ජීවිතයේ සොඳුරුම දවසට පැය කිහිපයකට පෙර එකට මරු වැළඳගත් තරුණ යුවල

ජීවිතයේ සොඳුරුම දවසට පැය කිහිපයකට පෙර එකට මරු වැළඳගත් තරුණ යුවල

Spread the love
  •  
  •  
  •  
  •  

වසර කීපයක සිට පවත්වාගෙන ආ ප්‍රේම සම්බන්ධතාවක්‌ මත අද (28) දින විවාහ වීමට නියමිතව සිටි තරුණ යුවළක්‌ අනුරාධපුර පූජා නගරයට නුදුරු කටුකැලියාව, බණ්‌ඩාර පුලියන්කුලම වැවේ පෙරේදා (26) සවස මල් නෙළීමට සහ විනෝදයට ඔරු පැදීමට ගිය අවස්‌ථාවේ අනපේක්‍ෂිත ලෙස ඔරුව පෙරළීමෙන් දියේ ගිලී මියගොස්‌ ඇත.
මෙසේ මියගොස්‌ ඇත්තේ බණ්‌ඩාරකුලම කටුකැලියාව ප්‍රදේශයේ පදිංචි විසිඑක්‌ හැවිරිදි එච්. එච්. රුවන් කුමාර සහ පොළොන්නරුව මැදිරිගිරිය මහ අඹගස්‌වැව යාය 11 ප්‍රදේශයේ පදිංචි අයේෂා තුෂාරි බණ්‌ඩාර යන තරුණ යුවළයි.
පෙරේදා සවස 6.30 ට පමණ ඔවුන් දෙදෙනා ඔරු පදිමින් සිටියදී වැවේ ගැඹුරු දිය මතදී එකවරම ඔරුව පෙරැළී එය සමග දෙදෙනාම අතුරුදන් වී ඇත.
මෙම සිද්ධිය සියසින් දුටු බණ්‌ඩාර පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයකු මේ බව ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබේ.
අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මේ පිළිබඳව අනුරාධපුර පොලිසියට දැනුම් දීමෙන් පසු පෙරේදා රාත්‍රියේම දියේ ගිලී අතුරුදන් වූ තරුණ යුවළ සෙවීමේ මෙහෙයුමක්‌ පොලිස්‌ ජීවිතාරක්‍ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්‌ව ක්‍රියාත්මක කළද එම උත්සාහය අසාර්ථක විය.
මේ අතර ඊයේ (27 දා) පෙරවරුවේ යළිත් පොලිසිය හා ප්‍රදේශයේ තරුණයන් කීප දෙනකු එක්‌ව අතුරුදන් වූ තරුණ යුවළ සෙවීමේ මෙහෙයුමක්‌ දියත් කළ අතර ඒ අනුව පෙරවරු 8.30 ට පමණ ඔවුන් දෙදෙනාගේ සිරුරු වැවේ දියයට තිබියදී සොයා ගෙන ඇත.
අනතුරුව එම සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත රැගෙන යනු ලැබිණ.
මෙම සිද්ධියෙන් මියගිය තරුණයා ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයකුගේ නිවසක ඖෂධ සැකසීමේ වෘත්තියේ නිරත වූ අයකු වන අතර තරුණිය පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටි තැනැත්තියක බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
මියගිය තරුණයා මීට දින කීපයකට පෙර විවාහ වීම සඳහා තරුණිය සිය නිවසට කැඳවා ගෙනවිත් ඇති අතර ඒ අනුව ඔවුන් දෙදෙනා අද අනුරාධපුර නගරයේ විවාහ හා උප්පැන්න රෙජිස්‌ට්‍රාර්වරයකු ඉදිරියේ විවාහ වීමට සූදානමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී ඇත.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!