ජාත්‍යන්තර වෙළෙඳ‍පොළ කෙරෙහි මේ අය වැය අවධානය යොමු කරලා නැහැ

ජාත්‍යන්තර වෙළෙඳ‍පොළ කෙරෙහි මේ අය වැය අවධානය යොමු කරලා නැහැ

Spread the love
  •  
  •  
  •  
  •  

ආණ්ඩුව විසින් පසුගියදා ඉදිරිපත් කළ අය වැය ‍ලේඛනය මා පුදුමයට පත් කළ අය වැය ‍ලේඛනයකි. මම බලා‍පොරොත්තු වූවාට වඩා එය වෙනස් ආකාරයක් ගත් අය වැයක් විය. එහෙත් හදිසියේ අවධානය යොමු කළ යුතු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම අය වැය ‍ලේඛනය ඉදිරිපත් කර තිබේ. එහෙත් දීර්ඝ කාලීනව රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳවත්, ව්‍යාපාරික පන්තියට හා විදේශීය ආයෝජක පන්තියට ලබාදිය යුතු මගපෙන්වීම මෙමගින් කර නැත.
හදිසියේ අවධානය යොමු කළ යුතු කාරණා කෙරෙහි අවධානය යොමු කර ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. ජීවන වියදම යන ගැටලුවට විසඳුම් අය වැය ‍ලේඛනය මගින් ලබාදී තිබේ. ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුව ක්‍රියා කළේ බදු අඩු කරමිනි. බදු අඩුකිරීම අප බලා‍පොරොත්තු වූ දෙයකි. රටේ ඇති බදු ක්‍රමය නිවැරදි ආකාරයට සංශෝධනය වී හෝ ප්‍රතිසංස්කරණය වී නොමැත. මේ හේතුවෙන් සහ රජයේ තිබූ වියදම් පැත්තේ තිබූ අඩුපාඩුව නිසා බදු ඉහළ ගොස් තිබුණේය. බදු ඉවත් කිරීම මගින් මෙන්ම මිල ගණන් පාලනය කිරීම මගින් සහ අවම මිල ගණන් තීරණය කිරීම මගින් ජනතාවට ලබාගත හැකි ආර්ථික වාසි ඉහළ තැනක තිබේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහතුනක් සඳහා පනවා තිබූ බදු අඩු කිරීමත් සමග රාජ්‍ය ආදායම පහළ යා හැකිය. රජයේ ආදායම් පහළ වැටී ඇති බව අය වැය ‍ලේඛනය මගින් පෙන්වා දී තිබේ. එය බලා‍පොරොත්තුවිය හැකි දෙයකි. ඒ අතරම රාජ්‍ය වියදම් අඩු කර තිබේ. ඒ වියදම අඩු කර තිබෙන්නේ ආයෝජන අඩු කිරීම මගිනි. ‍පොදු ආයෝජන අඩුවී ඇති නමුත් පුනරාවර්තන වියදම් වැඩිවී තිබේ. ජනතාවට ලබාදෙන සහනාධාර ඉහළ ගොස් තිබේ. පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අය වැය ‍ලේඛනයේ සඳහන්ව තිබුණේද සුබසාධන කටයුතු වැඩියෙන් කිරීමයි. මෙම අය වැය ‍ලේඛනය මගින් එම සුබසාධන කටයුතු තවදුරටත් ඉහළට ගෙන ගොස් ඇත.
මෙවර අය වැය ‍ලේඛනය මගින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කර තිබේ. වැටුප් ඉහළ දැමීම හා සහනාධාර ලබාදීම ආර්ථිකයේ ක්ෂණිකව අවධානය යොමු කළ යුතු කරුණක් වූවාට එය වැඩිවිය යුත්තේ අනෙකුත් දේ සමගය. එනම් වැටුප් වැඩි කරන විට රාජ්‍ය අංශයේ ඵලදායීතාව ඉහළ යා යුතුය. ඵලදායීතාව වැඩිවන්නේ ප්‍රතිසංස්කරණ හරහාය. මෙම ප්‍රතිසංස්කරණ කිරීමට යම් කාලයක් ගතවිය හැකිය. රාජ්‍ය සේවකයින්ට ලැබෙන වැටුප වැඩිකිරීම රාජ්‍ය සේවකයින් බලා‍පොරොත්තුවූ කරුණකි. මෙය සැබවින්ම දේශපාලන වශයෙන් සංවේදී දෙයකි.
රාජ්‍ය සේවක වැටුප් වැඩිවන්නේ සියයට හතළිස් හතකිනි. මෙය ආර්ථිකයට දරාගත හැකිදැයි ඇතැම්හු ප්‍රශ්න දරති. එහෙත් නාස්තිය, දූෂණයට වැයවූ මුදල් ඉතිරි කරගැනීමේ අවංක උත්සාහයන් මෙවර අය වැය ‍ලේඛනයේ දක්නට ලැබේ.
ඒ අනුව බලන විට මේ තත්ත්වය කළමනාකරණය කරගත හැකිය. අනෙක් කාරණය වන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් පහළයාමේ ප්‍රවණතාවය අනුව කිසියම් සහනයක් ලබාගත හැකිය. ‍පොදු ආයෝජන එනම් යටිතල පහසුකම් සඳහා කරන ආයෝජන අඩු කර තිබේ. මෙම අඩුවීම පුද්ගලික අංශයේ ආයෝජනවලින් කැපී යන්නේ නම් එය ගැටලුවක් වන්නේ නැත. කෙසේ වෙතත් මාගේ විශ්වාසය වන්නේ රාජ්‍ය ආයෝජන සියයට පහළොවක් වැනි මට්ටමක පැවැතිය යුතු බව.
කෘෂි නිෂ්පාදන සඳහා අය වැය මගින් නිශ්චිත මිලක් නියම කර තිබේ. මෙය ඉතිහාසය පුරාම කළ දෙයකි. අවම මිල ගණන් නිතරම නියම කළේය. ඉන් කෙටි කාලීන සහන ලැබිය හැකිය. එහෙත් එයින් දීර්ඝ කාලීනව ආර්ථික වාසි අත්වන්නේ නැත. මේ ආකාරයට නිෂ්පාදන සඳහා අවම මිල ගණන් නියම කිරීමෙන් එම නිෂ්පාදන කරන අයට හා ඒ හා සම්බන්ධ රැකියා කරන අයට යම් යම් සහන ලැබිය හැකිය. එහෙත් ජාත්‍යන්තර ආර්ථිකය සමග යන විට මේ ආකරයට අවම මිලක් නියම කිරීම තුළින් ආර්ථික වශයෙන් වාසියක් අත්වන්නේ නැත. ජාත්‍යන්තර ආර්ථිකය සමග ඒකාබද්ධවීමේ ගමනට මෙය බාධාවක් වෙයි.
මෙවර අය වැය මගින් අධ්‍යාපනය සදහා සියයට හයක් වැය කිරීමේ යෝජනාව කාගේත් අවධානයට ලක්වූ යෝජනාවකි. සියයට හයක් අධ්‍යාපනයට වෙන් කළ විට තවත් සියයට අනූ හතරක් ඉතිරිව ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. එම සියයට අනූහතර අනෙක් කටයුතු සඳහා ඉතිරිව ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. සැබෑ දේ වන්නේ අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කළ යුතු බවය. දැනට අධ්‍යාපනයට වෙන් කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක් පමණි. සියයට හයක් දක්වා වැඩි වන්නේ මෙයයි. රජයේ බදු ආදායම බැලූ විට එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දොළහකි. ඒ අනුව බලන විට ආණ්ඩුවේ බදු ආදායමෙන් භාගයකට වඩා අධ්‍යාපනයට වැය කළ යුතුය. එය කොතරම් ප්‍රායෝගිකදැයි බැලිය යුතුය. අධ්‍යාපනයට වියදම් වැඩි කිරීම අවශ්‍යය. ඒ වියදම් වැඩි කළ යුත්තේ ගොඩනැගිලි සෑදීමට නොවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගුණාත්මකභාවය ඉහළ දැමීමට යෙදවිය යුතුය.
මෙවර අය වැය ‍ලේඛනයෙන් මන්දිර බද්ද, සුපිරි වාසි බද්ද වැනි බදු පනවා තිබේ. මෙහි යම් යම් හොඳ ලක්ෂණ තිබේ. විශාල වශයෙන් ආදායම් ලබන හා විශාල වශයෙන් පරිභෝජනට වැය කරන විට ඒ සඳහා බදු අය කරයි. විශාල වශයෙන් ආදායම් ලබන විට බදු අයකිරීමේ පදනම කුමක්දැයි තවම පැහැදිලි නැත. රටේ නිෂ්පාදක හා ආයෝජන පන්තිය සමග ගනුදෙනු කිරීමේදී ආර්ථික වර්ධනයට බාධා නොවන ආකාරයට ගනුදෙනු කරන්නේනම් එය වඩාත් සුදුසු යැයි මාගේ විශ්වාසයයි.
කැසිනෝ, තැබෑරුම් ආදිය සඳහා වෙනම බදු වෙන් කර තිබේ. මෙවැනි කටයුතු සඳහා සමාජයේ ඇති විරෝධය පදනම් කරගනිමින් මේ බදු පනවා  ඇති බව පෙනේ. දූෂණ වංචා මගින් මුදල් උපයාගෙන ඇති අයට විරුද්ධව සමාජයේ ඇත්තේ  විරෝධාත්මක මතයකි. එවැනි විරෝධයන් හමුවේ අය වැය ගැටලුවට බදු හරහා විසඳුම් ලබාගැනීමට උත්සාහ ගෙන ඇති බව පෙනේ.
අය වැය හදිසියේ අවධානය යොමු කළ යුතු කරුණු ගැන අවධානය යොමු කළත් දීර්ඝ කාලීනව අවධානය යොමු කළ යුතු කරුණු කෙරෙහි අවධානය යොමු කර නැත. මේ නිසා දීර්ඝකාලීන ආර්ථික වර්ධනය කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කළ යුතුය.
පළමුවෙන්ම අවධානය යොමු කළ යුතු වන්නේ ආයෝජක විශ්වාසය දිනාගැනීම කෙරෙහිය. අයෝජක විශ්වාසය යුද්ධය අවසන් වීමෙන් පසුව යළිත් දිනාගත හැකියැයි බොහෝ දෙනා විශ්වාස කළහ. එහෙත් යුද්ධය අවසන්වී වසර පහක් ගතවී ඇති නමුත් ආයෝජකයින්ගේ විශ්වාසය නිවැරදිව දිනාගත නොහැකි විය.
මෙම විශ්වාසය දිනාගැනීමට කළ යුතු කාරණා කිහිපයකි. එකක් වන්නේ මානව සම්පත්, තාක්ෂණයට රජයේ මැදිහත්වීම වැඩි කිරීමය. ඒ සඳහා රාජ්‍ය ආයෝජන ඉහළ දැමිය යුතුය. ආයෝජකයින්ගේ විශ්වාසය බිඳවැටීමට හේතුවන ආකාරයේ රාජ්‍ය අංශයේ මැදිහත්වීම් නොකළ යුතුය. එමෙන්ම රාජ්‍ය අංශයේ සේවකයින්ගේ ඵලදායීතාව ගැන අවධානය යොමු නොකර ඔවුන්ගේ වැටුප් දෙගුණ කර තිබේ. ඔවුන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීමට ඒ හා සමානව අවධානය යොමු කර නැත. මේ හා සමගාමීව යහපාලනය, නීතිය හා සාමය ස්ථාපිත කිරීම, වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
ජාත්‍යන්තර වෙළෙඳ‍පොළ කෙරෙහි මේ අය වැය මගින් අවධානයක් යොමු කර නැත. මේ කරුණ කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. ඒ ගැනත් ආණ්ඩුව ඉදිරියේදී දැඩි අවධානය යොමුකිරීම කාලීන ආර්ථික අවශ්‍යතාවකි.
නව රජයක් පත්වී සති කිහිපයකින් ඉදිරිපත් කරන අය වැය ‍ලේඛනයක් මගින් මෙම කරුණු බලා‍පොරාත්තු විය නොහැකි බව අයෙක්ට කිව හැකිය. එහෙත් ආණ්ඩුව විසින් තවත් මාස කිහිපයකින් ඉදිරිපත් කරන අය වැය මගින් මේ කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. දීර්ඝ කාලීන ආර්ථික දිශානතිය කුමක්ද යන්න එමගින් පෙන්වා දිය යුතුය. ආණ්ඩුවේ ආර්ථික ගමන් මග පිළිබඳ පැහැදිලි ආර්ථික විග්‍රහයක් කළ හැක්කේ එවිටය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිරිමල් අබේරත්න

සාකච්ඡා කළේ – සංජය නල්ලපෙරුම

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!