කොළඹ කුඩ්ඩන්ගේ දෙවියා වූ කුඩු ලාලිතගේ පැටිකිරිය

Spread the love
  •  
  •  
  •  
  •  

වැලිකඩ බන්ධනාගාරයේ අඳුරු සිරමැදිරියක රඳවා සිටින එක්‌තරා රැඳවියෙකි. ඔහු නමින් විදාන මුදියන්සේලාගේ ලාලිත කෞෂල්‍යය. කොළඹ හෙරොයින් ලෝකය පුරා ඔහු ප්‍රසිද්ධව සිටියේ කුඩු ලාලිත යන නමින්ය.

ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් අතර කුඩු ලාලිතට හිමිවී තිබුණේ සුවිශේෂී ස්‌ථානයකි. ඒ ඔහු තොග පිටින් හෙරොයින් ආනයනය කර විකිණීමේ ජාවාරම ජයටම කරගෙන ගිය නිසාය.


අඳුරු සිරකුටියේ සිටි කුඩු ලාලිත තම ජංගම දුරකථනයෙන් කිසියම් පුද්ගලයකු සමග බර කතාවකය.

කුඩු ලාලිතට වැලිකඩ බන්ධනාගාරය තුළ විශේෂ වරප්‍රසාද රැසක්‌ හිමිව තිබුණේය. කිසිදු බාධාවකින් තොරව ජංගම දුරකථන පාවිච්චි කිරීම ඔහු ලබා තිබූ එක්‌ වරප්‍රසාදයකි.

ඔහුට ජංගම දුරකථන භාවිතයට අවශ්‍ය සිම් කාඩ්පත්, රීලෝඩ් ලැබුණේ මේ බන්ධනාගාරයේ දූෂීත නිලධාරීන් හරහාය.

ලාලිත සෑහෙන වේලාවක සිට දුරකථන සංවාදයේය. ඔහුගේ මුහුණේ තිබුණේ බැරෑරුම් පෙනුමකි.

“මේ වැඩේ මට කොහොම හරි කරලා දෙන්න ඕනෙ. ආණ්‌ඩුවෙ බෝඩිමේ බිත්ති හතරට කොටුවෙලා ඉඳලා මට දැන් ඇති වෙලා. උඹ ඉල්ලන ගාණක්‌ ගෙවන්නම්, පුළුවන් ඉක්‌මනට මාව එළියට ගනින්.”

කුඩු ලාලිත දුරකථනය අනෙක්‌ කෙළවරේ සිටි තම මිතුරා ඉදිරියේ ආයාචනා කරන්නට වුණේය.

“උඹේ වැඩේ මම කොහොම හරි කරනවා. හැබැයි මේකට රුපියල් ලක්‍ෂ 50 ක්‌ විතර වියදම් වෙනවා. දන්නවනේ මේ වගේ වැඩ ලේසියෙන් කරන්න අමාරුයි…”

ලාලිතගේ දුරකථන සංවාදයට එක්‌ව සිටි සගයා කීවේය. ලාලිත වැලිකඩ බන්ධනාගාරයට ගාල් කෙරෙන්නේ පසුගිය 2011 වසරේ ජුනි මස 11 වැනිදාය.

හෙරොයින් කිලෝ ග්‍රෑම් 8 ක්‌ සහ ග්‍රෑම් 200 ක්‌ ද සමග පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ලාලිත අත්අඩංගුවට ගත්තේ කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් සුවිසල් නිවසේ සිටියදීය.

රුපියල් කෝටි හයකට අධික වටිනාකමෙන් යුත් මේ හෙරොයින් තොගය ලාලිතට ලැබී තිබුණේ ඉන්දියාවේ සිටි හෙරොයින් ජාවාරම්කරුවකු මාර්ගයෙන්ය.

ලාලිත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කළේය. බන්ධනාගාර ගත කළද ලාලිත සිය ජාවාරම නතර කළේ නැත. ඔහු සිය ගෝලබාලයන් යොදවා හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගියේය. බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන්ගෙන් මේ සඳහා ලාලිතට ලැබුණේ නොමඳ සහයකි.

ප්‍රතිවිරුද්ධ ජාවාරම්කාරයන්ගෙන් ජීවිතයට එල්ල වී තිබූ තර්ජනවලින් ආරක්‍ෂා වීමට බන්ධනාගාරය සුවිශේෂී ස්‌ථානයක්‌ වුවද එහි කල්මැරීම ලාලිතට එතරම් රිස්‌සුවේ නැත. කෙසේ හෝ බන්ධනාගාරයෙන් පිටතට ඒමට ඔහු හැම විටම උත්සාහ කළේ ඒ නිසාය.

කුඩු ලාලිත බන්ධනාගාරයෙන් පිටතට ගැනීමේ භාරදූර කාර්ය භාරගෙන සිටියේ බොරැල්ලේ සුන්දරාය. කලක්‌ මහා පරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී සිටි සුන්දරා පසු කලෙක එය අතහැර දැමුවේය.

සමාජයේ ඉහළ ස්‌ථානවල සිටින වුන් ඇසුරු කිරීමට පටන් ගැනීම නිසා සුන්දරා හෙරොයින් ජාවාරමට පයින් ගැසුවේය. කොළඹ ප්‍රදේහයේ ප්‍රභූ දේශපාලනඥයන් කීප දෙනකුම ඔහු සමීපව ඇසුරු කළේය. ඇතැම් උසස්‌ පොලිස්‌ නිලධාරීන් රජයේ නිලධාරීන්, බලවතුන් සුන්දරාගේ මිතුරන් වූහ.

මේ ප්‍රබල පුද්ගලයන්ගේ මාර්ගයෙන් සුන්දරා කරගත් දේ බොහෝය. කොළඹ ඉදිකිරීම් සඳහා අමුද්‍රව්‍ය සැපයීමේ රජයේ කොන්ත්‍රාත් පවා ඔහු ලබාගෙන තිබුණේය. සුන්දරා මේ සියල්ල කරගන්නේ ප්‍රභූ මිතුරන්ගේ සම්බන්ධතා මාර්ගයෙන්ය.

නීතියේ රැහැනට කොටුවී සිටින අපරාධකාරයන් මුදා ගෙන ඔවුන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබා ගැනීම සුන්දරාගේ තවත් ආදායම් මාර්ගයක්‌ වුණේය. මේ සියලු දේ සුන්දරා කරගන්නේ තමන්ට හිතවත් දේශපාලනඥයන්, උසස්‌ පොලිස්‌ නිලධාරීන් සහ රජයේ නිලධාරීන් හරහාය. ඒ වෙනුවෙන් මේ ප්‍රභූන්ට නොමසුරුව වියදම් කිරීමටද සන්තෝෂම් ලබාදීමටද ඔහු අමතක කළේ නැත.

කුඩු ගාමිණී නමැති හෙරොයින් ජාවාරම්කරුවකුද වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියේය. ඔහුගේ බිරිඳද හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියාය. දියවැඩියා රෝගය උත්සන්න වීම නිසා කුඩු ගාමිණී බන්ධනාගාරයේදීම හදිසියේ මියගියේය.

කුඩු ගාමිණීගේ බිරිඳ බන්ධනාගාරයෙන් මුදා ගැනීමේ කාර්යද සුන්දරා භාරගෙන සිටියේය. ඒ සඳහා ඇයගෙන් රුපියල් ලක්‍ෂ 15 ක මුදලක්‌ ද සුන්දරා ලබා ගත්තේ ඉන් කොටසක්‌ හිතවත් නිලධාරීන්ට බෙදාදිය යුතු බව කියමින්ය. කුඩු ලාලිත බන්ධනාගාරයෙන් පිටකර ගැනීමේ මෙහෙයුම සඳහා සුන්දරා සම්බන්ධ වන්නේ ද මේ ආකාරයටමය. ඒ සඳහා අවශ්‍ය කළ රුපියල් ලක්‍ෂ 52 ක මුදල වහාම ලබාදීමට ලාලිත කටයුතු කළේය.

ලාලිතගේ නීත්‍යනුකූල බිරිඳ පදිංචිව සිටියේ කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ සුවිසල් නිවසකය. අදාළ කොන්ත්‍රාත්තු මුදලින් රුපියල් ලක්‍ෂ 25 ක මුදලක්‌ බෝමිරියේ පිහිටි නිවසේදී සුන්දරා වෙත ලබා දීමට ලාලිත කටයුතු කළේය.

“ඉතිරි සල්ලි ටික මම කොල්ලෙක්‌ අතේ එවන්නම්. මගේ වැඩේ ඉක්‌මනට කරලා දෙන්න ඕනෙ…”

කුඩු ලාලිත සුන්දරාට දුරකථනයෙන් කතා කර කීවේය. කොන්ත්‍රාත් මුදලේ ඉතිරි කොටස ලාලිත තම ගෝලයකු ලවා සුන්දරාට ලබා දුන්නේ බොරැල්ල කනත්ත ආසන්නයේදීය. ලාලිත නිදහස්‌ කර ගැනීමේ මෙහෙයුම සුන්දරා විසින් ක්‍රියාත්මක කරන්නේ ඉන් පසුවය. තමන් දන්නා හඳුනන බලවතුන්ගේ මාර්ගයෙන් ලාලිත බේරා ගැනීමට අවශ්‍ය කටයුතු ඔහු සම්පාදනය කළේය. රජයේ දෙපාර්තමේන්තු කීපයක්‌ හරහා ව්‍යාජ ලිපි ලේඛන පවා සකස්‌ කර ගැනීමට ඔහු කටයුතු කළේය.

කුඩු ලාලිත බන්ධනාගාරය තුළ ගත කළේ ඉතාම සුපිරි ජීවිතයකි. ඔහු ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ට අත දිගහැර මුදල් වියදම් කළේය. විවිධ සන්තෝෂම් ලබා දුන්නේය.

ලාලිතගේ ගෝලබාලයන් සතියකට දෙතුන් වතාවක්‌ ඔහු බැලීමට බන්ධනාගාරය වෙත ආවේ කදමලු බැඳගෙනය.

ලාලිතගේ “විසිට්‌” එක ඉතාම සරු එකක්‌ විය. ලාලිතගේ ගෝල බාලයන් ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ට රසමසවුළුවලින් සංග්‍රහ කළෝය. ලාලිත රඳවා සිටින වාට්‌ටුවේ රැඳවුම්කාරයන්ට ද එදින රජ මඟුල් දිනයක මෙන් සුපිරි ආහාර වේලක්‌ ලැබුණේය.

ලාලිත අත දිගහැර වියදම් කිරීම නිසා සෙසු සැකකරුවන් අතර ඔහුට හිමිවී තිබුණේ සුවිශේෂී ස්‌ථානයකි.

බන්ධනාගාර භූමිය තුළ බුදු මැදුරක්‌ ඉදිකිරීමේ කාර්ය සඳහා ඉදිරිපත්වන ලෙස ලාලිතට ආරාධනයක්‌ ලැබී තිබුණේය. රටේ තරුණ පරපුර මතට ඇබ්බැහි කර, උන් විනාශ කිරීමේ පාපකර්මයෙන් මිදීමට ලාලිත පින්දහම් කිරීමට ඉදිරිපත් වුණේය.

රුපියල් ලක්‍ෂ ගණනක මුදලක්‌ බුදු මැඳුර ඉදිරිකිරීමේ කටයුත්ත වෙනුවෙන් ලාලිත වැය කළ බව නොරහසකි. මේ බුqදු මැඳුර බන්ධනාගාර රැඳවියන් අතර ප්‍රසිද්ධව තිබුණේ ලාලිතාරාමය යන නමින්ය.

මේ ආකාරයට ලාලිත වසර 2 1/2 ක පමණ කාලයක්‌ වැලිකඩ බන්ධනාගාරයේ ගත කළේය. මේ අතර ලාලිතට නිදහස ලබාදීමේ මෙහෙයුමද සුන්දරා ඉතාම රහසිගත ආකාරයට කරගෙන ගියේය.

හෙරොයින් කිලෝ 8 ක්‌ සන්තකයේ තිබියදී අත්අඩංගුවට පත්වූ ලාලිතට වසර 2 1/2 කට පසු ඇප ලැබුණේය. කෙසේ හෝ අවසානයේ ලාලිත බන්ධනාගාරයෙන් පිටතට ආවේ යළි කිසි දිනක මේ අපාය වෙත පය නොතබන බවට සිතාගෙනය.

මීට මාස 4 කට උඩදී ලාලිතට අධිකරණයෙන් ඇප ලබාදී තිබුණේ කොන්දේසි කීපයක්‌ද සමගය.

සෑම මාසයකම අවසාන සතියේ ඉරිදා දින පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පෙනී සිටින ලෙස ලාලිතට නියෝග ලැබී තිබුණේය. බන්ධනාගාරයෙන් පිටතට ආපසු ද ලාලිත නැවතත් සුපුරුදු ව්‍යාපාරයට අත ගැසුවේ වෙනත් විකල්ප ආදායමක්‌ ඔහුට නොතිබූ නිසාය. මහා පරිමාණ හෙරොයින් ජාවාරම නැවතත් කරගෙන ගිය ලාලිත ඒ හරහා විශාල ධනයක්‌ ඉපයුවේය.

බන්ධනාගාරයෙන් පිටවූ දා සිට ලාලිත ඔහුට දමා තිබූ ඇප කොන්දේසි සියල්ල කඩ කරන්නට පටන් ගත්තේය. පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පෙනී සිටීම ඔහු ප්‍රතිෂේප කළේය.

ලාලිත තම නීතිඥවරිය මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත යවන්නේ තමන්ට ඇති ජීවිත තර්ජන ගැන කියමින්ය.

මගේ ජීවිතේට තරහකාරයන්ගෙන් ලොකු තර්ජනයක්‌ තියෙනවා. උන් බලාගෙන ඉන්නෙ කොයි වෙලාවක හරි මාව මරලා දාන්න. ඒ නිසා මත්ද්‍රව්‍ය නාශක අංශයට එන එක මගේ ජීවිතයට අවදානම්. ලාලිත තම නීතිඥවරිය මාර්ගයෙන් දැනුම් දුන්නේය. ලාලිත නැවතත් හෙරොයින් ජාවාරමට අතගසා සිටින බව මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත තොරතුරු ලැබී තිබුණේය.

සුඛෝපභෝගී යාන වාහන සුවිසල් නිවාස සතුකරගෙන සිටියද ලාලිතට හෙරොයින් ලෝකයේ එතරම් දිගු ඉතිහාසයක්‌ තිබුණේ නැත.

1980 වර්ෂයේ නොවැම්බර් 24 වැනිදා මාලිගාවත්ත 100 වත්තේදී උපත ලැබූ ලාලිත කෞෂල්‍ය හැදී වැඩෙන්නේ පාතාල ලෝකයේ අපරාධකාරයන්ගේ ඇසුරේය. උදැසන සිට රාත්‍රිය ගෙවී යනතුරුම ඔහුගේ නෙත ගැටුණේ පාතාල අපරාධකාරයන්ය. මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කාරයන්ය.

අපරාධකාරයන්ගේ ආභාෂය ලබමින් ලොකුමහත් වූ ලාලිත මුලින්ම සම්බන්ධ වන්නේ ගංජා ව්‍යාපාරයටය. දුර බැහැර පළාත්වලින් මෙන්ම කේරලයෙන් පවා ගංජා තොග ගෙනැවිත් විකිණූ ලාලිත ඉන් විශාල මුදලක්‌ උපයා ගත්තේය. පසුකලෙක ගංජා ව්‍යාපාරය අතහැර දැමූ ලාලිත හෙරොයින් ජාවාරමට සම්බන්ධ වන්නේ ඉන් අති විශාල ධනස්‌කන්ධයක්‌ කෙටි කාලයකදී ඉපයීමට හැකි වූ නිසාය.

එවකට කොළඹ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කාරයන් වූ කිඹුලාඇළේ ගුණා, කුඩු ලාල්, කොට ගාමිණී වැන්නන්ගෙන් හෙරොයින් තොග පිටින් ලබා ගත් ලාලිත ඒවා සිල්ලරට විකිණීමේ ව්‍යාපාරය කරගෙන ගියේය.

හෙරොයින් ජාවාරම්කරුවන් අතර ඉහළින්ම වැජඹුණු සුනිල් ගාමිණී ෙµdන්සේකා නොහොත් කොට ගාමිණී සමග සමීප සබඳතා පැවැත් වූ ලාලිත ඔහුගේ මාර්ගයෙන් හෙරොයින් ජාවාරම පිළිබඳව බොහෝ දේ ඉගෙන ගත්තේය.

හැඳල – වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි කොට ගාමිණී එවකට පාතාල ලෝකයේ මහා කෙරුම්කාරයකු බවටද පත්ව සිටියේය. පාතාල මර්දන මෙහෙයුම් පොලිසිය ආරම්භ කිරීමත් සමගම කොට ගාමිණී, කිඹුලා ඇලේ ගුණා වැන්න වුන් ඉන්දියාවට පැන ගන්නේ ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීම සඳහාය.

ඔවුන් ඉන්දියාවේ සිට මහා පරිමාණයෙන් හෙරොයින් ශ්‍රී ලංකාවට එවූ අතර ඒවා බෙදා හැරීමේ කටයුතු කරගෙන ගියේ ලාලිතය.

හෙරොයින් ජාවාරම්වලට ප්‍රසිද්ධියක්‌ උසුලන කොළඹ තරුණ දේශපාලනඥයන් කීප දෙනකුම ලාලිත සමීපව ඇසුරු කළේය. ඒ දේශපාලනඥයන්ගේ අවශ්‍යතා සපුරා දී ඔවුන්ගේ මාර්ගයෙන් කිසියම් වූ රැකවරණයක්‌ ලබාගත් ලාලිත තම ජාවාරම ජයටම කරගෙන ගියේය.

කොළඹ එක්‌තරා තරුණ දේශපාලනඥයකු ජයග්‍රහණය කරවීමේ මැතිවරණ සටනට ලාලිත කැපවීමෙන් උපකාර කළේය. මේ දේශපාලනඥයාගේ ප්‍රචාරක වැඩවලට රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ ලබාදීමටද ලාලිත කටයුතු කළේය.

බලයට පත්වූ පසු මේ දේශපාලනඥයාගේ මාර්ගයෙන් ලාලිත සිය ව්‍යාපාර සඳහා රැකවරණය ලබා ගත්තේය.

ප්‍රාදේශීය මට්‌ටමේ පොලිස්‌ ස්‌ථානවල නිලධාරීන් පවා ලාලිත පසුපස පැන්නීමේදී දෙවරක්‌ සිතා බලන තත්ත්වයට පත්ව සිටියේ මේ දේශපාලනඥයාත් ලාලිතත් අතර තිබෙන සම්බන්ධතාව දන්නා නිසාය.

ඇප ලැබීමෙන් පසු බෝමිරියට ආ ලාලිත නැවතත් සිය හෙරොයින් ජාවාරම ජයටම කරගෙන යන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබුණේය.

මාලිගාවත්තේ ඉපදී හැදී වැඩුනද ලාලිත හෙරොයින් ජාවාරම කරගෙන ගියේ වෙනත් ප්‍රදේශවලය. දෙමටගොඩ, කොළොන්නාව ප්‍රදේශවලද සිට හෙරොයින් ජාවාරම ව්‍යාප්ත කර තිබූ ලාලිත ඒ හරහා විශාල ධනයක්‌ ඉපයුවේය.

දෙමටගොඩ චමින්ද, රන් සෙම්බුගේ සම්පත්, මානක නොහොත් ආමි සම්පත් වැන්න වුන් සමග සමීප සබඳතා පැවැත් වූ මොහු තම හෙරොයින් ව්‍යාපාරය සඳහා ඔවුන්ගේ උපකාරයද ලබා ගත්තේය. ආමි සම්පත් මේ වන විට ඩුබායි හි පදිංචිව සිටින අතර ඔවුන්ගේ මාර්ගයෙන් හෙරොයින් තොග පිටින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේය.

ශ්‍රී ලංකාවට හෙරොයින් තොග පිටින් එවන ජාවාරමේ වර්තමාන කෙරුම්කාරයන් බවට පත්ව සිටින්නේ මොහොමඩ් සිද්ධික්‌ සහ වෙලේ සුදාය.

ලාලිතට හෙරොයින් වැඩි ප්‍රමාණයක්‌ ලැබුණේද සිද්ධික්‌ සහ වෙලේ සුදා විසින් මෙහෙයවන කුඩු ජාලය හරහාය.

පසුගිය මාස කීපයේදී හෙරොයින් තොග දිගින් දිගටම අත්අඩංගුවට පත්වීමත් සමගම ලාලිතට තම ව්‍යාපාරය කරගෙන යැමේ ගැටලු මතුවන්නට පටන් ගත්තේය.

හෙරොයින් ජාවාරමේ තවත් ප්‍රධානියකු වූ කුඩු තිලාන්ද ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මගින් කටුනායකදී අත්අඩංගුවට පත් වන්නේ ඒ අතරතුරදීය.

හෙරොයින් ලෝකය පුරා කුඩු ලාලිත කළ කී බොහෝදේ කුඩු ලාලිත දැන සිටියේය. ඇතැම් පොලිස්‌ නිලධාරීන්ගේ බැංකු ගිණුම්වලට රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් මාසිකව බැරකළ ආකාරය පවා ලාලිත දැන සිටියේය.

ඒ වන විට කුඩු ලාලිත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නිවාස පහක හිමිකරුවකු බවට පත්ව සිටියේය. ඉන් නිවාස තුනක්‌ තිබුණේ මාලිගාවත්තේය. අනෙක්‌ නිවාස දෙක කඩුවෙල බෝමිරිය ප්‍රදේශවලය.

මේ නිවාසවලට අමතරව තවත් නිවාස කීපයක්‌ ලාලිත කුලියට ගෙන තිබුණේ ආරක්‍ෂිත නිවාසයන් පවත්වාගෙන යැමටය. හෙරොයින් තොග පිටින් සඟවා තැබීමට මෙන්ම තම ජාවාරමට සම්බන්ධ වී සිටින ගෝලබාලයන්ට නවාතැන් දීමට මේ කුලී නිවාස භාවිත කළේය.

මීට මාස කීපයකට උඩදී වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ නිවසක්‌ වැටලූ පොලිසිය හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 ක්‌ අත්අඩංගුවට ගත්තේය. පසුව හෙළි වූයේ ඒ නිවසද ලාලිත විසින් කුලී පදනම මත ලබාගෙන තිබූ එකක්‌ බවයි. එහිදී අත්අඩංගුවට ගත්තේ ලාලිතට අයත් හෙරොයින් තොගයක්‌ බවද හෙළිදරව් වුණේය.

පොලිසිය තමන් පසුපස පන්නන බව ලාලිත හො¹කාරවම දැන සිටියේය. මේ බොහෝ තොරතුරු ලාලිතට ලැබුණේ ද මුදලට ආත්මය පාවාදෙන ඇතැම් පොලිස්‌ නිලධාරීන්ගෙන්මය.

පොලිස්‌ නිලධාරීන්ගෙන් බේරීමට ලාලිත විවිධ උපක්‍රම භාවිත කළේය. කෙසේ හෝ අවසානයේදී ලාලිතට මරු වැළඳ ගැනීමට සිදුවිය. ඒ අතුරුගිරිය ප්‍රදේශය හරහා තම සුඛෝපභෝගී මෝටර් රථයෙන් යමින් සිටි ලාලිත පොලිස්‌ වෙඩි ප්‍රහාරයට ලක්‌ වුණේය. බරපතළ තුවාල ලැබූ ලාලිත රෝහල් ගත කිරීමට රැගෙන යද්දී අවසන් ගමන් ගියේය.

රටේ තරුණ පරම්පරාව විනාශ කරන මෙවැනි නරුමයන් ජීවත් වීම මුළු සමාජයටම බරකි. ඔවුන්ගේ ජීවිතවල කිසිදු වටිනාකමක්‌ නැත.

රටට විනකටින මෙවැනි නරුමයන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරවල ගාල් කළ පසු ඔවුන් එහි සිට කරන්නේද මේ ජාවාරමය.

ඒ නිසා මෙවන් දූෂිතයන් විනාශ කර දැමීම මුළු රටම අගය කරන්නේය. එහෙත් ඒ විනාශ කිරීම මුළුමහත් හෙරොයින් ජාවාරම්කාරයන්ටම පොදු විය යුතුය. එසේ නොකර තරුණ පරපුර විනාශ කර දමන හෙරොයින් ජාවාරම්කාරයන් අතුරින් තෝරාගත් පිරිසක්‌ පමණක්‌ විනාශ කර දමන්නේ නම් ඒ පිළිබඳවද දෙවරක්‌ සිතා බැලිය යුතුය.

හේමන්ත රන්දුණු

 

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!