද්ගලයා එයාගේ මීගමුවේ පැත්තේ හිතවතුන් පිරිසක් සමඟ අපේ කාලි කෝවිලට ආවා. ඒ ඇවිත් එයා කාලි මෑණියන්ගෙන් ඉල්ලා හිටියේ බිරිය එයාට නැතිවුණත් කමක් නැහැ දරු තුන්දෙනා ලබාගන්න පිහිට වෙන්න කියල.

එයා අවනඩුව කියමින් කාලි මෑණියන්ගෙ කුටිය ඉදිරිපිට හඬා වැටුණා. ඒ අය උස මහත දේහධාරී පුද්ගලයකු වුණත් එයාගේ කඳුළ, සුසුම තුළ සැඟවී තිබුණේ ඒවා විඳ දරාගන්න බැරි තරමේ වේදනාවක්. පැයකට වඩා කාලි මෑණියන් ඉදිරියේ දුක කියා සිටිය ඒ පුද්ගලයා අවසානයේ පැනගිය බිරියට විරුද්ධව පළිගල ළඟ පොල් ගහල කාලි මෑණියන්ට පුද දීලා පිටව ගියේ හරිම වේදනාවෙන්. මේ පුද්ගලයාගෙ මවුපියන් ඔහුට කීවේ පැනල ගිය ගෑනි අතහැරල වෙනත් ගෑනියෙක් බැඳගන්න කියල. ඒත් ඒ පුද්ගලයා දරුවන්ට තියෙන ආදරය නිසා වෙනත් මඟුලක් කරගන්න හිතුවෙ නැහැ. එයා හිතුවෙ මුළු ජීවිත කාලයම තනිකඩව ජීවත් වෙනවයි කියල. එයාගෙ එකම පැතුම වුණේ දරු තිදෙනා සොයාගන්න එක. මෙහෙම සිතමින් කල්ගත කරද්දී දිනක් සවස 6ට විතර කිලිටු කලිසමකින් කමිසයකින් සැරැසුණු අතේ පයේ තුවාලවලට බෙහෙත් දාගත්ත පුතා ගෙදර ‍ෙදාරකඩ දර්ශනය වුණා. ඒ ඇවිත් පියා බදාගෙන හඬන්න වුණා. එයා මේ දරුවන්ගෙන් මවයි අනෙක් දරු දෙදෙනයි හිටිය තැන දැනගෙන පොලිසියත් එක්ක කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවෙසකට හදිස්සියෙ ගියා. ඒ යනකොට වැඩිමහල් පුතා ගෙදරින් ගිය නිසාදෝ ඒ අනියම් අඹුසැමි දෙන්නා එයා ළඟ සිටි දරුවන් අල්ලපු ගෙදර නවතා ඒ නිවෙස අතහැර දමලා ගිහින් තිබුණා.

ඒ පුද්ගලයා බිරිය සොයන එක නවත්තලා අර දරු දෙන්නත් අරන් ගමට ආවා. එහෙම ඇවිත් එයාගේ සහෝදරියන් සමඟ හවුල් වෙලා මේ දරු තුන්දෙනාට හොඳින් ඉගැන්වීම් කටයුතු කළා. මාස දෙකක් යන්න පෙර අර එයා අතහැර අනියම් සැමියා සමඟ ගිය බිරියව ඒ පුද්ගලයාම එළවා දැම්මා. ඔහු තවත් කාන්තාවක් සමඟ වරදේ බැඳිලා ඇයත් සමඟ දුර පළාතක පදිංචියට ගියා. අවසානයේ සැමියා අතහැර ගිය කාන්තාවට කරකියා ගන්න දෙයක් නැතිව එයාගේ පළමු විවාහක සැමියා සොයාගෙන ගමට ආවා.
ඒත් එයාගේ සැමියාගෙන් ඇයට කිසිම සමාවක් ලැබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඇයට දරු තුන්දෙනාගෙන්වත් සමාවක් ලැබුණේ නැහැ. අර කාන්තාවට සැමියාගෙන් හෝ ඇගේ ඥාතීන්ගෙන්වත් සමාවක් ලැබුණේ නැති නිසා අසරණ වුණා. අනියම් සැමියා සමඟ ඇය දරු තිදෙනා රැගෙන ගිය අවස්ථාවේ ඒ අය පාසල් නොයවා කොළඹ ගෙවල්වල වැඩට දාලා මුදල් ලබාගෙන තිබුණා. ඒ විතරක් නෙවෙයි ඒ දරුවන් අනියම් සැමියාගෙන් නොවිඳිනා දුක් විඳිමින් පැදුරු කඩමාලුවල තමයි නිදාගත්තේ. කිසි කෙනකුගෙන් පිළිසරණක් නොලැබුණු අර කාන්තාව අවසානයේ අබිසරුලියක් වී මහමඟ සිඟමනට පවා වැටුණා. අවසානයේ ඇය පාළු අම්බලමක් තුළ මිය ගියා.

අර දරු තිදෙනාට යළිත් හොඳ ජීවිතයක් ලබාදෙන්න ඒ අය ළඟට ගත්ත ඒ දරුවන්ගෙ පියාට පුංචි ලොතරැයියක් ඇදුණා. ඒ මුදල්වලින් එයා දරු තුන්දෙනාට හොඳින් ඉගැන්නුවා. මවගේ වරදින් දුක් විඳිමින් සිට යළි පියා සමඟ එක්වෙලා හිටපු ඒ දරු තුන්දෙනා දිනක් අපේ කාලි කෝවිලට ඇවිත් මටත් වැඳලා කාලි මෑණියන් ඉදිරියට ගිහින් පියා බදාගෙන හැඬුවේ ඒ අය කවදාවත් පියා දමල යන්නෙ නැහැ කියලා කාලි මෑණියන් ඉදිරියෙ දිවුරුමක් තබල. දරුවන්ට දුක් දීලා තහනම් ගහකට නඟින්න ගිහින් වල්මත් වුණු බිරියකට කාලි මෑණියන්ගෙන් දඬුවම් ලැබුණා.”

ප්‍රේමලාල් විජේරත්න

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!