ජාතික ආරක්ෂාව පාවා දුන් සිරිසේනගේ “බංකර්” හෙළිදරව්වට කථිකාචාර්ය මහින්ද පතිරණගෙන් පිළිතුරක්

ජාතික ආරක්ෂාව පාවා දුන් සිරිසේනගේ “බංකර්” හෙළිදරව්වට කථිකාචාර්ය මහින්ද පතිරණගෙන් පිළිතුරක්

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනපතිඳුන් විසින් ඉදිකර තිබු “මහා විශාල මන්දිරයක්” යයි කියමින් සිරිසේන ජනාධිපතිවරයා විසින් හෙලිකල ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් බංකරය සම්බන්ධයෙන් කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත:
“ජාතික ආරක්‍ෂාව සම්බන්ධ අතිශය සංවේදී තොරතුරු මහජන අවකාශයන් වෙත මුදා හැරීම මගින් වත්මන් ආණ්ඩුව අපේක්‍ෂා කරන්නේ ප්‍රචාරය නම් අප ඔවුන්ගේ තකතීරුකම් ගැන අනුකම්පා කළ යුතු ය.
පසුගිය දා කොටුව ජනාධිපති මන්දිරයේ ඇතැයි කියන භූගත ආරක්‍ෂක කුටිය පිළිබඳ ඡායාරූප මාධ්‍යයට හෙළිදරව් කිරීම කිසිදු අයුරකින් ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් කළ කටයුත්තක් නොවේ. එවැනි දෙය ජනතාවට අවශ්‍ය තොරතුරු නොවේ. ඉන් සැනසීමට පත් වන්නේ නම් ඒ මේ රටට වෛර කරන ඉතා සුළු පිරිසක් පමණි. අප පසුගිය දා ලියන ලද “එජාප පාක්‍ෂිකයින්ට පණිවුඩයක්” යන පෝස්ටුව ලීවේ මොවුන් ගැන ය. එහෙත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව ද මෙවන් අපතයින්ගේ තත්වයට ඌනනය වීම අප සැමගේ අවාසනාවකි.
රටක ජනාධිපතිවරයා යනු හුදු පුද්ගලයෙක් නොවේ. එය ආයතනයකි. ආයතනයක් ක්‍රියාත්මක විය යුත්තේ කිසියම් නීති රීති පද්ධතියකට යටත් ව ය. වසරකට රුපියල් කෝටී ගණන් ජනතා මුදල් වැය කරන්නේ මේ නිසා ය.ඒ අනුව මහජන සුභ සිද්ධිය තකා මිස ජනපතිවරයාට වුව ජනාධිපති නැමැති ආයතනය සම්බන්ධ තීරණ ගත නොහැකි ය. මන්ද ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව යනු රටේ ආරක්‍ෂාව ය. සිරිසේන මහතාට වුව එය හිතුමතේ අනතුරට හෙළිය නොහැකි ය. එසේ නම් ඕනෑම ජනාධිපතිවරයෙකුගේ ආරක්‍ෂාවට ඉදිකළ අදාළ භූගත කුටිය හෙළි කිරීම හරහා කර ඇත්තේ එය ඉදිකළ ආරක්‍ෂක අරමුණු සපුරා අවලංගු කිරීමකි. මේ අනුව, මෙම ක්‍රියාව ජාතික ආරක්‍ෂාව මතු නොව ඊට වැය කළ මුදල ද සපුරා අපතේ යැවීමකි.
අපි අවධාරණය කරමු. සිරිසේන ජනාධිපතිවරයාට හා මේ ආණ්ඩුවට මහින්දට පහර නොදී තම පැවැත්ම සාදාගත නොහැකි නම් කළ යුත්තේ මෙවැනි දෙකයි පනහේ ප්‍රචාරක උපක්‍රමවල සරණ පැතීම නොව, තමන් වේදිකාවල බෙරිහන් දුන් යහපාලනය ක්‍රියාවට නැංවීම ය.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!