“ඔයා දුක්වෙන්න එපා. මම කැමැත්තෙන් මේ දේ කරගත්තේ”

Spread the love
  •  
  •  
  •  
  •  

ඔයා දුක්වෙන්න එපා. මම කැමැත්තෙන් මේ දේ කරගත්තේ. ආණ්ඩුවටයි ජනාධිපතිතුමාටයි නවනීදන් පිල්ලේ ගෙන් එල්ල වෙන තර්ජනවලට විරෝධය පළ කරන්නයි මම ගිනි තියාගත්තේ.” තම පියා මිය යාමට ප්‍රථම ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දුරකථනය ඔස්සේ එලෙස පැවසු බව පසුගිය දා රටම කම්පාවට පත්කරමින් කොල්ලුපිටිය පොලීසිය ඉදිරිපිටදී සිරුරට ගිනිතබා ගනිමින් සියදිවි හානිකර ගත්, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික සැරයන්වරයකු වන පන්නිපිටියේ කලල්ගොඩ පදිංචිව සිටි 72 හැවිරිදි තිදරු පියකු වන තෙල්ලමුරේ විතානගේ පියසේන මහතා පිළිබඳ ඔහුගේ බාල දියණිය වන නිලුක්ෂි නෙල්කා මහත්මිය එලෙස අදහස් පවසා සිටියාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවට හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරනු ලබන තර්ජන හා බලපෑම්වලට විරෝධය දැක්වීමට යැයි පවසමින් ඔහු මෙලෙස තම සිරුරට ගිනිතබා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ නිලුක්ෂි නෙල්කා මහත්මිය මෙසේ ද කියා සිටියාය.

“දැන් වසර කීපයකම ඉඳල තාත්තා රජයට, ජනාධිපතිතුමාට පිටරටවල්වලින් එල්ල වෙන තර්ජන ගැන හුඟාක් තරහෙන් කම්පාවෙන් තමයි හිටියේ. මීට වසර කීපයකට කලින් මානව හිමිකම් ප්‍රශ්න ලංකාවට ආපු වෙලාවේ ඉඳලම, ඇයි අපේ රටට, ජනාධිපතිතුමාට මේ අය මේ විදිහට හිරිහැර කරන්නෙ? කරදර කරන්නෙ කියලා තාත්තා හිතින් දුක් වුණා. දැන් ත්‍රස්තවාදය ඉවර කරල මුළු ලංකාවෙම සාමය තියෙනවා. රට සංවර්ධනය වෙනවා කියමින් ඒ ගැන සතුටින් කතා කළා.

මීට අවුරුද්දකට කලින් ලංකාවට එරෙහිව යුද චෝදනා ගැන පරීක්ෂණ පවත්වන්න යෝජනා ආ දා ඉඳලම තාත්තා එයට විරෝධය දක්වමින් යම් යම් දේ ප්‍රකාශ කළත් මේ විදිහට ජීවිතේ නැති කර ගනීවි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. තාත්තා ඉපදිලා තිබෙන්නේ ගාල්ලේ. ඒ 1941 වසරේදියි. ඒ කාලෙ පළමුවැනි ලෝක යුද්ධය පැවැතුණු වකවානුව. සමහරවිට තාත්තා යුද සමයක ඉපදුණු නිසාම මෙතරම් රට ගැන හිතන්න ආදරේ කරන්න පුරුදු වෙන්න ඇති කියලත් අපිට හිතෙනවා.

තාත්ත ඉගෙන ගෙන තිබෙන්නේ ගාල්ල තෙල්ලමුරේ දුටුගැමුණු විදුහලෙන්. අධ්‍යාපනයෙන් පස්සේ 1962 දී ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවා බළකායේ පළමු වන රෙජිමේන්තුවට බැඳිලා එහි 1983 වන තුරුම යාපනය, මන්නාරම, මත්තෙගොඩ, පොල්හේන්ගොඩ, පනාගොඩ යන ප්‍රදේශවල සේවය කළා. තාත්ත හමුදා සේවය ගැන කතා කළේ හරිම ආඩම්බරයකින් වගේම ගෞරවයකින්. ඉස්සර හමුදාවේ තිබුණු දේවල්, විනය ගැන හරිම ආඩම්බරයෙන් තමයි කතා කරන්නේ.

1965 දී තමයි තාත්ත විවාහ වෙලා තියෙන්නෙ. අපේ අම්මා රොසලින් වීරසිංහ. විවාහ වුණාට පස්සේ මාලබේ තලාහේන පිහිටි අම්මාගේ නිවසේ තමයි පදිංචි වෙලා තිබෙන්නේ. තලාහේනෙ තමයි අපේ මහගෙදර තිබෙන්නේ. 2010 වසරේදි අපේ අම්මා නැතිවුණා. තාත්තා මාස 6 ක් විතර තනිවම ඒ නිවෙසේ ජීවත්වුණා. පස්සෙ, මගේ ඉල්ලීමට මගේ ගෙදර නවතින්න ඔහු කැමැති වුණා.”

“එදා ඉඳල තාත්තා මියයන තුරුම ජීවත් වුණේ කලල්ගොඩ අපේ නිවෙසේ. ගෙදර වැඩ කටයුතුවලට මට හරියට උදව් කරනවා. කිසිම මානසික ලෙඩක්, අසනීපයක්, තාත්තට තිබුණෙ නැහැ. හොඳ ශරීර ශක්තියෙන් හිටියා. මටත් අයියටත් අක්කටත් පුදුමයි තාත්තා මේ කරගත්ත දේ ගැන. හැමදාම තාත්තා පාන්දර 4.00 වෙනකොට අවදි වෙනවා. නැගිටලා ව්‍යායාම කටයුතු කරල මුහුණ සෝදගෙන බුදු පහන තියලා තමයි දවසේ වැඩ කටයුතු අරඹන්නේ.

හැමදාම පත්තර බලනවා. ජාතික රූපවාහිනිය, ගුවන්විදුලි වැඩසටහන් එකක් නෑර නරඹනවා. අහනවා. විශේෂයෙන්ම රට ගැන දේශපාලනය රටේ සංවර්ධනය ගැන තාත්තා හරියට විමසිලිමත් වුණා. රටේ තත්ත්වය ගැන හොඳ අවබෝධයක් තාත්තට තිබුණා. පත්තරේ හරි ගුවන්විදුලියෙ හරි රට ගැන හොඳ ප්‍රවෘත්තියක් කියවන්න, අහන්න ලැබුණොත් ඒ ගැන හරියට සතුටු වෙනවා. ඒ ගැන අපිත් එක්කත් කියලා උදම් අනන සිරිතක් එයාට තිබුණා.

මට මතකයි යුද්ධය ඉවර වුණාම හරියට ඒ ගැන සතුටු වුණා. නමුත් විවිධ චෝදනා කියමින් ලංකාවට ප්‍රශ්න එනකොට ඒවා ගැන හිතමින් දුක් වුණා. සමහර වෙලාවට ජනාධිපතිතුමාට සහයෝගය දෙන්නේ නැහැ කියලා බැණ වැදිල මැති ඇමැතිවරුන්ට පවා තාත්තා ලිපි ලියා යැව්වා. ඒ වගේ ජනාධිපතිතුමාටත් ලිපි ලිව්වා. එතුමා ගැන ගීතයක් පවා ලියා තිබෙනවා. රජය කරන සංවර්ධන වැඩ ගැන හුඟක් සතුටින් කතා කළා.”

“මේ අවාසනාවන්ත සිද්ධිය වුණු දවසෙත් තාත්තා සාමාන්‍ය විදිහට එයාගේ දෛනික වැඩ කටයුතු කරල උදෙන්ම ඇඳගෙන මාලබේ මහගෙදරට ගිහින් එන්න යන බව මට කිව්වා. මමත් දුවගේ පාසලේ ගුරු දෙගුරු රැස්වීමකට සහභාගි වෙන්න ගියා. උදේ 11.00 ට විතර ජාතික රෝහලෙන් මට දුරකථන ඇමැතුමක් ලැබුණා. එයින් පැවැසුණේ තාත්තා ගිනි තබාගෙන කියලයි. මට තාත්තත් දුරකථනයෙන් කතා කළා. “ඔයා දුක්වෙන්න එපා. මංකැමැත්තෙන් මේ දේ කරගත්තේ” කියලා කිව්වා.

තාත්තා හරි නිහඬ චරිතයක්. එයා ගමේ කා එක්කවත් වැඩි ආශ්‍රයකට ගියේ නැහැ. අවශ්‍ය දේකට කතාබහ කළා ඇරෙන්න. ඒ වගේම එයාගෙන් කාටවත් කරදරයක් තිබ්බෙ නැහැ. තමන්ගෙ පාඩුවෙ හිටපු කෙනෙක්. ඒත් රටට අසීමිතව ආදරේ කළා. රටට අවැඩක් වෙනවනම් ඒ ගැන දැඩි ලෙස කම්පාවට පත්වෙන හිතක් තිබුණා. 2005 වසරේදී එයා යම් විදිහකට මැරුණොත් මරණෙ වැඩ කටයුතු කරන්න මල් ශාලාවකට මුදල් පවා තාත්තා ගෙවලා තිබුණේ. මල් ශාලාවෙන් තාත්තගේ මරණය සම්බන්ධ වැඩ කටයුතු නොමිලේ කරන්නත් ඉදිරිපත් වෙලා තිබෙනවා.

මා දන්න තරමින් තාත්තගේ හිතේ දුකකට කියලා තිබුණේ එයාගෙ දරුවෙක් හමුදා සේවයට එක් කරන්න බැරිවීම වෙන්න ඇති. 1983 දී විශ්‍රාම ගියත් යුද සමයේ විශ්‍රාමිකයන් යළිත් හමුදාවට කැඳවූ අවස්ථාවේ තාත්තත් එයට එකතු වෙන්න කැමැත්තෙන් හිටියත් අම්මා එයට කැමැති වුණේ නැහැ. ඒ නිසා තාත්තට නැවත හමුදා සේවයේ නිරත වෙන්න බැරි වුණා. පස්සේ අයියාව හමුදාවට බඳවන්න උත්සාහ කළත් අම්මා එයටත් කැමැති වුණේ නැහැ. මේ හින්දා තරමක සිත්තැවුලක් තිබුණා. ඒ ඇරෙන්න වෙන කිසිම කරදරයක් දුකක් තාත්තට තිබුණෙ නැහැ.” නෙල්කා මහත්මිය හැඬු කඳුළින් අප සමඟ කීවාය.

මෙම මරණය පිළිබඳ පොලිස් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. එල්. එම්. සේනානායක මහතා විසින් පවත්වන ලදී. කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහමඩ් අෂ්රොෆ් රූමි මහතා ඉදිරියේ මේ පිළිබදව පැවැති මරණ පරීක්ෂණයේදී ප්‍රථමයෙන් සාක්කි දුන්නේ කොල්ලුපිටිය පොලීසියේ පොලිස් කොස්තාපල් අම්ඹුළුවාවේගෙදර ප්‍රසන්න එදිරිසිංහ මහතායි.

“සිද්ධිය වූ දින එනම් සැප්තැම්බර් 2 වැනිදා කොල්ලුපිටිය පොලීසිය ඉදිරිපිට දොරටුව අසල මම රාජකාරි බාර ගත්තා. මෙහි රාජකාරියේ යෙදී සිටින විට උදේ 10.10 ට පමණ පොලිස් ස්ථානයේ ඉදිරිපිට පදික වේදිකාවේ ගින්නක් ඇවිළෙන බව පෙනුණා. ඊට පසු මම දැක්කා ඒ ගින්දරේ මනුෂ්‍යයකුගේ සිරුරක් ගිනිදැල් වෙලාගෙන දැවෙනවා. මම පොලීසිය ඇතුළට කෑගහගෙන ගිහින් පාපිස්සක් අරගෙන ඇවිත් ගිනි ගන්නා මිනිස් සිරුරේ ගින්න නිවන්න උත්සාහ ගත්තා.”

මේ වෙලාවෙ පොලීසියට ඇවිත් හිටපු සිවිල් අයත් පැමිණ ගිනි ගනිමින් සිටි පුද්ගලයාගේ ගින්න නිවන්න උත්සාහ කළා. පසුව පොලිස් ප්‍රථමාධාර ඇඳ ගෙනල්ලා ඒ ඇ‍ඳේ ලෙඩා තියාගෙන පොලිස් ජීප් රථයකින් අපි ලෙඩා කොළඹ ජාතික රෝහලට ඉක්මනින්ම රැගෙන ආවා.”

“රෝගියා රැගෙන එන අතරේ ඔහු අපට කිව්වා මාව බේරාගන්න එපා ජනාධිපතිතුමාට ලියුමක් දීලා තියෙනවා ඒ ලියුමේ ඔක්කොම විස්තර ටික තිබෙනවා කියලා. අපි ඒ අවස්ථාවේදී ඔහුගෙන් ප්‍රශ්න කළා නම මොකක්ද කියලා. එතකොට කිව්වා පියසේන කියලා. ගම කලල්ගොඩ හමුදාවේ වැඩ කළ බවත් සඳහන් කළා. ලියුමක් ගැන ඔහු සඳහන් කළත් ලියුමක් අපට හම්බ වුණේ නැහැ. සිද්ධිය වූ ස්ථානයේ පැට්රල් දැමු ප්ලාස්ටික් බෝතලයක් තිබී හමුවුණ බව ද පොලිස් කොස්තාපල් ප්‍රසන්න සංජීව තම සාක්ෂියේ සඳහන් කර තිබිණි.

“මියගිය පියසේන මහතාගේ පුත් තෙල්ලඹුරේ විතානගේ චන්දන ප්‍රියන්ත (47) සාක්කි දෙමින් මෙසේ කීය. “මියගොස් සිටින්නේ මගේ පියා. මගේ මව මීට අවුරුදු තුනහමාරකට පෙර මියගියා. අපේ පවුලේ තුන්දෙනයි. මට බාල නංගිලා දෙන්නෙක් ඉන්නවා. තාත්තා හමුදාවේ විශ්‍රාමිකයෙක්. තාත්තා ගිනි තියා ගත්තු සැප්තැම්බර් 2 වැනිදා නංගිට කියලා තිබුණා මාලබේ යනවා කියා. පසුව උදේ 10.45 ට පමණ කොල්ලුපිටිය පොලීසිය ඉදිරිපිට තාත්තා සිරුරට ගිනි තියාගෙන බව ආරංචි වුණා.

මේ බව එතැන හිටි නිලධාරියෙක් දැකලා තියෙනවා. තාත්තා එතැන සිටි පොලිස් නිලධාරියකුට කියලා තියෙන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ නවනීදන් පිල්ලේගෙන් ජනාධිපතිතුමාට එල්ල වන තර්ජන නිසා එයට විරෝධය පාන්නට තාත්තාගේ ජීවිතය නැතිකර ගත්තා කියලයි.” තාත්තා රෝහලට ගෙන ගිය 2 වැනිදා රාත්‍රී 10.15 ට පමණ රෝහලෙන් දැනුම් දුන්නා තාත්තා මියගිය බව.

මරණ පරීක්ෂණයේ කටයුතු අවසන් කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය ද පවත්වා අවසන් කර තිබුණ නිසා මේ මරණය පැට්රල් සිරුරට හලාගෙන ගිනිතබා ගෙන සියදිවි නසා ගැනීමක් බව කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහමඩ් අෂ්රොෆ් රූමි මහතා මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය. සිරුරට ගිනිතබා ගෙන මියගිය පි‍යසේන මහතාගේ අවසන් කටයුතු තලාහේන සුසාන භූමියේ ආදාහනාගාරයේදී පවුලේ ඥාතින් විසින් පසුගිය දින සිදු කරන ලදී.

සුනිල් දයා අල්විස්

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!