“තාජුඩීන් මැරුන හැටි මම කියන්නම්…” – අත්අඩංගුවේ සිටින නාරාහේන්පිට OIC

“තාජුඩීන් මැරුන හැටි මම කියන්නම්…” – අත්අඩංගුවේ සිටින නාරාහේන්පිට OIC

Spread the love
  •  
  •  
  •  
  •  

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මෝටර් රථය තුළ පිළිස්‌සී මිය යැමේ සිද්ධියට අදාළව තමන් දන්නා සියල්ල ප්‍රකාශ කිරීමට සූදානම් බව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සුමිත් චම්පික පෙරේරා මහතා ඊයේ (12 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා හමුවේ සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී සැකකාර පොලිස්‌ පරීක්‍ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා මේ බව දැනුම් දුන්නේය.
සැකකරුට මෙම සිද්ධියේ සැඟවීමට දෙයක්‌ නොමැති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කියා සිටි දන්නා සියල්ල අධිකරණය වෙත ද කියා සිටීමට සූදානම් බවත් නීතිඥ අජිත් පතිරණ මහතා පැවසුවේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තා ගොනු කරමින් සිද්ධියට අදාළව තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බවද සැකකරු තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසද ඉල්ලා සිටියේය.
සිද්ධියට අදාළව පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ නිලධාරීන් වෙත එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ලබාගෙන ඇති ප්‍රකාශ පරස්‌පර බවද පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එනිසා ඔවුන්ගෙන් යළි ප්‍රකාශ ලබාගැනීමට කටයුතු යොදා ඇති බව දන්වා සිටියේය.
වසීම් තාජුඩීන්ගේ ප්‍රථම මරණ පරීක්‍ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා ඇතුළු වෛද්‍ය මණ්‌ඩලය සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණ අවසන් කර විනය මණ්‌ඩලය වෙත යොමු කර ඇති බව දන්වා සිටි වෛද්‍ය සභාව ඒ පිළිබඳ තීරණය ඉදිරියේදී දැනුම් දෙන බව දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්‍ෂණයේ අවසන් වාර්තාව ඉදිරි දින වහාම ගොනු කරන ලෙසත් සැකකරු ලබන 26 දා තෙක්‌ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් නියෝග කළේය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!