තල්දුවේ සෝමාරාමා එල්ලා මරන්නට කලින් දවසේ ක්‍රිස්තියානුවෙක් වූ හැටි

Spread the love
  •  
  •  
  •  
  •  

එවකට අගමැති ධුරය හෙබ වූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාට රොස්මිඩ් පෙදෙසේ පිහිටි අගමැති නිවසේදී වෙඩි තැබුවේ 1959 සැප්තැම්බර් 25 වැනි දින උදෑසනය.

අගමැතිවරයාට වෙඩි තැබූ තල්දූවේ සෝමාරාම හිමි ‍පොලිස් වෙඩි පහරින් තුවාල ලබා ඒ මොහොතේම අත්අඩංගුවට පත්විය. අගමැතිවරයා මරණයට පත්වූයේ 1959 සැප්තැම්බර් 26 වැනිදාය.
අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමත් සමගම වෙඩි තැබූ තල්දූවේ සෝමාරාම හිමි පමණක් නොව තවත් 7 දෙනෙකු අත්අඩංගුවට පත්වූයේ බණ්ඩාරනායක රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම සහ බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීම යන චෝදනා යටතේය. කැලණි රජ මහා විහාරාධිපති එක්සත් භික්ෂු පෙරමුණේ නායක මාපිටිගම බුද්ධරක්ඛිත හිමි, වැල්ලම්පිටියේ එච්.පී. ජයවර්ධන, වෛද්‍යචාර්ය කරෝලිස් අමරසිංහ, ‍පොලිස් පරීක්ෂක නිව්ටන් පෙරේරා, එවකට මුදල් ඇමැතිව සිටි ස්ටැන්ලි ද සොයිසාගේ සොයුරු ඩිකී ද සොයිසා, සෞඛ්‍ය ඇමැතිනියව සිටි විමලා විජේවර්ධන හා කාර්මිකයකු වූ අනුර ද සිල්වා මෙලෙසින් අත්අඩංගුවට පත්වූහ.
මේ වන විට එනම් 1958 මැයි 09 වැනි දින සිට ලංකාවේ මරණීය දණ්ඩනය අහෝසි කර තිබුණේ  බණ්ඩාරනායක රජයෙනි. එබැවින් රජය විසින් 1959 දෙසැම්බර් 02 වැනි දින සිට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරනු ලැබිය. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩුව ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූයේ 1959 දෙසැම්බර් 14 වැනි දින කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් ඇන්.ඒ. ද ඇස්. විජේසේකර ඉදිරියේ දීය.
ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ බණ්ඩාරනායක නඩුව ජූරි සභාවක් ඉදිරියේ රාජනීතිඥ ටී.ඇස්. ප්‍රනාන්දු විනිශ්චයකාරවරයා ඉදිරිපිට විභාගයට ගැනිණි. දින 52ක් පුරා විභාග වූ මෙම නඩුව අවසානයේ දී තිදෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය. අත්අඩංගුවට පත්වූ වෛද්‍යාචාර්ය කරෝලිස්  අමරසිංහ රජයේ සාක්ෂි කරුවකු වූ අතර සෙසු පිරිස විත්තිකරුවෝ වූහ. මෙකී විත්තිකරුවන් අතරින් මාපිටිගම බුද්ධරක්ඛිත 1960 ජුනි 20 වැනිදාත් එච්.පී. ජයවර්ධන 1960 ජුනි 21 වැනිදාත් තල්දූවේ සෝමාරාම 1960 ජුනි 22 වැනිදාත් එල්ලා මැරීමට නියම කරනු ලැබිය. එහෙත් අභියාචනාධිකරණයට අභියාචනා ඉදිරිපත් වීමෙන් පසු මාපිටිගම බුද්ධිරක්ඛිත සහ එච්.පී. ජයවර්ධන යන දෙදෙනාට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම වූ අතර තල්දූවේ සෝමාරාම 1962 ජූලි 06 වැනි දින එල්ලා මැරීමට නියම විය. මෙම තීන්දුව දෙනු ලැබුවේ 1962 ජනවාරි 15 වැනිදාය.
මේ අධිකරණ තීන්දුවෙන් පසුව තල්දූවේ සෝමාරාමව වැලිකඩ බන්ධනාගාරයේ ඛි-3 අංශයේ රඳවනු ලැබිය. ඛි-3 අංශයේ සිරමැදිරි පිහිටා තිබෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන ‍පෝරකයට ආසන්නයෙනි. සිරකරුවෙකුව මරණීය දණ්ඩනයට රැගෙන යනු ලබන විට හිස් වන සිරමැදිරියට මරණ දඬුවම ලැබිමට නියමිත ඊළඟ සිරකරුවාව මාරු කිරීම සාමාන්‍ය පිළිවෙතය. ඒ අනුව ඛි-3 අංශයේ රඳවා සිටින මරණ දඬුවම හිමි සිරකරුවන් සිර මැදිරිවලින් මාරු කිරීම නිතැතින් සිදුවේ. තල්දූවේ සෝමාරාමටද එක් සිරමැදිරියකින් තවත් සිරමැදිරයකට මාරු වීමට සිදුවූවේ එබැවිනි.
මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ගේ ඇඳුම වූයේ කොටු සහිත සුදු රෙද්ද සහ අමු රෙද්දෙන් මැසූ අත්දිග සුදු හැට්ටයකි. ඒ අනුව තල්දූවේ සෝමාරාමටද එකී ඇඳුම නියම විය.
එහෙත් ඔහුට අලුත් ඇඳුම හැඳ ගැනීමට සිවුර උනා දමන්නට අවශ්‍ය වූයේ නැත. ඊට හේතුව ඔහු සුදු ජාතික ඇඳුමෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි නිසාය. එහෙත් එම ඇඳුම ඔහු අඳින්නේ සිවුරු ලබාගත නොහැකි නිසා බවත් ඔහු භික්ෂූත්වයෙන් අත්මිදී නොමැති බවත් නඩු විභාගයේදී මෙන්ම මරණ දඬුවම නියම වූ පසුවද දිගින් දිගට ප්‍රකාශ කර තිබේ.
මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් සිරමැදිරියෙන් පිටතට ගැනෙන්නේ දිනකට දෙවරක් පමණි. ඒ වරකට පැය 1/2 බැගින් උදෑසන සහ සවස් වරුවේය.
ව්‍යායාම සහ මූණකට සෝදා පිරිසිදු වීම සඳහා උදෑසන පැය 1/2 ක් ලබා දී තිබිණි. සවස් වරුවේ ද මූණකට සෝදා වැසිකිළි යෑම වැනි කටයුතු සඳහා පැය 1/2 ක් ලබාදී ඇත. මෙම සිරකරුවන්ගේ ආහාර සිරකුටියේ කුඩා කවුළුවකින් ලබා දෙනු ලැබේ. මරණ දඬුවම හිමි වූ සිරකරුවන්ට බන්ධනාගාර වෘත්තීන් ලබා දෙන්නේ නැත. පිටතට ගන්නා පැය හැරුණු විට ඉතිරි පැය 23 ම අඳුරු හිර කුටියේ ගත කළ යුතු වන්නේ එම නිසාය. මෙම සිරමැදිරිවලට විදුලි ආලෝකය සැපයෙන්නේ නැත. රාත්‍රියේ අඳුර දුරුවන්නේ කෝරිඩෝවේ ඇති විදුලි බුබුළුවලිනි. මේ ආකාරයට දිවි ගෙවූවද  තල්දූවේ සෝමාරාම අනෙක් සිරකරුවන් සමග විහිළු තහළුවෙන් කාලය ගත කර තිබේ. නියමිත වේලාවට ආහාර ගත් ඔහු දවසකට සිගරට් පැකට්ටුවක් පාවිච්චි කර තිබේ.
එහෙත් ඔහු සාමාන්‍ය අන්දමට ගත කළ ජීවිතය 1962 ජූලි මාසය එළඹෙත්ම වෙනස් වූයේ ජූලි 06 වැනි දින ඔහුව එල්ලා මරා දමන බව හොඳින් දන්නා නිසාය.
“ඒ කා‍ලේ මරණ දඬුවම ලබා දෙන දිනය අධිකරණය නියම කළාට එය අනුමත කරන්නේ එංගලන්තයේ මහ රැජින. ඔය කා‍ලේ ක්‍රිස්තියානි ආගමේ  සිරකරුවන්ගේ අවසාන  ආගමික වතාවත් කරන්න බන්ධනාගාරයට පැමිණියේ මැතිව් පීරිස් දේවගැතිවරයා. මැතිව් පීරිස් දේවගැතිවරයා එහෙම ආපු වෙලාවක තල්දූවේ සෝමාරාම එක්ක කතා කරලා තිබෙනවා. මැතිව් පීරිස් දේවගැතිවරයා කියලා තිබෙනවා ඔහු එංගලන්ත සභාවට අයත් ඇන්ග්ලිකන් නිකායට අයිති පූජකවරයෙකු නිසා එංගලන්තයේ මහ රැජිනගෙන් සමාව ඉල්ලලා දෙන්න පුළුවන්, ඇන්ග්ලිකන් ආගමට එන්න කියලා. සෝමාරාම මැතිව් පීරිස් දේවගැතිවරයාට බැණලා එළවාගෙන තිබෙන බව මට මගේ තාත්තා කියලා තියෙනවා. මොකද ඒ කා‍ලේ මගේ තාත්තා පී. වික්‍රමසිංහ වැලිකඩ බන්ධනාගාරයේ ජේලර් කෙනෙක් හැටියට සේවය කළා. ඒ නිසා මගේ පියා සෝමාරාම සමග කටයුතු කර තිබෙනවා.” යනුවෙන් විශ්‍රාමික බන්ධනාගාර අධිකාරි ලාල් වික්‍රමසිංහ විස්තර කළේය.
මැතිව් පීරිස් දේවගැතිවරයාව එළවා ගත්තද බෞද්ධ භික්ෂුවක් වූ සෝමාරාම කිසිම විටෙක ආගමික කටයුතුවල නිරත වූයේ නැත. 1962 ජූලි මාසය එළැඹුණු විට සෝමාරාමගේ සොහොයුරාත් වයෝවෘද්ධ ඥාති භික්ෂුවකුත් ඔහු බැලීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණි බව වාර්තා වේ. එහෙත් කිසිම ඥාතියෙකු සෝමාරාමගේ මළ සිරුර ලබාගැනීමට ඉල්ලීමක් කළේ නැත. ජූලි 04 , 05 වන විට සෝමාරාම වැඩිපුර කතාබහේ යෙදී  නැත. ජූලි 04 දින ඔහු බැලීමට ඇපෑ‍ලේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ ලුෂියන් පී. වීරමන්ත්‍රි ඇතුළු නීතිඥයන් පැමිණියද ඔවුන්ට අවසර ලැබි නැත.
එතෙක් ඔහු භික්ෂුවක් බව කියා සිටි තල්දූවේ සෝමාරාම මහණකමත් බුද්ධාගමත් අතහැර ක්‍රිස්තියානි ආගම වැළඳගෙන තිබෙන්නේ 1962 ජූලි 05 වැනිදා උදෑසන 8.30ටය. බන්ධනාගාරයේ ක්‍රිස්තියානි ආගමේ ලංකා සභාවේ ආගමික කටයුතු භාර දේවගැති මැතිව් පීරිස්, විශේෂ ආගමික මෙහෙයකින් පසුව සෝමාරාමව භෞතිස්ම කළ අතර සෝමාරාමගේ ක්‍රිස්තියානි නාමය ‘පීටර්’ විය.
ජූලි 05 වැනි දින සුපුරුදු ලෙස ස්නානය කළ සෝමාරාම හෙවත් පීටර් නියමිත පරිදි ආහාර ගෙන තිබේ. බන්ධනාගාර වෛද්‍ය නිලධාරි ඩී.ඇස්.ඇස්. ගුණවර්ධන ජූලි 05 වැනි දින ඔහුව පරීක්ෂා කර බලා ඔහු මනා ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව දන්වා ඇත. එදින සෝමාරාමගේ අවසාන රාත්‍රී්‍ර භෝජන සංග්‍රහය ලෙස ඔහු ගෙන තිබෙන්නේ බටහිර පන්නයේ ආහාර වේලකි. එනම් තම්බාපු
එළවළු සහ මාළුය. එය සපයා ඇත්තේ ඔහුගේ ඉල්ලීමකට අනුවය. ජූලි 05 වැනි දින දවස පුරාම ඔහු ගත කර ඇත්තේ ක්‍රිස්තියානි ‍පොත්පත් කියවමිනි.
1962 ජූලි 06 වැනි දින උදෑසන වැලිකඩ බන්ධනාගාරය වටා හමුදා මුරකාවල් යොදවනු ලැබිය. ජූලි 06 වැනි දින උදෑසන 6.00 සිට ගිනි අවි රැගත් හමුදා භටයන් රැකව‍ලේ සිටි අතර කිසිම කෙනෙකුට බන්ධනාගාරය අසල නැවතීමට හෝ රැස්වීමට ඉඩ දුන්නේ නැත. එදින උදෑසන බන්ධනාගාරයට ඇතුළු වීමට අවසර ලැබුණේ බන්ධනාගාර නිලධාරීන්ට පමණි. සිරකරුවන් බැලීමටවත් ඥාතීන්ට එහි ඇතුළු වීමට ඉඩ දුන්නේ නැත. ජූලි 06 වැනි සිකුරාදා උදෑසන මූණකට සෝදා පිරිසිදු වූ පසුව උදෑසන ආහාර වශයෙන් ඉඳිආප්ප  සහ සීනි සම්බල ඔහුට ලබා දී තිබෙන්නේ ඔහුගේ සිතැඟි අනුවය. එහෙත් සෝමාරාම උදෑසන ආහාරය ගෙන නැත. ඊට පෙර දින අන් දිනවලට වඩා සිගරට් අධික ප්‍රමාණයක් පානය කර ඇත.
එදින උදෑසන 7.40 ට මැතිව් පීරිස් දේවගැතිවරයා සෝමාරාම හමුවීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේ අවසාන ආගමික වතාවත් සිදු කිරීමටය.

එදා ඉංග්‍රීසියෙන් දේව මෙහෙයක් පැවැත්වූ මැතිව් පීරිස් දේවගැතිවරයාට ඊට වසර 20කට පසුව ඛි – 3 සිරමැදිරිය තුළට සිරකරුවකු ලෙස පැමිණෙන්නට සිදුවෙතැයි නිකමටවත් නොසිතුණු බව නියතය. එහෙත් මැතිව් පීරිස් දේවගැතිවරයාටද මරණීය දණ්ඩනය හිමි වී මෙම සිරමැදිරියටම පැමිණෙන්නට සිදුවීම ෙදෙවෝපගත සිදුවීමකි.
අවසාන ආගමික මෙහෙයෙන් පසුව ‍පෝරකයට ගෙන යෑම සඳහා නියමිත සුවිශේෂී ඇඳුම අන්දවා ඇත. මෙම අවස්ථාවේදි ඔහුට සංග්‍රහ කළ බන්ධනාගාර නිලධාරීන්ට ස්තූති කිරීමට ඔහු පසුබට වූයේ නැත. ඔහු ක්‍රිස්තියානි දහම වැළඳ ගත්තේ බෞද්ධ රටක කොපමණ භික්ෂුන් සිටියද තමා වැනි අහිංසකයෙකු වෙනුවෙන් උද්ඝෝෂණයක් කිරීමටවත් එකම භික්ෂුවක්වත් ඉදිරිපත් නොවූ නිසා බව ඔහු ප්‍රකාශ කර ඇත. අවට සිටි අය සමග කතා කළ සෝමාරාම නොහෙත් පීටර් අගමැති ඝාතනයට තමා කොටස්කරුවකු වුවත්  ඊට සම්බන්ධ අය හිරෙන් පිටත සිනාසෙමින් සිටින බව පවසා තිබේ. ‍පෝරකය වෙත ගෙන යන විට “නරක ආශ්‍රයෙන් නරකක්ම වෙනවා” යනුවෙන් ද අවට සිටි අයට පැවසුවේ ඔහුව උදෑසන 7.55ට සිරමැදිරියෙන් එළියට ගැනීමෙන් අනතුරුවය.
ඔහු කිසිදු කලබලයකින් තොරව ගමන් කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් කිසිවකුත් ඔහුව අල්ලාගෙන කැටුව නොයෑම විශේෂයෙන් සඳහන් කළ යුතුය. කිසිම චකිතයක් නැතිව ‍පෝරකයට නැඟුණු සෝමාරාමව එදින උදේ 8.05 ට එල්ලා මරණයට පත්කරනු ලැබිය. බන්ධනාගාර වෛද්‍ය නිලධාරී ඩී.ඇස්.ඇස්. ගුණවර්ධන මරණය සිදුවී ඇති බවට පරීක්ෂා කිරීමෙන් අනතුරුව තීන්දු කළ අතර හදිසි මරණ පරීක්ෂක ජේ.එන්.සී. තිරුචෙල්වම් මරණ පරීක්ෂණය පවත්වා එය නීතිය යටතේ එල්ලා මැරීමක් බව නිගමනය කළේය.
ඉන්පසුව මළ සිරුර රැගත් වෑන් රිය විශේෂ ආරක්ෂා සහිතව බන්ධනාගාරයේ පසුපස රහස් දොරටුවෙන් පිටතට ගෙන බොරැල්ල කනත්තේ ආදාහනාගාරය වෙත ගෙන යනු ලැබිය. උදේ 9.10 ට බොරැල්ල කනත්තේ ආදාහනාගාරය තුළටම රැගෙන ගිය රථය ඇතුළතදී විවෘත කළේ කිසිවකුත් නොදකින ආකාරයෙනි. සාමාන්‍ය ලීයෙන් සායම් හෝ සැරසිලි කිසිවක් නොමැති පෙට්ටියක බහා තිබු සෝමාරාමගේ මළ සිරුර ආදාහනාගාරයට දැමූ විගසම බන්ධනාගාර නිලධාරින් ඉදිරිපිටදීම ගිනි දල්වා තිබේ. එය දල්වා ටික වේලාවකින් පසුව බන්ධානාගාර කොමසාරිස් ෆීලික්ස් රත්නායක, නියෝජ්‍ය කොමසාරිස් පී.වී. පෙරේරා, වැලිකඩ බන්ධනාගාරාධිපති පී. සිල්වා යන අය පිටත් වී ගියහ. එහෙත් වැලිකඩ බන්ධනාගාරයේ නියෝජ්‍යාධිපති සිරිල් ජෑන්ස් සහ බන්ධනාගාර මූලස්ථානයේ අධිකාරි පී. කුමාරස්වාමි යන දෙදෙනා සෝමාරාමගේ සිරුර දැවී අළු වී යන තෙක් එහි රැඳී සිටියෝය. මෘතදේහයට ගිනි දල්වා විනාඩි 20ක් ගත වූ පසුව මැතිව් පීරිස් දේවගැතිවරයා එහි පැමිණ තිබේ. විශේෂ අවසරයක් ලබාගත් මැතිව් පීරිස් දේවගැතිවරයා ආදාහනාගාරයට ඇතුළු වී කෙටි ආගමික මෙහෙයක් පවත්වා දැවෙන සිරුරට ශුද්ධ වූ ජලය ඉස ඇත. උදෑසන 10.40ට විදුලි සොහොන භාරව ක්‍රියා කළ දිසානායක මුදියන්සේලාගේ බණ්ඩා විදුලි ගෙයි දොර හැර යකඩ කූරකින්  නොදැවුණු කොටස් එකතුකොට යළි ඒවා දැවෙන්නට සලස්වා ඇත. පෙරවරු 11.05ට පමණ සිරිල්  ජෑන්ස් හා කුමාරස්වාමි යන නිලධාරිහු පිටත් වී ගියහ. සවස 3.00ට වැලිකඩ බන්ධනාගාරයේ නියෝජ්‍යාධිපති සිරිල් ජෑන්ස් සමග මැතිව් පීරිස් දේවගැතිවරයා බොරැල්ල කනත්තට පැමිණි බව වාර්තා වේ.
1962 ජූලි 06 වැනි දින මරණීය දණ්ඩනයට ලක්වූ තල්දූවේ සෝමාරාම 1915 මාර්තු 31 වැනි දින අවිස්සාවේල්ල තල්දූවේ උපන් අයෙකි. ගිහි නම වූයේ රතු ගමරාළලාගේ වේරිස් සිඤ්ඤෝය. 1929 වසරේදී තල්දූවේ සෝමාරාම නමින් පැවිදි වූ හෙතෙම වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකි. පැවිදි ආචාර්යවරයා වූයේ තල්දූවේ ඉසිපතනාරාමාධිපති ගෝනගමුවේ සෝමානන්ද හිමිය. 1936 වර්ෂයේ දී මල්වතු විහාරයේ දී උපසම්පදාව ලැබූ තල්දූවේ සෝමාරාම හිමි 1957 වසරේදී බොරැල්ල ආයුර්වේද රෝහ‍ලේ ඇස් වෙදකම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පත්කර ඇත. ඔහුගේ කියමනට අනුව නරක ආශ්‍රයෙන් නරක් වූ තල්දූවේ  සෝමාරාමට වර්ෂ 2  මාස 10 දින 10ක් වැලිකඩ බන්ධනාගාරයේ ගත කරන්නට සිදුවිය. එහෙත් ඉන් වැඩි කාලයක් ගෙවා තිබෙන්නේ රිමාන්ඩ් සිරකරුවකු වශයෙනි.

(Visited 95 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!