“ඕගොල්ලෝ ගේමෙන් නම් නම් අපිත් ගේමෙන්…” – යහපාලන පොලිස් පූජිත ජයසුන්දර මාධ්‍යට කියයි

“ඕගොල්ලෝ ගේමෙන් නම් නම් අපිත් ගේමෙන්…” – යහපාලන පොලිස් පූජිත ජයසුන්දර මාධ්‍යට කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලා සිසු විරෝධතාවට ඊයේ ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ මාධ්‍ය සාකච්ඡවක් පැවැත්වී ය.
වෙනදා පැවැත්වූ පොලිස් මාධ්‍ය සාකච්ඡ සඳහා පැමිණියේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පමණක් වුවද අද දිනයේ හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරුන් ද ඇතුළුව 5 දෙනකු විසින් මාධ්‍ය හමුව මෙහෙයවී ය.
මේ සඳහා සහභාගි වූ මාධ්‍යවේදියකු මෙහිදී අසා සිටියේ මෙවැන්නකි.
‘අද මොකෝ මේ එන්ජින් 5ක් සෙට් කරලා වගේ තියෙන්නේ. 5 දෙනෙක් ඇවිත්. වෙනදට එන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක විතරයි. අද ඉන්නවා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක වගේම තවත් උසස් පොලිස් නිලධාරීන්. ඇයි මේ විශේෂත්වේ?”
මේ අවස්ථාවේදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මෙසේ පිළිතුරු දුන්නේ ය.
”පහුගිය කාලේ ඔයාලා හැසිරුණු විදිය මතකනේ. එ් නිසා අපිත් මෙහෙම ආවා. ඔයාලා එහෙම නම් අපිත් මෙහෙමයි. එ් නිසා අපි එ් කතාව මෙතැනින් නවත්තමු” යනුවෙනි.
මෙම අවස්ථාවේදී මාධ්‍ය විසින් පළකරන ලද විරෝධතාවේදී පොලිසිය විසින් සිසු සිසුවියන්ට එල්ල කරන ලද ප‍්‍රහාර පිළිබඳ ඡයාරූප පෙන්වමින් පොලිසිය සඳහන් කළේ එම ඡයාරූපවල දැක්වෙන්නේ තුවාල ලැබූ හා සිසු සිසුවියන් බේරාගත් අවස්ථා බවයි.
මාධ්‍ය පළ කරන තරමේ බිහිසුණු තත්ත්වයක් නොතිබුණු අතර සිසු සිසුවියන්ට පොලිසිය උපකාර කරන ලද අවස්ථා වැරදි සහගත අයුරින් පෙනෙන පරිදි මාධ්‍ය පළකොට ඇතැයි එහිදී අදහස් පළකළේ ය.

පොලිසිය මෙහිදී භාවිත කළේ ‘අවම බලය’ යැයි ද මාධ්‍ය හමුව මෙහෙයවූ නිලධාරීහු පැවැසූහ.

මෙම මාධ්‍ය හමුව සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, කොළඹ මධ්‍යම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චම්පික සිරිවර්ධන, හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ද සහභාගි විය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!