කයිවාරුව තරමට කෙරුවාව නැති සජිත්ගේ ගම්උදාව

කයිවාරුව තරමට කෙරුවාව නැති සජිත්ගේ ගම්උදාව

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

දිනෙන් දින ඉහළ යන ජනගහනය හමුවේ පැන නගින මූලිකම ගැටලූව වන්නේ නිවාස ගැටලූවයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2012 වර්ෂයේ සිදුකරන ලද සංගණනයට අනුව මෙරට ජනගහනය දෙකෝටිය ඉක්මවා තිබූ අතර නිවාස සංඛ්‍යාව ලක්ෂ 52ක් විය. ජනගහනයෙන් සියයට 6.3ක් වෙසෙන්නේ කුලී නිවාසවලය. මෙම සංඛ්‍යාලේඛන අනුව පැහැදිලි වන්නේ රටේ නිවාස හිඟයක් තිබෙන බවය. බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම නිවාස ඉදිකිරීම සඳහා ප‍්‍රමුඛස්ථානය දී කටයුතු කරන්නේ එබැවිනි. ඒ සඳහා එක් එක් ආණ්ඩුව විවිධකාර වැඩසටහන් ක‍්‍රියාවට නංවනු ලබයි. 1977 වසරේ බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් කටයුතු කළ ආර්. පේ‍්‍රමදාස මහතා ක‍්‍රියාවට නැංවූ ගම්උදාව වැඩසටහන එක් උදාහරණයකි. ගම් උදාව යටතේ ප‍්‍රථම වර්ෂ පහේ දී නිවාස ලක්ෂයක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. අද මේ රටේ නිවාස හා ඉදිකිරීම් ඇමැති ධුරය හොබවන්නේ ගම්උදාවේ නිර්මාතෘ ආර්. පේ‍්‍රමදාස මහතාගේ පුත් සජිත් පේ‍්‍රමදාස මහතාය. ඔහු සිය පියාගේ ගම්උදා වැඩපිළිවෙළ යළිත් ක‍්‍රියාවට නැංවූයේ 2015 වසරේදීය. ගම්උදාව වැඩපිළිවෙළ රටේ නිවාස ප‍්‍රශ්නයට විසඳුම් ගෙනා වැඩපිළිවෙළක් බවට සැකයක් නැතත් ඊට වැය කෙරුණු දැවැන්ත මුදල් කන්දරාව සම්බන්ධයෙන් එකල විවේචන තිබිණ. එක් ගම්උදාවක ප‍්‍රචාරක කටයුතුවලට වැය කෙරෙන මුදලෙන් තවත් ගම්උදා දහයක් කළ හැකි බව ජනතාවගේ මතය විය. වර්තමානයේ අලූතෙන් අරඹා ඇති ගම්උදාවේ ද වියදම එදා ගම්උදාවට දෙවැනි නැත. නිවාස 25කින් පමණ සමන්විත එක් නිවාස ව්‍යාපෘතියක් ජනතා අයිතියට පවරා දීමට වැය කෙරෙන මුදල රුපියල් කෝටි තුනකට අධික බව නිවාස අධිකාරියේ ආරංචි මාර්ග සනාථ කරයි. ඒ පුවත්පත් දැන්වීම්, පොත් මුද්‍රණය, පෝස්ටර්, උත්සවයේ සංග‍්‍රහ, ප‍්‍රවාහන සඳහාය. නිවාස ඇමැතිවරයා වැඩිම වියදමක් දරනු ලබන්නේ නිවාස තැනීමටත් වඩා සිය ප‍්‍රචාරක ව්‍යාපාරය සඳහාය. උදාහරණයක් වශයෙන් ගතහොත් එක් ගම්උදාවක් සඳහා පුවත්පත් 12ක දැන්වීම් පළ කිරීම සඳහා පමණක් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 17කි. ඊට අමතරව රටේ කොතනක නිවාස ව්‍යාපෘතියක් විවෘත කෙරුණත් රට පුරා වෛර්ණ පෝස්ටර් ඇලවේ. කොළඹ දී මුද්‍රණය කෙරෙන පෝස්ටර් වෑන් රථ තුනකින් නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත‍්‍රික් කාර්යාල වෙත බෙදා හැරේ. එම පෝස්ටර් දිස්ත‍්‍රික්කය පුරා ඇලවීම දිස්ත‍්‍රික් කළමනාකරුගේ වගකීම වේ. මොනරාගල ප‍්‍රදේශයේ නිවාස 25කින් යුත් ව්‍යාපෘතියක් විවෘත
කිරීමේ පෝස්ටර් පුත්තලමේ ඇලවීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි දන්නේ ද නිවාස ඇමැතිවරයාම පමණකි. එය ගම්උදාවේ ප‍්‍රචාරක කටයුත්තකටත් වඩා සජිත් පේ‍්‍රමදාස මහතාගේ අනාගත දේශපාලන අභිවෘද්ධිය උදෙසා කෙරෙන්නක් බව පැහැදිලිය. ගැටලූව වන්නේ නිවාස සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතනයක මුදල් පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍ර වෙනුවෙන් වැය කිරීම කොතෙක් දුරට නීත්‍යානුකූල ද යන්නය. පෝස්ටර්වලට අමතරව සෑම ව්‍යාපෘතියකටම එකිනෙකට සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනෙන් සමරු කලාප දෙකක් මුද්‍රණය කෙරේ. එක් සමරු කලාපයක් ව්‍යාපෘතිය වෙනුවෙන් වන අතර අනෙක ගම්උදා සංකල්පය වෙනුවෙනි. පිටු සියයකින් පමණ සමන්විත සඟරා විශාල ප‍්‍රමාණයක් මුද්‍රණය කර බෙදාහැරෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයෝ කියති. ඒ හැරුණු කොට ගම්උදාව වෙනුවෙන් මුද්‍රණය කෙරෙන ආරාධනා පත‍්‍රය ද ඉහළ පෙළේ මංගල්‍ය උත්සවයක ආරාධනා පත‍්‍රයකට දෙවෙනි නැත.අසරණ පවුල් කිහිපයකට නිවාස තනා දී ඒවා විවෘත කිරීමට යම්කිසි මුදලක් වැය කිරීම අසාධාරණ නැතැයි තර්කයක් නැගෙන්නට පුළුවන. සජිත් ඇමැතිවරයා නිවාස තැනීම හෝ ඒවා විවෘත කිරීමට මුදල් වැය කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු විරෝධයක් නැත. ගැටලූව වන්නේ නිවාස තැනීමට යන වියදම ඇමැතිවරයාගේ ප‍්‍රචාරයට වැය කෙරෙන මුදල හා සැලකීමේ දී සොච්චමක් වීමය. අහිංසක දිළිඳු ජනතාවට නිවාස තැනීමට මුවා වී රජයේ මුදලින් සිය දේශපාලන ප‍්‍රචාරක කටයුතු කරගැනීමය. ගම්උදා වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරෙන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගිනි. ඒ සඳහා යොදා ගැනෙනුයේ රජයේ ඉඩම්ය. මේ ව්‍යාපෘතිය යටතේ එක් නිවසක් තැනීමට අධිකාරියෙන් ලබාදෙන මුදල රුපියල් ලක්ෂ දෙකහමාරකි. ඒ වසර දහයක කාලයක් තුළ ආපසු ගෙවීමේ පදනම මතය. ණය ප‍්‍රදානය කිරීමේ දී අධිකාරිය විසින් ණයලාභියාට දැනුම් දෙන්නේ අවම වශයෙන් ලක්ෂ 18ක පමණ වටිනා නිවසක්වත් තනාගත යුතු බවය. එවැනි නිවාස 25ක් පමණ එක් ව්‍යාපෘතියක ඉදිකෙරේ. එක් නිවසකට ලක්ෂ දෙකහමාර බැගින් නිවාස 25ක් සහිත ව්‍යාපෘතියකට නිවාස අධිකාරියෙන් වැය කෙරෙන මුදල රුපියල් හැට දෙලක්ෂ පනස් දහසකි. රුපියල් ලක්ෂ හැට දෙලක්ෂ පනස් දහසක් වැය කර තැනෙන ව්‍යාපෘතිය විවෘත කිරීමට වැය කරන මුදල රුපියල් කෝටි තුනකි. ඒ අනුව බලන විට නිවාස තැනීමට වැය වූ මුදල මෙන් පස් ගුණයක මුදලක් ව්‍යාපෘතිය විවෘත කිරීමට වැය කෙරෙන බව පැහැදිලිය.මහජන මුදල් මෙසේ නිකරුණේ වියදම් කර පෞද්ගලික ප‍්‍රතිරූපය නංවා ගන්නා සජිත් පේ‍්‍රමදාස ඇමැතිවරයා රූපවාහිනියේ පෙනී සිටින්නේ සුදු පිරුවට හැඳ ගත්තකු විලසය. ගම්උදා විවෘත කිරීමේ වේදිකාවල දී ලතාවකට කතා කරමින් කියන අන්දමට ඔහු තරම් සුදනකු නැත. පසුගිය රජයේ සියලූ ඇමැතිවරුන් හොරුය. ඒ කිසිදු ඇමැතිවරයකු වැඩ කර නැත. මහජන මුදලින් ව්‍යාපෘති හදා රූපවාහිනී ප‍්‍රවෘත්ති විකාශයන්ගේ ඉඩ ලබාගනිමින් සජිත් ඇමැතිවරයා මේ කියන්නේ අමූලික බොරුය. ඊට එක් උදාහරණයක් වන්නේ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පසුගිය ආණ්ඩුවේ නිවාස ඇමැතිවරයා වූ විමල් වීරවංශ මහතා සමඟ ඇති වූ විවාදය දැක්විය හැකිය. එහිදි නම් ලැයිස්තුවක් පෙන්වමින් සජිත් ඇමැතිවරයා කීවේ විමල් වීරවංශ නිවාස ඇමැතිව සිටිය දී ඥාති සංග‍්‍රහයේ යෙදුණු බවය. තමන් අත ඇති ලැයිස්තුව ආණ්ඩුවෙන් නිවාස නොමිලේ ලබාගත් විමල් ඇමැතිවරයාගේ ඥාතීන්ගේ ලැයිස්තුවක් බවත් හෙතෙම කීවේය. එහෙත් සජිත් ඇමැතිවරයා එදා පෙන්වූයේ ව්‍යාජ ලැයිස්තුවකි. විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා සජිත් ඇමැතිවරයාට අභියෝග කරමින් කීවේ හැකි නම් ලැයිස්තුව ඔප්පු කර පෙන්වන්නැයි කියාය. එහෙත් සජිත්
පේ‍්‍රමදාස මහතා අභියෝගය භාර ගත්තේ නැත. එම ලැයිස්තුව පාර්ලිමේන්තුවේ හැන්ඞ්සාඞ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි කථානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දුන්නේ සජිත් ඇමැතිවරයාගේ ලැයිස්තුව ව්‍යාජ ලයිස්තුවක් නිසාය. අප මේ කියන්නට යන්නේ සජිත් ඇමැතිවරයා ඉදිරිපත් කළ ලයිස්තුව ගැන නොව සජිත්ගේ පියා නිවාස ඇමැතිවරයාව සිටිය දී ඥාති සංග‍්‍රහයේ යෙදුණු ආකාරය පැහැදිලි කෙරෙන ලැයිස්තුවක් ගැනය. මිය ගිය කෙනකුට දෝෂාරෝපණ එල්ල කිරීමෙන් ඵලක් නැති මුත් අද සමාජය ඉදිරියේ සුදු පිරුවට හැඳ අනෙක් මිනිසුන්ට ඇඟිලි දිගු කරන සජිත් පේ‍්‍රමදාස ඇමැතිවරයාගේ කෙරුවාව ජනතාව හමුවේ හෙළිදරව් කිරීම අප සතු වගකීමකි. ආර්. පේ‍්‍රමදාස මහතාගේ සොහොයුරා ආර්. සංඝදාසය. ආර්. සංඝදාස මහතාගේ දියණියට මාලිගාවත්තෙන් නිවසක් තනා දුන්නේ පේ‍්‍රමදාස මහතා නිවාස ඇමැතිවරයාව සිටියදීය. එය එසේ මෙසේ නිවසක් නොව සුඛෝපභෝගී නිවසකි. නිවස තැනුවේ මාලිගාවත්ත නිවාස සංකීර්ණයට හිමි රථ ගාල් දෙකෙන් එකක් ඉවත් කරය. නිවස තැනුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුදල්වලිනි. මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ අනෙක් රථ ගාල ද ඉවත් කෙරුණේ පේ‍්‍රමදාස මහතාගේ සුවච කීකරු ගෝලයකු වූ ටී. එම්. සංඝදාස මහතාට සුඛෝපභෝගී නිවසක් තැනීමටය. ටී. එම්. සංඝදාස මහතා එවකට කලා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. සිය ඥාති දියණියට සහ හොඳම ගෝලයාට නිවාස තැනීමට මාලිගාවත්ත නිවාස සංකීර්ණය සතුව තිබුණු රථ ගාල් දෙකම විනාශ කෙරුණේ එලෙසය. ආර්. පේ‍්‍රමදාස මහතාගේ දෙවැනි වැඩිමල් සොයුරිය සේවයේ නියුතුව සිටියේ ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේය. ඇගේ දියණියක වන නවෝදිනී හට වැල්ලවත්තේ ලිලී ඇවනිව් මහල් නිවාස ක‍්‍රමයේ නිවසක් ලබා දුන්නේ ද නීතියට පිටිනි. නවෝදිනිට පමණක් නොව ඇගේ සොහොයුරාට ද පේ‍්‍රමදාස මාමාගෙන් දෙමහල් නිවසක් ලැබුණි. ඒ සාංචිආරච්චිගේ වත්තෙනි. සාංචිආරච්චිගේ වත්තේ දෙමහල් නිවාස යෝජනා ක‍්‍රමය යටතේ ඉදිකෙරුණේ නිවාස තුනක් පමණි. ඉන් එකක් පරිත්‍යාග කිරීමෙන් මාමා සිය බෑණනුවන්ට තිබුණු ලෙන්ගතුකම වටහා ගත හැක. එපමණක් නොව නීතිඥවරයකු වන මෙම බෑණාට අලූත්කඬේ නීතීඥ කාර්යාල සංකීර්ණයේ කාර්යාල කාමරයක් ද හිමිවිය. පේ‍්‍රමදාස මහතාගේ නැන්දා කෙනකු වන සෝමාවතී යන අයට මිහිඳු මාවත නිවාස යෝජනා ක‍්‍රමයෙන් නිවසක් සහ කඩ කාමරයක් සහන පදනම මත ලබාදෙන ලදී. පේ‍්‍රමදාස මහතාගේ පුංචි අම්මා කෙනකු සේවක අර්ථසාධක අරමුදලේ සේවයේ නියුතුව සිටියාය. ඇයට ද මිහිඳු මාවතෙන් නිවසක් සහ කඩ කාමරයක් ලැබුණි. කොම්පඤ්ඤ වීදිය වෑකන්ද නිවාස යෝජනා ක‍්‍රමයෙන් ද ඇයට මහල් නිවසක් සහන පදනම මත ලැබුණේ පේ‍්‍රමදාස ඇමැතිවරයාගේ මැදිහත්වීම මතය. ඒ සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියා නිවාස ඇමැතිවරයාව සිටිය දී ඥාති සංග‍්‍රහයේ යෙදුණු ආකාරයය. අනුන්ගේ ඇහේ තිබෙන ඉඳිකටුව සොයන අයට තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය පෙනෙන්නේ නැතැයි කතාවක් තිබේ. අද සජිත් ඇමැතිවරයාට සිදුව ඇත්තේ ද එම අකරතැබ්බයමය. අනුන්ගේ ඥාති සංග‍්‍රහ ගැන සොයන සජිත් ඇමැතිවරයාගේ හත්මුතු පරම්පරාවම නිවාස ලබාගෙන ඇත්තේ ඥාති සංග‍්‍රහ තුළිනි. එපමණක් නොව නිවාස සංවර්ධන අධිකාරියේ තවත් අක‍්‍රමිකතා රාශියක් සම්බන්ධ විස්තර ද අප සතුව ඇත

(Visited 58 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!