කළ ගුණ සැලකීමකට එහා මහින්ද ගිය ගමනක්

කළ ගුණ සැලකීමකට එහා මහින්ද ගිය ගමනක්

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද රාජපක්‍ෂට මෙවර ඡන්දය දිය යුත්තේ ඔහුට කළ ගුණ සැලකීම සඳහාය යනුවෙන් මහින්දවාදීන් තර්ක කරන බව රනිල්වාදීන් විසින් සමාජගත කරමින් යන මතයකි. කොටින් ම එය පැරඩියකි. එහි අර්ධ සත්‍යයක් නැත්තේ ම නොවේ. එහෙත් මහින්ද මෙරට බලයට ගෙන ආ යුත්තේ ඔහුට කළගුණ සැලකීමේ අර්ථයෙන් නොව ඔහුගෙන් ජාතියට තවදුරටත් වැඩ ගැනීමේ අර්ථයෙනි. කළගුණ සැලකීම නැමැති සාරධර්මය දියුණු මානව ගුණාංගයක් බව සත්‍යකි. එය පිහිටන්ගේ දියුණු, සංවේදී සිත්සතන් තුළ ය. එහෙත් ඒ මත පමණක් රටක නායකයෙකු ‍තෝරාගත නොහැකි බව මහින්දවාදීන්ගේ පිළිගැනීමයි.

මහින්ද මේ රට විසින් අත්හදා බැලූ නායකයෙකි. ඔහු තරම් අන් කිසිවෙකු මෙරට ජාතික සංවර්ධනය වෙනුවෙන් වැඩ කොට නැත. 2005 වසරේ දී ඩොලර් බිලියන 24.5ක් වූ මෙරට දළ දේශීය නිෂ්පාදයනය වසර 9ක් වැනි කෙටි කළකින් තුන් ගුණයකින් වැඩිකරමින් ඩොලර් බිලියන 76.9ක් බවට පත්කරන්නේ මහින්ද ය.එපමණක් නොවේ.60 හා 70 දශකවල සැලසුම් කළ මෙරට ගල් අඟුරුබලාගාර, ඉහළ කොත්මලේ විදුලි ව්‍යාපෘථිය, උමාඔය බහුකාර්ය ව්‍යාපෘථිය වැනි තව බොහෝ බලශක්ති ප්‍රභවයන් යාථාර්ථයක් බවට පත් කරන්නේ මහින්ද ය. මේවා නිසි කලට රටට දායාද නොකිරීමෙන් මෙරට ජාතික සංවර්ධනයට කොතරම් පාඩුවක් කොට තිබේ ද?

අනෙක නම් මෙරට මාර්ග පද්ධතියයි. මෙරට මාර්ග පද්ධතිය මීට බොහෝ පෙර නවීකරණය කළ යුතුව තිබුණි. එහෙත් මහින්ද එනතුරු ඒ කිසිවක් සිදු නොවූවේ ය. කටුනායක අධිවේගී මාර්ගයට රනිල් ජපානයෙන් ණයක් ද ගෙන එය එදාවේල කා කාබාසිනියා කළා මිස එක අඟලක් ඉදි නොකළේ ය. දක්‍ෂිණ අධිවේගි මාර්ගය ද එසේ ය. තව ද මහින්ද විසින් අලුතින් ම කාපට් අතුරා නවීකරණය කළ රටේ සෑම දෙසට ම විහිදෙන සෙසු ඒ හා බී ශ්‍රේණිවල මහාමාර්ග ගණන කොපමණ ද? මෙම මාර්ග නිසි කළ ඉදි නොකිරීමෙන් අප රටට කොතරම් පාඩුවක් සිදුවී ද? සරල නිදසුනක් පෙන්වමි. අබලන් මාර්ගයක එක් පැය බාගයක් මාර්ග තදබදයක සිටීම නිසා අමතර ව වැයවන ඉන්ධන ප්‍රමාණය කොපමණ ද? අප ඒ වෙනුවෙන් පිටරට යවන ඩොලර් ප්‍රමාණය? අප නාස්ති කරන කාලය? ඉන් සිදුවන තව බොහෝ ආර්ථික හා සමාජ අතුරු අබාධ? මේවාට මිලක් ඇත. ඒ මිළ ගෙවා දැම්මේ මහින්ද හැර අන් කවරෙක් ද?

මහින්ද විසින් ඉදිකළ මෙගා ව්‍යාපෘථි ගණයට වැටෙන හම්බන්‍තොට වරාය සැලසුම් කොට කොපමණ කළක් සමස් පෙට්ටියේ තිබුණේ ද? මෙම වරාය මින් පෙර ඉදි කළේ නම් එය කොතරම් ධනයක් අපට උපයා දේ ද? මේ වන විට හම්බන්තොට වරාය දකුණු ආසියාවේ කාර්යබහුල ම වරායවලින් එකකි. මත්තල ගුවන් ‍තොටුපල මීට දෙවැනි නොවේ. රටක දෙවැනි ජාත්‍යන්තර ගුවන් ‍තොටක් අනිවාර්ය අංගයකි. කටුනායක කිසියම් ගැටළුවක් නිසා වසා දැමීමට සිදුවූ වැනි සිතන්න. අප රට වෙත එන යානා ඉන්දියාවට හරවා යැවිය නොහැකි ය. මෙම ගුවන් ‍තොට ඉදිකිරීමට එම හේතුව ම සෑහේ. එහෙත් රට දියුණු වන විට මේ සියල්ල එක් පොකුරකට ප්‍රසාරණය වන පරිදි සැලසුම් කොට තිබුණි. අප මෙහි දී ඔබට ඉදිරිපත් කළේ මහින්ද කළ දෙයින් අංශුවක් පමණි. ඉතිරිය ඔබේ හෘද සාක්‍ෂියයි. එහෙත් ඒ සියල්ල ජනවාරි 08 වන දායින් පසු අවසන් කිරීමට මෙරට පුරවැසියන් කොටසක් විසින් ම තීරණය කිරීම ජාතියේ පවක් හැර අන් කුමක් ද? කළගුණට එහා මහින්ද යන්නේ මෙම අර්ථයෙන් ය.

මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
– yuthukama.com

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!