ජනපති – ගෝටා ඝාතන කුමන්ත්‍රණයේ කොටියා ස්නයිපර් අවියත් සමග අතුරුදහන්

ජනපති – ගෝටා ඝාතන කුමන්ත්‍රණයේ කොටියා ස්නයිපර් අවියත් සමග අතුරුදහන්

Spread the love
  • 35
  •  
  •  
  •  
    35
    Shares

ආරක්‍ෂක අංශ මගින් පුනරුත්ථාපනය කර මුදා හැරීමෙන් පසු වසර කිහිපයක සිට ති‍්‍රකුණාමලය මුතූර් ප‍්‍රදේශයේ ජීවත් වූ එල්ටීටීඊයේ සිටි අති දක්‍ෂ ඉලක්ක වෙඩික්කරුවකු (ස්නයිපර්* වන පුන්‍යමුර්ති කිරුබාහරන් හෙවත් ඉලන්කියන් මාස්ටර් නමැත්තා හිටිහැටියේ අතුරුදන්ව ඇතැයි ආරක්‍ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්‌ දියත්වූ බවට තොරතුරු ලැබී තිබියදී ඉලන්කියන් මාස්‌ටර් අතුරුදන් වීම මේ වන විට විශාල අභිරහසක්‌ බවට පත්ව ඇත.
අවසන් සටන අතරතුර ආරක්‍ෂක හමුදාවන්ට භාරවූ මොහු එල්ටීටීඊ සංවිධානයේ සිටි ස්‌නයිපර් ගිනි අවි පිළිබඳ විශේෂඥයකු බවද පසුව අනාවරණය වී තිබිණි. ආරක්‍ෂක හමුදාවන්ට භාරවීමෙන් පසු නාවික හමුදාව යටතේ ඉලන්කියන් මාස්‌ටර් පුනරුත්ථාපනය ලබා ඇත.
මීට මාස තුනකට පමණ පෙර ක්‌ලේමෝ බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක්‌ රැගෙන මුලතිව් ඔඩ්ඩුසුඩාන් මාර්ගය ඔස්‌සේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි හිටපු කොටි ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ඔඩ්ඩුසුඩාන් පොලිසියේ අත්අඩංගුවට පත්වීමත් සමග ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීම පසුගිය සම්මුති රජය මගින් පොලිස්‌ ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසයට භාර දෙනු ලැබිණි.
එම විමර්ශනයේදී ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්‌ ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වාගේ උපදෙස්‌ මත එහි නිලධාරීන් කණ්‌ඩායමක්‌ එල්ටීටීඊයේ ස්‌නයිපර් ගිනි අවියක්‌ පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව ඉලන්කියන් මාස්‌ටර් සොයා මුතූර් ප්‍රදේශයට පැමිණ ඇතැයි ද ආරක්‍ෂක බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත.
පොලිසිය සෙවූ එම ස්‌නයිපර් අවිය පිළිබඳව ද කිසිදු තොරතුරක්‌ නොමැති අතර මොහුගේ අතුරුදන් වීම ජනපති ඝාතන කුමන්ත්‍රණයේ තවත් එක්‌ කොටසක්‌ ද යන්න පිළිබඳ මේ වන විට බරපතළ සැකයක්‌ මතුවී තිබේ.
යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය පසුගිය වසර එකහාමාරක පමණ කාලයක සිට සිදු කළ සූක්‍ෂම බුද්ධි මෙහෙයුමකට අනුව විදේශගත කොටි ඩයස්‌පෝරාවේ ද සහාය ඇතිව එල්ටීටීඊයේ නැවත හිස එසවීමක්‌ පිළිබඳ තොරතුරු හෙළි වී තිබිණි.
ඔඩ්ඩුසුඩාන් පොලිසියට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමක්‌ සමඟ ත්‍රිරෝද රථය හසුවූයේ එම මෙහෙයුම ක්‍රියාත්මක තිබියදීය.
කොටින්ගේ ත්‍රිරෝද රථය පොලිසියට හසුවන අවස්‌ථාව වන විටත් මුලතිව් පූමාන්කුලම් ප්‍රදේශයේ වළදමා තිබියදී කොටි ත්‍රස්‌තවාදීන් යළි ගොඩගත් ස්‌නයිපර් වර්ගයේ අධිබල ගිනි අවියක්‌ නැගෙනහිර ප්‍රදේශයට යෑවීමට ත්‍රස්‌තයන් කටයුතු කළ බවටද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණු අතර එම ස්‌නයිපර් අවිය ලැබුණේ ඉලන්කියන් මාස්‌ටර් අතට බව ද බුද්ධි අංශවලට වාර්තා වී තිබිණි.
සම්මුති රජයේ තීරණයකට අනුව ඔඩ්ඩුසුඩාන් පොලිසියට හසුවූ ත්‍රිරෝද රථය සහ කොටි ත්‍රස්‌තයන් පිළිබඳ විමර්ශන කටයුතු පොලිස්‌ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයට භාර දී ඇත්තේ බුද්ධි අංශ ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබියදී ය.
ඉලන්කියන් මාස්‌ටර් පිළිබඳව මෙන්ම එම ස්‌නයිපර් ගිනි අවිය පිළිබඳව ද මේ වන විට කිසිදු තොරතුරක්‌ දැන ගැනීමට නැති බව උසස්‌ ආරක්‍ෂක අංශ නිලධාරියෙක්‌ පැවසීය.
මෙම බිහිසුණු ඉලක්‌ක වෙඩික්‌කරුවාගේ අතුරුදන් වීම මේ වන විට බරපතළ ගැටලුවක්‌ බවට පත්ව තිබෙන අතර ඔහු මුලතිව් පූමාන්කුලම් ප්‍රදේශයෙන් ත්‍රස්‌තවාදීන් ගොඩගනු ලැබූ අධිබල ස්‌නයිපර් ගිනි අවිය සමඟ රට තුළ කොතැනක හෝ ස්‌ථානගතව කිසියම් ඝාතනයක්‌ සඳහා සූදානම්ව සිටින්නේද නැතහොත් විදේශයකට පලා ගියේද යන්න ආරක්‍ෂක අංශවලට අභිරහසක්‌ වී ඇත.

සමන් ගමගේ

(Visited 86 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!