කොරියාවේ රැකියාව කරන අපේ අයට ලංකාවේ නව නිවාස වැඩ පිළිවෙලක්

Spread the love
  •  
  •  
  •  
  •  

දකුණු කොරියාවේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකිකයින් සඳහා ශ්‍රී ලංකාව තුළ නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ දකුණු කොරියාවේ අවධානය යොමුවේ. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ දකුණු කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍ය සු සියෝන් හොවාන් ( Suh Seung Hwan ) යන මහත්වරුන් අතර අද (03) දින දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ ව අවධානය යොමු කෙරිණ.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ දකුණු කොරියාවේ සෝල් නුවරදී අද ආරම්භ වූ පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුවට ( 5th Asia Pacific Ministerial Conference On Housing And Urban Development (APMCHUD) සමඟාමීවය.

දකුණු කොරියාවේ දැනට රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයෝ සංඛ්‍යාව විසිඅට දහසකට ( 28,000 ) ආසන්න වෙති. මෙම පිරිසගේ ප්‍රධානතම බලාපොරොත්තුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ තමන්ගේම කියා නිවසක් තනාගැනීම බවත් ඒ සඳහා ඔවුන්ට යම් සහයෝගයක් දැක්වීම සඳහා දකුණු කොරියානු රජයේ අවධානය යොමුකරන ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් යෝජනාවක් දකුණු කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යවරයාට ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියාවල නිරතවෙමින් තම රටට විශාල දායකත්වයක් ලබාදෙන බවත් ඒ සඳහා තම රටේ ද සහයෝගය ඔවුන්ට ලබාදීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය සු සියෝන් හොවාන් ( Suh Seung Hwan ) මහතා මෙහිදී කියා සිටියේ ය. එවැනි නිවාස යෝජනා ක්‍රමයක අවශ්‍යතාවය පෙන්වා දුන් විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා තම උපරිම සහාය ලබාදීමට ද ක්‍රියාකරන බවයි.

දෙරටේ ආර්ථිකය ගැන ද සාකච්ඡා කළ අමාත්‍යවරුන් දෙදෙනාගේම වැඩි අවධානයක් යොමු වූයේ දෙරටේ ඉදිකිරීම් කර්මාන්තය පිළිබඳවයි. වසර 30 ක් තිස්සේ පැවති ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කිරීමෙන් අනතුරුව ඇති වූ සාමකාමී වාතාවරණයත් සමඟ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මේ වන විට විශාල සංවර්ධනයක් සිදුවී තිබෙන බව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පෙන්වාදෙන ලදී. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධන වේගය 22% ඉක්මවා තිබෙන අතර නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩිම වර්ධන වේගයක් පෙන්නුම් කරන්නේ වර්තමානයේදී බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. බොහෝ වර්ෂවලදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධන වේගය පැවතුණේ 5% – 6% ත් අතර මට්ටමක ය. 2012 වර්ෂයේ සිට එහි වර්ධන වේගය 22% ක් වී තිබීම විශේෂත්වයකි. ඊට අමතරව 2010 වර්ෂයට පෙර ශ්‍රී ලංකාව තුළ වසරකට ඉදිකළ නිවාස සංඛ්‍යාව සාමාන්‍යයෙන් ලක්ෂයකට ආසන්න වේ. 2011 වසරින් පසු එම ප්‍රමාණය ලක්ෂ 4 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් විශේෂයෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් කැමැත්තෙන් සිටින බව ද දකුණු කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ නිවාස හා ඉදිකිරීම් කෂේත්‍රය සම්බන්ධයෙන් තම රටේ අත්දැකීම් බෙදාගැනීම සඳහා කැමැත්තෙන් සිටින බව දකුණු කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍ය සු සියෝන් හොවාන් ( Suh Seung Hwan ) මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.

මේ අතර පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුව අද (03) දින දකුණු කොරියාවේ සෝල් නුවර දී ආරම්භ වූයේ ද එරට ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍ය සු සියෝන් හොවාන් ( Suh Seung Hwan ) මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ද මෙම සමුළුවට සහභාගී විය.

නොවැම්බර් මස 03 වෙනිදා සිට 05 වෙනිදා දක්වා දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන මෙම සමුළුවට රටවල් 30 කට ආසන්න සංඛ්‍යාවක අමාත්‍යවරු ඇතුළු නිලධාරීහු, නියෝජිතයෝ සහභාගී වෙති.

මෙවර සමුළුවේ තේමාව “ තිරසාර සංවර්ධනය සඳහා සමාන අවස්ථා ” යන්නයි. ඒ අනුව පහත සඳහන් උප මාතෘකා යටතේ මෙම හමුවේදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇත.

සමස්ථ නාගරික සැලසුම්කරණය, වරප්‍රසාද රහිත පුද්ගලයින් සඳහා සමාන අවස්ථා ලබාදීමට නාගරික පැල්පත් නවීකරණය කිරීම, මූලික සේවාවන් ලබාදීමට සමස්ථ තාක්ෂණය යෙදීම, නිවාසකරණය සඳහා සමාන මූල්‍ය පහසුකම් සහ සමාන අවස්ථාවන් ලබාදීම සඳහා නාගරික සංවර්ධනය.

මෙම සමුළුවේ එක් ප්‍රධන අරමුණක් වන්නේ මෙම කරුණු මත කරනු ලබන සාකච්ඡා පදනම් කරගෙන තිරසාර සංවර්ධනයක් සඳහා සමාන අවස්ථාවන් ලබාදීම පිණිස ක්‍රියාකාරී සැලැස්මක් කෙටුම්පත් කිරීමයි.

දෙවසරකට වරක් පැවැත්වෙන ආසියා ශාන්තිකර නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුව (APMCHUD) ආරම්භ වූයේ 2006 වසරේදී ඉන්දියාවේදී ය. වසර 2 කට වරක් පැවැත්වෙන මෙම සමුළුව ඉරානය, ඉන්දුනීසියාව සහ ජෝර්දානය යන රටවල මේ වන විට පවත්වා ඇත.

විමල් වීරවංශ අමාත්‍යවරයා සමඟින් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නිවාස ) කේ.ඒ. තිලකරත්න, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතීඥ පාලිත ගමගේ යන මහත්වරු ද මෙම සමුළුවට සහභාගී වූහ.

මෙම සමුළුවෙන් අනතුරුව දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් හා එහි ජීවත්වන ශ්‍රි ලාංකික ප්‍රජාව හමුවීමට ද විමල් වීරවංශ අමාත්‍යවරයා බලාපොරොත්තු වේ.

– Con. media

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!