ජාතික සභාව වගකීම් පැහැර හැර ජනතාවගේ අඩුතක්සේරුවට ලක්වෙනවා-ගෝඨාභය අත්අඩංගුවට ගන්න තීරණය කළේ නැහැ

ජාතික සභාව වගකීම් පැහැර හැර ජනතාවගේ අඩුතක්සේරුවට ලක්වෙනවා-ගෝඨාභය අත්අඩංගුවට ගන්න තීරණය කළේ නැහැ

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට නව ආණ්ඩුවේ ජාතික විධායක සභාව ඒකමතිකව තීරණය කළ බවට පළවන වාර්තා අද දේශපාලන ලෝකයේ දැඩි කතාබහට ලක් වුණා. අදාළ මාධ්‍ය වාර්තා, සෞඛ්‍ය අමාත්‍ය කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා උපුටා දක්වමින් කියාසිටියේ ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ සිදුකළ යුතු බවට ඊයේ රැස් වූ විධායක සභාව තීරණය කළ බවයි.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පිහිටවූ මෙම ජාතික සභාව අවස්ථා කිහිපයකදී මෙලෙස රැස්වී සාකච්ඡා පවත්වා තිබෙනවා. ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපතිනිය, අනුර දිසානායක, සරත් ෆොන්සේකා, චම්පික රණවක, ආර් සම්බන්ධන්,රිෂාඞ් බදියුදීන් සහ අසාද් සාලි යන අය විධායක සභාවේ සාමාජිකයන් වනවා. විධායක සභාව පත්කරනු ලැබුවේ ආණ්ඩුවේ ගමන් මග නිසි පරිදි නිර්ණය කිරීමට සහ කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදීම වැනි ප‍්‍රමුඛ කාරණා පෙරදැරිවයි. එවැනි විධායක සභාවකට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට තීරණය කිරීමේ බලයක් කිසිසේත් නැතැයි අධි නීතිඥ ගෝමින් දයාසිරි මහතා ප‍්‍රකාශ කළා.

ජාතික විධායක සභාව දේශපාලන සංවිධානයක්. එයට නීතිමය කටයුතු කිරීමේ හැකියාවක් හෝ අයිතියක් නැත. යමෙකු අත්අඩංගුවට ගන්නවා නම් එය සිදු කළ යුත්තේ එයට තිබෙන බලතල ඇති පොලීසිය හෝ ආරක්ෂක අංශයක් මගින්. එය තීරණය කළ යුත්තේ ඇති ප‍්‍රමාණවත් සාක්ෂි මතයි. එම නිසා දේශපාලන තීරණයක් ගැනීමෙන් සිදුවන්නේ යම් අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මහතා යම්කිසි හේතුවක් නිසා අත්අඩංගුවට ගැනීමට සිදුවූවත් ඒ සිදුවීම සම්පූර්ණයෙන් වැරදි මාවතකට යොමු වී එයට දේශපාලන මුහුණුවරක්දීමයි. මට නම් මෙය පෙනෙන්නේ දේශපාලන අරමුණු ඇතිව ගෙන යන කි‍්‍රයා කලාපයක් වන බවත් මෙමගින් ජාතික සභාව තමන්ගේ වගකීම පැහැර හැර ඇති අතරම ඔවුන්ව අඩු තක්සේරු කිරීමට සිදුවීම නියත වශයෙන්ම ජනතාව විසින් කි‍්‍රයාත්මක වන බව මගේ විශ්වාසයයි.

අද පෙරවරුවේ කොළඹදී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා කියාසිටියේ මෙම තීන්දුව කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

ජාතික විධායක සභාව කුමන නීතියක් මතද පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ. එසේම අත්අඩංගුවට ගැනීමේ බලය තිබෙන්නේ එක්කෝ පොලීසිය, එහෙම නැත්නම් අධිකරණ නියෝගයක් මත. එම නිසා ඉතා පැහැදිළියි මෙය ජාතික විධායක සභාව නෙවෙයි මේක දඩයම් කිරීමේ සභාව. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්න හදනවා. වසන්ත කරන්නාගොඩලා දඩයම් කරන්න හදනවා. හැබැයි කොටි සැකකරුවන් නිදහස් වෙනවා.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතාද විධායක සභාවේ තීන්දුව මෙලෙස ප‍්‍රශ්න කිරීමට ලක් කළා.

මම දන්න තරමින් නම් මේරටේ එවන් තීරණ ගැනීමට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව හැකියාව තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට සහ නීතිපතිවරයාට. නීතිපතිවරයාට ඉහළින්, ස්වාධීන අධිකරණයට ඉහළින් කිසියම් හෝ ආයතනයක් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පිහිටුවලා නැහැ. එම නිසා ප‍්‍රථම කොටම මේ ජාතික විධායක සභාව කියලා කියන්නේ නීත්‍යානුකූලව අපි දන්නෙත් නැහැ. කැන්ගරු උසාවි සංකල්පයක්ද කියලා වේලාවකට හිතෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ  මේ සම්බන්ධයෙන් දරණ මතය අප විමසා සිටියා. ඊට පිළිතුරු ලබාදුන්නේ ජාතික විධායක සභාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතායි.

ජාතික විධායක සභාවට කිසිදු නෛතික පදනමක් නැහැ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා නෙවෙයි සාමාන්‍ය පුද්ගලයෙක්වත් අත්අඩංගුවට ගැනීම පිළිබඳ නියෝග නිකුත් කිරීමට. එසේම ජාතික විධායක සභාව තුළ ඊයේ, මා සහභාගි වූ අවස්ථාවේ සිට කිසිදු සාකච්ඡුාවක් ඒ සම්බන්ධයෙන් සිදු වූයේ නැහැ. ඊයේ දිනයේ මා මදක් පමාවී ජාතික විධායක සභාවට ගියහෙයින් ඊට පෙර සාකච්ඡාවූවාද දන්නේ නැහැ. එක් එක් අයගේ ඔළුවේ පැනනගින මනස්ගාත මාධ්‍ය හරහා ප‍්‍රකාශයට පත් කිරීම කිසිසේත්ම අපි වගකීමක් භාර ගන්නේ නැහැ. එම නිසා මෙවැනි තීරණයක් ගත්තා නම් ජාතික විධායක සභාවට නොමැති බලයක් පවරාගෙන තිබෙන බවයි එයින් පෙන්නුම් කරන්නේ.

ජාතික විධායක සභාව විසින් මෙවැනි තීන්දු තීරණ අරගෙන කටයුතු කළහොත් ඔබතුමාලා ගන්නේ මොන වගේ පියවරක්ද ඉදිරියේදී ගන්නේ?

නිවාර්යයෙන්ම කිසිදු ආකාරයකින් එවැනි තීරණයක් ගන්න කිසිසේත්ම ඉඩ ලබාදෙන්නේ නැහැ.

කෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබද ගනු ලබන තීන්දු සම්බන්ධයෙන් නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා දැක්වුයේ මෙවැනි අදහසක්.

ජාතික විධායක සභාවට කරන්න පුළුවන් වෙන්නේ එතැන සිටින අගමැති සහ ජනාධිපතිට උපදෙසක් හැටියට පමණයිනේ. එතකොට විධායක බලය එන්නේ ඒගොල්ලෝ හරහා. මෙවැනි වරදක් කර තිබෙන බව පැහැදිළි නම් පේනවා නම් අත්අඩංගුවට ගන්න එක ඒගොල්ලන්ගේ කාර්ය භාරය අගමැති සහ ජනාධිපති සතු වෙනවා. ජාතික විධායක සභාවට තීන්දුවක් ගන්න පුළුවන් වෙන්නේ මෙහෙම අපරාධයක් සිදුවෙලා තිබෙනවා, මෙහෙම කරුණු තියෙනවා ඒ ගැන කටයුතු කළ යුතුයි කියන එක පමණයි. එය නෛතික මට්ටමින් කටයුතු කිරීම භාර වෙන්නේ ජනාධිපති, අගමැති, අධිකරණ ඇමැති සහ අනෙකුත් ඇමැතිවරු හරහා ගිහින් එම කටයුතු කරන්න  ඕනි.

ඊයේ පැවති විධායක සභාවට සහභාගි වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා කියාසිටියේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබද තීරණයක් ඊයේ දිනයේදී නොගත් බවයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගන්න  ඕනි කියන මතය නම් එතැන සිදු වුණේ නැහැ. එවැනි තීරණයකට ආවෙත් නැහැ. එවැනි තීරණයක් ගැනීමට ජාතික විධායක සභාවට අයිතියකුත් නැහැ. හිටපු ආරක්ෂක ලේකම්වරයා පදනම් කර ගනිමින් පමණක් එහිදී සාකච්ඡුා සිදු වුණෙත් නැහැ.

නමුත් අද ජාතික පුවත්පත් වාර්තා කරලා තියෙනවා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූ බවට මේ ගැන එහිදී සාකච්ඡා වුණා කියලා. 

ඒ ගැන මම පුදුම වෙනවා. ඒවගේ සාකච්ඡාවක් සිදු වුණේ නැහැ. එවැනි තීරණයකට අපි ආවේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම්වරයාත් එකයි, කවුරුත් එකයි. කවුරු වැරදි කරත් ඒ වැරදි කරපු මිනිසුන්නට එරෙහිව අපේ රටේ පවතින නීතිය යටතේ කටයුතු කළ යුතුයි. නමුත් ඔහු අත්අඩංගුවට ගත යුතුයි කියන මතයේ කවුරුත් ඉන්නේ නැහැ.

ජාතික විධායක සභාව මෙම තීරණය ගනු ලැබු බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපුටා දක්වමින්. එම නිසා මේ පිළිබද තවදුරටත් විමසීමට අප රාජිත සේනාරත්න අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණා. මාධ්‍ය විසින් වාර්තා කර ඇති මෙම තොරතුර සම්බන්ධයෙන් සිය මතය කුමක් දැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් විමසා සිටියා. ඔහු කියා සිටියේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් වන සියලූ තොරතුරු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ද ලබාදුන් බවයි. එම නිසා එහි කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුවී නොමැති බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ. දේශපාලන සිද්ධීන් මත පලිගැනීමේ අරමුණින් තමන් අත්අඩංගුවට ගැනීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවද ඒ මහතා කියා සිටියා.

 

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!