“ඔබේ හදිසි වියෝවෙන් තිගැස්සුණු ලොකු පුතා මම වෙමි” – මාකඳුරේ මධුෂ්

“ඔබේ හදිසි වියෝවෙන් තිගැස්සුණු ලොකු පුතා මම වෙමි” – මාකඳුරේ මධුෂ්

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

මාකඳුරේ මධුෂ්ගේ පියාගේ හදිසි මරණයත් සමඟ ආරක්ෂක අංශද මධුෂ්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි අවදියකින් සිටියේය.මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි මධුෂ්ගේ පියාගේ අවසන් කටයුතු මාතර නොතියා සූරියවැවට රැගෙන යෑම නිසාම ආරක්ෂක අංශ වෙත මධුෂ් සම්බන්ධව දැඩි සැකයක් හටගෙන තිබිණි.”මල්ලී උඹ තාත්තාගේ මිනිය සූරියවැව බාප්පලාගේ ගෙදර ගෙනියපං, මළ ගෙදර වැඩ මම බලාගන්නම්” මරණය ගැන ආරංචි වෙත්ම මධුෂ් සිය ඥාති සොහොයුරකුට මෙලෙස උපදෙස් ලබාදී තිබිණි.සමරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන් (62) නමැති මධුෂ්ගේ පියා ඉකුත් 22 වැනි දින කළුතර, වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණි.ඉකුත් 28 වැනි දින ඔහු එම රෝහලේදීම මිය ගියේය.සිය ලොකු අම්මාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වී නැවත මාතර බලා යමින් සිටියදී ඔහු මෙම රිය අනතුරට භාජන විය. ඔහුගේ දේහය භාර ගැනීම සඳහා නාගොඩ රෝහලට පැමිණියේ ඔහුගේ දෙවැනි කසාදයේ පුත්‍රයාය. මධුෂ් සහ ඔහුගේ සොහොයුරු කුඩා කලම එම පියා ඔවුන්ව අතහැර දමා වෙනත් කාන්තාවකගේ ඇසුරකට ගොස් තිබිණි.එම කසාදයේ ඔහුට පුත්‍රයෙක් සහ දියණියක් සිටිති.මධුෂ්ව සහ ඔහුගේ බාල සහෝදරයාව ඔවුන්ගේ මව විසින් රැක බලා ගනු ලැබුවද ඇයද ඔවුන් කුඩා කලම මිය ගියාය.තමන්ව හැර ගියද මධුෂ් සිය පියාට අසීමිත ලෙස ආදරය කළේය. ඒ නිසාම මධුෂ් පියාව අවසන් වරට හෝ බැලීමට මෙරටට පැමිණීමට මුලදී අපේක්ෂාවෙන් සිටි බවටද පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී තිබිණි.ඉකුත් 29 වැනි දින දර්ශනීය රථ පෙරහරකින් මධුෂ්ගේ පියාගේ දේහය නාගොඩ සිට සූරියවැව, හත්පෝරුව බලා රැගෙන විත් තිබිණි. හත්පෝරුවේ පදිංචිව සිටින්නේද මධුෂ්ගේ පියාගේ බාල සහෝදරයෙකි.අවසන් කටයුතු සිදුකිරීමට දිනද තෝරා ගත්තේ ඩුබායිහි සැඟවී සිටින මධුෂ්ය. ඒ අනුව ඔහු ප්‍රථමව උපදෙස් ලබාදී තිබුණේ අවසන් කටයුතු ඉකුත් 02 වැනි ඉරුදින කිරීමටය.දින පහක කාලයක් දේහය නිවෙසේ තබා ගැනීමත් නිසා පාතාල මර්දන ඒකකයන් වෙත දැඩි සැකයක් මතු විය. ඒ මධුෂ් කුමන හෝ ආකාරයකට හත්පෝරුවට පැමිණේවි යැයි සිතාය. නමුත් ඉකුත් 31 වැනි සිකුරාදා දින නැවත මධුෂ් සිය ඥාතීන්ට දන්වා ඇත්තේ අවසන් කටයුතු සැප්තැම්බර් 01 වැනි දින සිදුකරන ලෙසටය.මේ මරණය හත්පෝරුව ගම්මානයට මහත් කුතුහලයක් ගෙන දුන්නේය. ඒ පිටගම්කාරයකුගේ මරණයක් එම ගම්මානයේ ගැනීම නිසාය. මියගිය තැනැත්තා ගම්මුන්ද නොදන්නා නිසා ගමේ මිනිසුන් බොහොමයක් මරණ ගෙදරට සහභාගි වූයේ නැත. නමුත් මරණය සරුවට පැවැත්විණි. මල්වඩම් රැගෙන සුඛෝපභෝගී රථ මරණ ගෙදරට ගොඩවිණි. ගමේ මිනිසුන්ට වඩා මරණ ගෙදරට පැමිණ සිටියේ පිටස්තර පුද්ගලයන්ය.මළ ගෙදරට පැමිණෙන අය වෙත ප්‍රණීත ආහාර පානද ලබාදීමට මධුෂ්ගේ ඥාතීහු වගබලා ගත්හ.මරණගේ අතරතුර නිවෙස ඉදිරිපිට විශාල ශෝක පණිවුඩයක් සහිත ඩිජිටල් බැනරයක් එල්ලීමට මරණ ගෙදර සංවිධායකයෝ කටයුතු කළහ.”ඔබේ හදිසි වියෝවෙන් තිගැස්සුණු ලොකු පුතා මම වෙමි” යන්න එහි එක් පාඨයක සඳහන්ව තිබිණි. එම විශාල ඩිජිටල් බැනරයෙහි ශෝක පණිවුඩයට යටින් ඡායාරූපයක්ද විය.එහි සිටින්නේ මධුෂ් ලක්ෂිත නොහොත් “මාකඳුරේ මධුෂ්”ය. ඔහුගේ වර්තමාන ඡායාරූපයක් එහි දැක්වීය. මරණ ගෙදරට පැමිණි සියල්ලෝගෙම නෙත් එම ශෝක පණිවුඩය වෙත යොමු විය.
“පැලඳුවේ දූ දරුවන්ගේ සෙනෙහසේ කිරුළ..
නිහතමානී මිනිසෙකි ඔබ සොඳුරු සරල…
අවසන් මොහොතේ මට ඔබේ පපුව මත මගේ මුහුණ තියාගෙන හදවතේ බුර බුරා නැඟෙන වේදනාව කෑ ගහලා කියන්න මේ කුරිරු සමාජය ඉඩ නොදුන්න බව දන්නවා.තාත්තාගේ පොඩි පුතාගේ ජීවිතය උදුරාගත් ධනපති පන්තියේ දේශපාලන නරුමයන් වැජඹෙන විට නිහඬ පිය සෙනෙහස වේදනාවෙන් විඳි දුක තුනී කර ගන්නට අවි ගන්න දෙවරක් සිතුවත් පැකිළෙන්නේවත් නැත්තේ සංවේදී ප්‍රේමයට.රටට සමාජයට වින කරන වුන් අකා මකා දමන්නට අවසන් වරට දිවුරා සපථ වෙමි.
“රටක් පරසිදු පුතකු බිහිකළ පියෙකි නුඹ මරණය ද පසු කළ
ඔබේ හදිසි වියෝවෙන් තිගැස්සුණු ලොකු පුතා මම වෙමි”
දිනය ඉකුත් 1දාය. මධුෂ්ගේ පියාගේ අවසන් කටයුතු කිරීමට ඔහුගේ ඥාතීහු හිත මිතුරෝ ලකලෑස්ති වූහ.එදින මධුෂ්ගේ සමීපතමයෝ රාශියක් හත්පෝරුවට පැමිණ සිටියහ. ඒ අතර ප්‍රබල පාතාල නායකයෝද වූහ.පාංශුකූලය සඳහා ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේද වැඩම කළහ. අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු ආරම්භ විණි.ආගමික වතාවත්වලින් අනතුරුව මධුෂ්ගේ ඥාතීහු දේහය පවුලේ සුසාන භූමිය වෙත රැගෙන යෑමට පටන් ගත්හ. මල් වඩම් පෙරටු කරගත් එම පෙරහර නිවෙසින් පිටත් වූයේ ඉර අවරට යෑමට හෝරා දෙකකට පමණ පෙරය.ඒත් සමඟම හත්පෝරුව ගම්මානය ඉහළින් හෙලිකොප්ටරයක් ශබ්දය නංවමින් පැමිණියේය. මධුෂ්ගේ බාප්පාගේ නිවෙසට ඉහළින් දෙතුන් වරක් කැරකුණු හෙලිකොප්ටරය අවමංගල්‍ය පෙරහරට මල් ඉසීමට පටන් ගත්තේය.ගම්වාසීන්ද ගමට අහසින් පැමිණි මේ අමුත්තා දිහා විපරම් කරමින් බැලූහ.අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ මධුෂ්ගේ ළඟම ඥාතීහු පවා මින් පුදුමයට පත්වූහ.නිවෙසේ සිට පවුලේ සුසාන භූමියට යන තෙක්ම මධුෂ්ගේ පියාගේ දේහයට හෙලිකොප්ටරයෙන් මල් ඉසීය. මල් වැස්සෙන් මධුෂ්ගේ පියාගේ ඉස්තරම් මිනී පෙට්ටියද සැරසිණි.මධුෂ්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පාතාල මර්දන ඒකකයන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කරනු ලැබීය.පියා වෙනුවෙන් මෙම කටයුත්ත සිදු කිරීම සඳහා මධුෂ් තෝරාගෙන ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් නමැති ඔහුගේ ගෝලයෙකි.මධුෂ්ගේ හෙරොයින් සහ කේරළ ගංජා ජාවාරමට අමතරව දිනේෂ් විසින් මුදල් පොලියට ලබා දීමද සිදුකරන බව පැවැසේයි.මධුෂ් මේ සඳහා දිනේෂ්ට රුපියල් ලක්ෂ තුනක මුදලක් ඔහුගේ ගිණුමට බැර කර ඇති බවද පාතාල මර්දන ඒකකය සඳහන් කරයි.තම මිතුරා වෙනුවෙන් දිනේෂ්ද නොබියව මෙම කටයුත්ත භාර ගෙන ඇත.වැඩේ භාර ගත් දිනේෂ්ට මධුෂ් පසුව තවත් මුදල් පසුව දමා ඇති බවද පැවැසේ. ඒ සියල්ල දිනේෂ් අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් වැය කර ඇත.ඩුබායි හි සැඟවී සිටින මධුෂ්, සිය පියාගේ අවමංගල්‍ය උත්සවය නව තාක්ෂණය ඔස්සේ එරට සිට නැරැඹීමටද ක්‍රියා කිරීමට අමතක නොකළේය.

(Visited 70 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!