“ආයේ ගුටිකන්න දෙන්නේ නෑ… බය නැතිව යාපනේට එන්න..” – පොලිසිය සිසුන්ට කියයි

“ආයේ ගුටිකන්න දෙන්නේ නෑ… බය නැතිව යාපනේට එන්න..” – පොලිසිය සිසුන්ට කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගේ ආරක්‌ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පොලිසිය විසින් භාරගන්නා බව පවසන යාපනය දිස්‌ත්‍රික්‌කය භාර නියෝජ්‍ය පොලිස්‌පති සංජීව ධර්මරත්න කිසිදු බියකින් තොරව අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටී.
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ කලා පීඨයේ ශිෂ්‍යයන් දෙපිරිසක්‌ අතර ඉකුත් 16 වැනිදා ඇතිවූ ගැටුමකින් ශිෂ්‍යයෝ 25 දෙනෙක්‌ තුවාල ලැබූහ.

මෙම ගැටුමින් පසු විශ්වවිද්‍යාලය දින නියමයක්‌ නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය විසින් කටයුතු කරන ලදී. නවක සිසුන් පිළිගැනීම සඳහ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන් සූදානම් කළ උත්සවයකට උඩරට නර්තන අංගයක්‌ එක්‌කිරීම සම්බන්ධයෙන් මෙම ගැටුම හටගෙන තිබිණි.
යාපනය විශ්වවිද්‍යාලයේ ඇතිවී තිබූ කලබලකාරී තත්ත්වය ඊයේ වන විට මුළුමනින්ම පාලනය කර තිබූ අතර ප්‍රදේශයේ ආරක්‌ෂාව සඳහා විශේෂ පොලිස්‌ බලඇණියක්‌ යෙදවීමට යාපනය නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කටයුතු කළේය.
යාපනය විශ්වවිද්‍යාලයට අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන ශිෂ්‍යයන්ට මෙන්ම නේවාසිකාගාරවල සිටින ශිෂ්‍යයන්ට අවශ්‍ය සියලු ආරක්‌ෂාව පොලිසිය විසින් ලබාදීමට මේ වන විට සැලසුම් කර තිබේ.
පොලිස්‌ නිලධාරීන් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු නොවී ඉන් පිටත සිට මෙම ආරක්‌ෂාව ලබාදෙන අතර ඕනෑම හදිසි අවස්‌ථාවකදී වහාම ක්‍රියාත්මක වීමටද සූදානමින් සිටින බව නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පවසයි.
යාපනය විශ්වවිද්‍යාලයේ කටයුතු අඩපණ කර ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට බාධා කිරීමට කිසියම් පිරිසක්‌ උත්සාහ කරන බව පවසන නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ශිෂ්‍යයන් නැවත අධ්‍යාපන කටයුතු සඳහා නොපැමිණිය හොත් එම කඩාකප්පල්කාරී පුද්ගලයන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ට වන බවද කියා සිටියේය.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!