“කෝප්‍රල්ගේ අතේ තිබ්බේ වතුර බෝතලයක් නෙමෙයි…” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

“කෝප්‍රල්ගේ අතේ තිබ්බේ වතුර බෝතලයක් නෙමෙයි…” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Spread the love
  •  
  •  
  •  
  •  

අඟුණුකොළපැලැස්සේදී ජනපතිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති උත්සවයට ඇතුළු වූ කෝප්‍රල්වරයා අත තිබුණේ වතුර බෝතලයක් යැයි පැවසුණද එය ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී අදාළ සිද්ධිය ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එය වතුර බෝතලයක් නොව ගිනි අවියක් යැයි පැහැදිලිව හඳුනාගෙන ඇති බවයි.
අදාළ කෝප්‍රල්වරයා අත තිබුණේ ගිනි අවියක් නොව වතුර බෝතලයක් යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශයක් ගැන එහිදී මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අවධානයට යොමු කළ විට ඒ මහතා මේ බව කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් මේ දක්වා ප්‍රශ්න කර නැති බවද ඒ මහතා පැවසීය.
මෙම සිද්ධියේදී අදාළ කෝප්‍රල්වරයාට ගිනි අවියක් සහිතව උත්සව භූමියට ඇතුළුවීමට ඉඩ දී ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු බවත්, එය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දැක, ජනපති ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට දැනුම්දී ඇති බවත්, ඒ මහතා කීවේය.
එසේම ජනපති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් අනතුරුව මොහු නිදහස් කර ඇති බවත්, එය වැරැද්දක් බවත්, පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ කෝප්‍රල්වරයාට උත්සව භූමියට ඇතුළුවීමට ඉඩදීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයාට ස්ථාන මාරුවක් ලබාදී ඇතැයි ද පැවසීය.
මෙම සිද්ධියේදී එකී කෝප්‍රල්වරයා සතුව ගිනි අවි 2ක් තිබුණාදැයි යන සැකය මතද පරීක්ෂණ සිදුවන බවත්, ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී ඇත්තේ මෙම නඩු කටයුත්තට බාධාවක් විය හැකි නිසා බවත්, මෙය සුළුවෙන් නොතකන බවත්, ඒ මහතා කීවේය.
මේ අතර මේ වසරේ ගත වූ කාලය තුළ හෙරොයින් කිලෝ 20යි ග්‍රෑම් 71යි මිලි ග්‍රෑම් 508ක් සමග සැකකරුවන් 9185ක් අත්අඩංගුවට ගෙන ඇති බවද හෙතෙම පැවසීය.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 2000 වැඩි බවද ඔහු කීවේය.
තවද මේ වසරේ ගත වූ කාලය තුළ ගංජා කිලෝ 3693ක් සමග පුද්ගලයින් 18,767ක් අත්අඩංගුවට ගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.
වෙලේසුදා සමග සබඳතා පැවැත් වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ගැන පරීක්ෂණ සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!