කොරෝනා වෛරසයේ භයානක කම ලොවට කියා දුන් දොස්තරත් මිය යයි

කොරෝනා වෛරසයේ භයානක කම ලොවට කියා දුන් දොස්තරත් මිය යයි

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

චීනයේ වූහාන් නගරයේ නව චීන කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම පිළිබඳව අනතුරු ඇඟවීමට මුලින්ම උත්සාහ දැරූ වූහාන් මධ්‍යම රෝහලේ සේවය කළ 34 හැවිරිදි ලී වෙන්ලියැන් නමැති වෛද්‍යවරයා කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට උත්සාහ දරමින් සිටියදී එම වෛරසයටම ගොදුරු වී ඊයේ (07 දා* උදෑසන මිය ගොස් ඇත.
වෛද්‍ය වෙන්ලියැන් ඉකුත් දෙසැම්බර් මස අග භාගයේදී සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අභිරහස් වෛරසයක් ලෙස කොරෝනා වෛරස් වසංගතයක් පැතිර යන බවට සිදු කළ අනතුරු ඇඟවීම හේතුවෙන් සාවද්‍ය ප‍්‍රචාරයන් සිදු කිරීමේ චෝදනාව මත පසුගිය ජනවාරි 03 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් විය. සමාජයේ පැවැත්මට බරපතළ ලෙස බාධා කළ බවට හා නීතිය උල්ලංඝනය කළ බවට පොලිස් වාර්තාවක් බලෙන් අත්සන් කිරීමට ඔහුට එහිදී පොලිස් නිලධාරීන් විසින් බලපෑම් කර තිබූ බව වාර්තා වී තිබිණි.
වෛද්‍ය වෙන්ලියැන් මිය ගොස් ඇත්තේ කොරෝනා වෛරසය ශරීරගත වී ඔහු විසින් සේවය කළ වූහාන් මධ්‍යම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
වෛද්‍ය වෙන්ලියැන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයින් අටදෙනකු චීන පොලිසිය මගින් මෙම අභිරහස් කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීමට යාම නිසා ‘සාවද්‍ය ප‍්‍රචාරයන් සිදු කිරීමේ’ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබිණි.
වෛද්‍ය වෙන්ලියැන් සිය රෝහල් ඇඳේ කෘත‍්‍රිම ස්වසන යන්ත‍්‍රයකට (වෙන්ටිලේටර්* සවි කර සිටියදී සී.එන්.එන් රූපවාහිනිය අමතා ප‍්‍රකාශ කර තිබුණේ ‘‘මම මගේ විශ්වවිද්‍යාල සගයින්ගෙන් එක ඉල්ලීමක් සිදු කරන්නට කැමතියි. කරුණාකර පරිස්සම වන්න. සාර්ස් රෝග වෛරසය හා සමාන වූ රෝග වෛරසයක් වූහාන් නගරයේ පැතිර යමින් තිබෙනවා. මෙම වසංගතයේ සැබෑ තතු හා එහි ඇති භයානකත්වය අවතක්සේරුවට ලක් කරමින් නිලධාරීන් කටයුතු කරනවා’ යනුවෙනි.
වෛද්‍ය වෙන්ලියැන් වූහාන් රෝහලේ අක්ෂි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිට ඇති අතර ඔහුගේ හදිසි මරණය කන වැකීමෙන් පසු අන්තර් ජාලයේ වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ජාලාවල විශාල පිරිසක් සිය කනගාටුව හා කෝපය පළ කරමින් පණිවුඩ පළ කර තිබේ.
චීන රජය යටතේ පවතින මාධ්‍ය වෛද්‍යවරයාගේ මරණය පිළිබඳව සීමිත තොරතුරු පළ කිරීම ජනතාවගේ කෝපයට පාත‍්‍ර වී ඇති බව වාර්තා වෙයි.
වෛද්‍ය වෙන්ලියැන්ග් විසින් පවත්වාගෙන ගිය බ්ලොග් අඩවිය පවා චීන රජය විසින් පසුගිය දිනවල වාරණයට ලක් කර තිබිණි. මිය ගිය වෛද්‍යවරයා විසින් මුලින් මෙම කොරෝනා වසංගතයේ භයානකකම පිළිබඳව කළ අනතුරු ඇඟවීම චීන බලධාරීන් විසින් ගණන් නොගැනීම හේතුවෙන් මෙම වෛරස් වසංගතය පැතිරීම පාලනය කිරීමට එම බලධාරීන්ට මෙතෙක් හැකි වී නැති බව චීන සමාජ මාධ්‍ය ජාලා ක‍්‍රියාකාරීන්ගේ මත වී තිබේ. ඊයේ උදෑසන වෛද්‍ය වෙන්ලියැන්ගේ මරණය සිදු වූ අවස්ථාවේ සිට චීනයේ ප‍්‍රකට ‘වී චැට්’ ඇතුළු සමාජ මාධ්‍ය ජාලයන් ඔහුගේ මරණය පිළිබඳ පළ කර ඇති ශෝක පණිවුඩවලින් පිරී ගොස් ඇති බව වාර්තා විය.
බටහිර මාධ්‍යයන් විසින් වෛද්‍ය වෙන්ලියැන් හඳුන්වා දී ඇත්තේ ‘විස්ට්ල්බ්ලොවින් ඩොක්ටර්’ හෙවත් පවතින වැරදි තත්ත්වයක් පිළිබඳව පෙන්වා දීමට උත්සාහ දරූ වෛද්‍යවරයා යන අන්වර්ථ නාමයෙනි.

(Visited 71 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!