කහවත්තේ අබිරහස් කාන්තා ඝාතනයේ ඝාතකයෝ අල්ලයි

Spread the love
  •  
  •  
  •  
  •  

කහවත්ත ඕපාත ප්‍රදේශයේදී අවසන් වරට සිදුවූ අබිරහස් කාන්තා ඝාතනයට ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළද මෙම ඝාතනයට සෘජුවම සම්බන්ධ වූ බව කියන තිදෙනකුගෙන් යුතු කණ්ඩායමක් පසුගියදා රහස් ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනයට ඇගේ සැමියා සම්බන්ධ බවට කහවත්ත ‍පොලිසිය මගින් ඝාතනය සිදුවූ කාල වකවානුවේ සඳහන් කළද එම ඝාතනය ඇගේ සැමියා විසින් නොව එම ප්‍රදේශයේම වෙනත් පිරිසක් විසින් කළ එකක් බව රහස් ‍පොලිසිය මෙම පිරිස අත්අඩංගුවට ගැනීමත් සමග අනාවරණය කරගෙන ඇත.එමෙන්ම මෙම ඝාතනයට හේතු වී ඇත්තේ මීට වසර විස්සක සිට ලැයිම් දෙකක් අතර පත්තිනි දේවමෑණියන්ගේ දේව රූපයක් පිළිබඳව හටගත් ආරවුලක් බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මීට වසර විස්සකට පෙර මෙම ලැයිම් පේළි දෙක මැද පත්තිනි දේවමෑණියන්ගේ දේවාලයක් තිබි ඇත. එහෙත් එම දේවාලය ඒ කාලයේදීම ගරා වැටීම නිසා අදාළ දේව රූපය පහළ පිහිටි ලැයිම් කාමර පේළියක නිවසේ තබා ඇත.එසේම ඉහළ ලැයිම් කාමර පේළියට අයත් වූ කතරගම දේවාලයක් තිබි ඇති අතර පසුව පත්තිනි දේව රූපය කතරගම දේවාලයේ තබා ඇත. ඒ අතරවාරයේ නැවත ගරා වැටුණු දේවාලය ගොඩනගා ඇත.

එහෙත් දේවරූපය අදාළ දේවාලයට රැගෙන ඒමට ඉහළ ලැයිම් පේළියේ පදිංචි පිරිස අවසර ලබා දී නැත. මේ නිසා මේ ලැයිම් කාමර දෙක අතර ගැටුමක් හටගෙන ඇත. ඒ අනුව කිහිප විටක්ම මේ පිරිස අතර ගැටුම් ඇති වී තිබේ.එහෙත් අවසානයේ ඉහළ පේළියේ පිරිස් විසින් පහළ පේළියේ අයකු ඝාතනය කිරීමට සූදානම් වී ඇත. ඒ අනුව ඔවුන් පසුගිය ඔක්තෝබර් 21දා අදාළ ඝාතනයට සූදානම් වී ඇත. ඒ සඳහා උදය කුමාර්, තිලංගු, ශලි කුමාර සහ තවත් අයකු පැමිණ ඇත. ඒ වන විට පහළ ලැයිම් කාමරයේ පදිංචි ජෙයපාලන් තිලකරාණි (31) සිය මුදල් පසුම්බිය නැති වීම හේතුවෙන් එය සොයාගෙන කළුවරේ පැමිණ තිබේ. ඒත් සමග මොවුන් ජෙයපාලන්ට ‍පොලු පහර දී ඝාතනය කර ඇති බවට මේ වන විට ‍පොලිසිය මගින් අනාවරණය කරගෙන ඇත.

එසේ ඝාතනය කිරීමේදී පහත ලැයිමේ තවත් කාන්තාවක් ඒ අසලින් පැමිණ අදාළ සිද්ධිය දැක ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි. ඇය ධනලෙච්චමි නමැති කාන්තාවකි. පසුව ඇයද ඝාතනය කරන්නට ඝාතකයන් උත්සාහ දරා ඇති අතර වැඳ වැටී එම ස්ථානයෙන් ඇය පලා ගොස් ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.ජෙයපාලන් ඝාතනය කිරීමෙන් පසු සැකකරුවකු වන උදය කුමාර් තම දියණියගේ නිවසට මළ සිරුර රැගෙන ගොස් ඇති බවත් පසුව අලුයම මළ සිරුර රැගෙන විත් ඇළට දමා ඇති බවත් ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.කෙසේ වෙතත් මෙම ඝාතනයෙන් දින දෙකකට පසු උදය කුමාර් දියණියට ලිපියක් ලියා සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති බවත් ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.දැනට සැකකරුවන් රහස් ‍පොලිස් භාරයේ තබාගෙන ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.
ගයාන් ගාල්ලගේ

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!