උසාවියට එන අහිංසක කාන්තාවන්ගේ කරාබු ගලව ගන්නා අලුත්කඩේ නීතිඥ හිඟන්නිය

උසාවියට එන අහිංසක කාන්තාවන්ගේ කරාබු ගලව ගන්නා අලුත්කඩේ නීතිඥ හිඟන්නිය

Spread the love
  •  
  •  
  •  
  •  

මිනිස්‌ සමාජයේ භාණ්‌ඩ හුවමාරු ක්‍රමයට ගනුදෙනු සිදු වූයේ මීට වසර හත්අටදාහකට එපිටින් වූ ගල් යුගයේදීය. එකල මිනිසුන් අතර මුදල් භාවිතාවක්‌ නොවිණ. ඔවුන් එදිනෙදා කටයුතුවලදී තමන්ට අවැසි දෙයක්‌ හිමි කර ගනු ලැබුවේ ඊට සරිලන යමක්‌ අනෙකාට දීමෙනි.
මෙය මිනිසුන් ශිෂ්ටාචාරගත වීමේ ආරම්භක යුගය ලෙසින්ද හඳුන්වා දිය හැකිය. එසේ ශිෂ්ටාචාරගත වීම අරඹා එA ගමනේ බොහෝ දුර ගෙවා පැමිණි අපි අද දවසේ නවීන තාක්‍ෂණයේ විශ්මිත යුගයකට ළඟා වී සිටින්නෙමු. නමුත් මිනිසා තවමත් ශිෂ්ටාචාරගත වී තිබේද?
වත්මන් බොහෝ සමාජ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී අද දවසේ එය මිනිසුන් වූ අප ඉදිරියේ මතුවන ප්‍රබල ගැටලුවක්‌ බවට පත්ව තිබෙන්නකි. ශිෂ්ටාචාරගත වීම අරඹා වසර හත්අටදාහක්‌ ගෙවී ගොස්‌ තිබුණද දැනුදු අප අතර සිටිනා ඇතැම් ශිෂ්ට නොවූ තිරිසනුන් මෙන් ක්‍රියාත්මක අවිචාරවත් උන් නිසා සමාජයේ සෙසු සියලු දෙනා ජීවිතයේ එක්‌වරක්‌ හෝ එවන් ගැටලුකාරී අවස්‌ථාවකට මුහුණ දුන්නා නිසැකය.
හොඳ – නොහොඳ, හරි – වැරැද්ද වටහා ගත් අතීත මිනිසා කෙමෙන් සිය ගමන අරඹා ඊළඟ පරම්පරාවට යෂ්ටිය භාර දුන්නද අවසානයට සිදු වූයේ පරපුරෙන් පරපුරට ඒ යෂ්ටිය ගෙන මිනිසා තමන්ගේ ගොඩ වෙනුවෙන් හැල්මේ දිවයැම පමණක්‌ම විය. කාලයෙන් කාලයට ඒ හඹා යැමේ වේගය දෙගුණ තෙගුණ විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මිනිස්‌ පරිනාමයේ මුල පැවති වානර පුරුකේ සිටි, අනුන් මරාගෙන කන උන් තවමත් අප අතර ජීවත් වීමය.
අප මේ සිටිනුයේ සංසාර ගමනේ තවත් එක්‌ නවාතැනක බව වත්මන් සමාජයේ බොහෝ දෙනකුට අද අමතකව තිබෙන්නකි. සියල්ලෝ යනවිට ගෙනියන්නට බොහෝ දේ රැස්‌ කරන්නාහ. මෙහිදී ඇතිවන බරපතලම තත්ත්වය වන්නේ ඉහත කී වානර පුරුකේ උන් ඒ රැස්‌ කිරීම ඉතාම නින්දිත අයුරින් සිදු කරන්නට පෙළඹී සිටීමය.
ඊට එක්‌ පැහැදිලි උදාහරණයක්‌ ඉකුත් සතියේ වාර්තා වූයේ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණ භූමියෙනි. එහිදී ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එක්‌තරා අසරණ වූ ගැහැනියක වෙනුවෙන් පිහිට වී ගනු ලැබූ පියවර මෙරට අධිකරණ ඉතිහාසයේ වැදගත් තැනක ලියෑවිය යුතු බවද එතුමන්ට ගෞරවයක්‌ වශයෙන් මුලින්ම සටහන් කළ යුතුය.
කොළඹ නාවල ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඉතාම තරුණ වියේ පසු වූ (18 හැවිරිදි) හසිතා සමන්තිකා නමැති කාන්තාව ඉකුත් 7 වැනිදා සිය සැමියාද සමගින් කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පැමිණියාය.
ඒ ජංගම දුරකථනයක්‌ සොරා ගැනීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් තම සැමියාට එරෙහිව තිබෙන නඩුවක්‌ සඳහා මෝසමක්‌ ගොනු කරනු පිණිසය. අධිකරණය වෙත පැමිණි සමන්තිකා සැමියාද සමග නීතිඥවරියන් දෙදෙනකු වෙත ගොස්‌ තම අවශ්‍යතාව දැනුම් දී සිටියාය. එහෙත් දුගී බවේ පතුලේම ජීවත් වූ සමන්තිකාට මෝසම ගොනු කිරීම වෙනුවෙන් නීතිඥවරියන් දෙදෙනා වෙත ගෙවීමට මුදලක්‌ අත නොතිබිණි.
ඇතැම්විට සමන්තිකාගේ සැමියාට එරෙහිව ජංගම දුරකථනයක්‌ සොරා ගත්තා යෑයි ලෙසින් චෝදනාවක්‌ එල්ල වීමට ඔවුන්ගේ මෙකී දුප්පත්කම හේතු වූවාද විය හැකිය. එය අපි නොදන්නෙමු. මන්ද එහි නිධාන කතාව වෙනකක්‌ ද විය හැකි නිසාය. ඒ කෙසේ වෙතත් සොරකම යනු සමාජය විසින් පිටුදකින්නකි. එය වරදකි. එහෙත් සමන්තිකා උසාවි පැමිණියේ සැමියා බේරා ගන්නටය. ඉන් පිළිබිඹු වූයේ බිරිඳකගේ සෙනෙහෙබර බැඳීමය.
මෙසේ අධිකරණයට පැමිණි සමන්තිකා නීතිඥවරියන්ට දීමට අත මුදලක්‌ නොවීමෙන් අවසානයේ තීරණයකට එළැඹියාය. සිය සැමියා බේරා ගැනීම වෙනුවෙන් නීතිඥ ගාස්‌තු ලෙස එතෙක්‌ කන පැළඳ සිටි කරාබු දෙක ගලවා නීතිඥවරියන් දෙදෙනාට ලබා දෙන්නට ඇය පියවර ගත්තාය.
“ඕක ඉක්‌මනට ගලවලා දෙන්න.. අපිට තව නඩු තියෙනවා.. පරක්‌කු වෙන්න බැහැ.. උසාවිය ඇතුළට යන්න ඕනේ..” ගැහැනියකට රන් අබරණයක්‌ යනු ඉතා වටිනා සම්පතකි.. එය ස්‌ත්‍රීත්වයේ ස්‌භාවය ය. එහෙත් සමන්තිකා කරාබු යුගල ගලවා නීතිඥ ගාස්‌තු ගෙවීමට සැරසෙද්දී කාන්තාවන් වූ ඉහත කී නිතිඥවරියන් දෙදෙනා හැසිරී තිබුණේ එලෙසිනි.
එහෙත් නීතිඥවරියන් දෙදෙනාට වැඩේ හදිසි වුවද කාලාන්තරයක්‌ තිස්‌සේ සමන්තිකාගේ කනේ තිබූ කරාබු යුගල ලෙහෙසියෙන් ඇගෙන් වෙන්වීමට සූදානම් නොවීය. එක්‌ කරාබුවක බෝලයක්‌ හොඳටම තද වී තිබිණ. නමුත් කරාබු ජෝඩුව අකැමැති වූවාට ඊට ඉඩ දෙන්නට සමන්තිකාට නොහැකිය. ඇයට සිය සැමියා බේරාගත යුතුය. සිරවී තිබූ කරාබු බෝලය ගලවාගන්නට මහත් වෙහෙසක්‌ දැරූ ඇය අවසානයේ උසාවි භූමියේ වූ වතුර කරාමයක්‌ වෙත ගොස්‌ වතුරින් කන පොඟවා කෙසේ හෝ එය ගලවා ගත්තාය.
පසුව නීතිඥවරියන් දෙදෙනා වෙත පැමිණි ඇය දෙකන එළිය කළ ඒ වස්‌තුව සැමියාගේ මෝසමට අදාළ නීතිඥ ගාස්‌තු ලෙස ඔවුන්ට ලබා දී නූතන ගල් යුගයේ ගනුදෙනුව අවසන් කළාය. නීතිඥවරියන් දෙදෙනාද ලහිලහියේ කරාබු යුගලය ඇගෙන් ගෙන අධිකරණය වෙත යන්නට විය.
එහෙත් තමන් මේ සිදු කළේ සමස්‌ත නීතිඥ වෘත්තියම හෑල්ලුවට ලක්‌ කරන තරමේ අකටයුත්තක්‌ බව කෙසේ හෝ පොදි බැඳීම අරමුණු කර ගත් ඔවුන්ට ඒ මොහොතේ නොසිතුණා විය යුතුය. සමාජයේ ප්‍රචලිත අයුරින් වෘත්තිය අනුව පස්‌ පවින් එක්‌ පවක්‌ නිරායාශයෙන් කරන්නට සිදුව තිබෙන ඔවුන් දෙදෙනාට බුදු බණ අනුව තණ්‌හාව යනු ශෝකය උපදවන්නක්‌ යෑයි සිතන්නට තරම් හදවතේ ඉඩක්‌ නොතිබෙන්නට ඇත.
එහෙත් මෙහිදී බරපතලම ගැටලුව මතුවන්නේ මිනිස්‌කම පසෙකලා සාරධර්ම පිරිහුණ වුන් ලෙස කටයුතු කළ මෙකී නීතිඥවරියන් දෙදෙනා සමන්තිකාගේ කරාබු දෙක නීතිඥ ගාස්‌තු ලෙස අත මිට මොලවා ගනිද්දී සමස්‌ත නීතිඥ වෘත්තියට එල්ල වන සමාජ අපවාදය පිළිබඳ කල්පනා කිරීමේදීය.
එක මකුණකු කෑ කල සියලු මකුණන් මැරීම අසාධාරණය. නමුත් මකුණකු කෑ විට සියලු මකුණන් කන්නේ යෑයි ලෙසින් සිතන මිනිස්‌ සිතුවිල්ලද වැරදි නැත. මන්ද මකුණා වනාහි මකුණාම වන නිසාය. මේ හමුවේ මකුණාගෙන් පීඩා විඳි කෙනා පතන්නේ සියලු මකුණන් වඳ වේවා යෑයි කියාය. එය මිනිසුන්ගේ හැටිය.
එහෙත් මකුණාගේ කතාව එසේ වුවද ඉහත කී නීතිඥවරියන් දෙදෙනා මෙන් මේ රටේ සියලු නීතිඥ මහත්ම මහත්මීන් තම සේවාදායකයාගේ කරාබු, මාල, වළලු ගලවාගෙන නඩු කතා කරන්නට නොයන්නේය.
ඇතැම් සීමිත පිරිසක්‌ සදෙව් ලොවින් මිහිබට සක්‍රදේවේන්ද්‍රයන්ගේ බලය ලැබුණාක්‌ මෙන් අරක කරන්නම්, ඇප අරගෙන දෙන්නම්, නඩුව නිදහස්‌ කරන්නම් සහ වැඩේ ෂුවර් ආදී ලෙසින් වහසි බස්‌ කියමින් නීතිය හමුවට එන මිනිසුන් රවටා ගසාකන්නට සැරසී සිටියද තම සේවාදායකයා වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිට ප්‍රශස්‌ථ සේවයක්‌ සලසා තමන්ගේ වෘත්තීය මට්‌ටම අනුව සාධාරණ මුදලක්‌ උපයා ගන්නා නීතිඥ මහත්ම මහත්මීහු බහුතරයක්‌ අදටත් මේ රටේ සිටින්නාහ.
පොතට අනුව නම් නීතිය සැමට එක හා සමානය. නමුත් ඒ එක හා සමාන නීතිය ඉදිරියට එන පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින්නට අද මෙරට නීති ක්‍ෂෙත්‍රයේ මෙවන් නීතිඥ කොටස්‌ දෙකක්‌ බිහිවී තිබෙන්නේ සහ ගාස්‌තුව ලෙස කරාබු ගලවාගත් ඉහත නීතිඥවරියන් දෙදෙනා පරිදි නීතිඥ වෘත්තිය හෑල්ලු කරන අන්දමේ පිරිස්‌ ක්‍ෂෙත්‍රයට ඇතුළත්ව සිටින්නේ කෙසේද? එයද මෙහිදී විශේෂයෙන් විමසා බැලිය යුතුය.
කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ඡේHෂ්ඨ නීතිඥවරයකුම හෙළි කළ පරිදි යම්කිසි නීතිඥවරයෙක්‌ හෝ වරියක්‌ තමන් පෙනී සිටින නෛතික කටයුත්තක්‌ වෙනුවෙන් මුදල් අය කිරීමේදී පිළිගත් සදාචාර සම්පන්න ක්‍රමවේදයක්‌ ඇත.
නීතිඥවරයාගේ පරිණතභාවය සහ ඔහු පෙනී සිටින නඩු පිළිබඳ දක්‌වන විශේෂඥභාවය මෙන්ම ඔහු කොපමණ නඩු සංඛ්‍යාවකදී සිය සේවාදායකයාට ජය අත්කර දී තිබේද ආදී වශයෙන් වූ කරුණු ගණනාවක්‌ එහිදී සාධක ලෙස යොදා ගන්නේය.
නීතිඥ වෘත්තියේදී එවන් පරිණත නීතිඥයකු හා සමාන ගාස්‌තු අය කරන්නට නවක නීතිඥයකුට නොහැක. එසේ කිරීමට යැම සාදාචාර විරෝධී ක්‍රියාවක්‌ බව නීතිඥ ක්‍ෂෙත්‍රයේ පිළිගත් මතය වී ඇත.
එසේම මෙරට නීතිඥ වෘත්තීය සඳහා අචාර ධර්ම පද්ධතියක්‌ද පවතින්නේය. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.ආර්.බී. අමරසිංහ මහතා විසින් රචනා කරනු ලැබූ වටිනා ග්‍රන්ථයක්‌ එහිදී ගුරුකොට සලකන්නට අද මෙරට නීතිඥ වෘත්තිය තෝරාගත් බහුතරය කටයුතු කරන්නාහ. ඔවුන් සඳහන් කරනුයේ එම ග්‍රන්ථය පරිහරණය කළේ නම් ඕනෑම නීතිඥයකු තුළ ස්‌වයං පාලනයක්‌ නිර්මාණය බවකි.
එසේම නීතිඥ ක්‍ෂෙත්‍රයේ ඇතැමුන්ම පවසන පරිදි වර්තමානයේදී මෙරට නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ක්‍ෂෙත්‍රයට පැමිණෙන නවකයන් සම්බන්ධවද ගැටලු රැසක්‌ පවතින්නේය.
“අතීතයේදී නීතිඥවරයකු ලෙස විභාගය සමත් වූවන් අධිකරණය ඉදිරියේ නඩු කටයුත්තකට තනිවම පෙනී සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු යටතේ ලබා ගත් වසර ගණනාවක පුහුණුවකින් පසුවයි.. එහිදී නවකයා සියල්ල පිළිබඳ නිසි පුහුණුවක්‌ ලැබුවා.. යම් පරිණත බවක්‌ සමඟයි ඔහු අධිකරණය ඉදිරියට පැමිණියේ.. නමුත් අද ඒ කටයුත්ත පෙර ආකාරයෙන්ම සිදු වෙන්නේ නැහැ..
නවකයන් ඉතා කෙටි කලකින් නඩු කතා කරන්නට අධිකරණය ඉදිරියට එනවා.. ක්‍ෂෙත්‍රයේ පිරිහීමට එයත් හේතුවක්‌ වෙලා තිබෙනවා.. එහිදී ඔහුට කිසිවක්‌ පිළිබඳ නිසි අවබෝධයක්‌ නැහැ.. එවන් පුද්ගලයන් තමයි අද වැඩියෙන්ම සේවාදායකයන්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කරමින් කටයුතු කරන්නේ..” මෙරට නීති ක්‍ෂෙත්‍රයේ පරිණත නීතිඥවරුන්a නවකයන් වෘත්තියට පිවිසීමේදී පවතින ගැටලුව පිළිබඳ අදහස්‌ දක්‌වනුයේ එසේය.
ශ්‍රී ලංකාවේ අදටත් ක්‍රියාත්මකව තිබෙනුයේ එංගලන්ත නීතිය ය. නමුත් නීතිය එංගලන්තයෙන් ලැබුණද අතීතයේ පටන්ම නීතිඥ වෘත්තිය සහ සෙසු කරුණු අරබයා එංගලන්තයේ මෙන් ක්‍රියාත්මක බවක්‌ මෙරට තුළ තිබේද?
“නැහැ කොහෙත්ම නැහැ.. එංගලන්තයේ නීතිඥවරයකු ලෙස කටයුතු කරන සෑම පුද්ගලයකුම වසරකට වරක්‌ තමන්ගේ නීතිඥ අවසර පත්‍රය අලුත් කරගත යුතු වෙනවා. එහිදී ඔවුන්ට සිදුවනවා වසරක්‌ පාසා නීතියේ නව වෙනස්‌කම්, තමන්ගේ පරිණතභාවය මෙන්ම දක්‍ෂතා පිළිබඳ අගැයීමකට ලක්‌ කෙරෙන ලිත පරීක්‍ෂණයකට පෙනී සිටින්න..
ඒ ලිත පරීක්‍ෂණයෙන් සමත් වන අයට පමණයි ඊළඟ වසරේදීත් නීතිඥයෙක්‌ ලෙස කටයුතු කිරීමට එංගලන්තයේදී අවසර ලැබෙන්නේ.. එහෙත් ශ්‍රී ලංකාවේ එංගලන්ත නීතිය ක්‍රියාත්මක වුවත් යමෙක්‌ නීතිඥයකු ලෙස දිවුරුම් දීමෙන් පසු මැරෙන තුරාවටම ඔහුට එසේ පෙනී සිටීමට අවස්‌ථාව තිබෙනවා..
මම හිතන්නේ එසේ සිදු නොවිය යුතුයි කියලා.. මොකද එංගලන්තයේ මෙන් නීතිඥ වෘත්තියට ඇතුළත් වන පුද්ගලයා පිළිබඳ වාර්ෂික අගැයීමක්‌ සිදු වෙනවා නම් නීතිඥ වෘත්තියේ ගුණාත්මක බව ඉහළ යැමට එය ප්‍රබල සාධකයක්‌ වන නිසා.. එසේ සිදුවනවා නම් තමන්ගේ ගාස්‌තුව වෙනුවෙන් පහත් වැඩ කරන්නට කිසිවකුටත් ඉඩ ලැබෙන්නේ නැහැ..”
කොළඹ මහාධිකරණය හමුවේ පෙනීසිටින අප මුලින් සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතා නීතිඥ වෘත්තිය පිළිබඳ වර්තමානයේ එංගලන්තයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදය එසේ පැහැදිලි කරන්නට විය.
මෙරට තුළදී නීතිඥයකු ලෙස කටයුතු කරන්නකුට ලැබී තිබෙන වෘත්තීයමය වරප්‍රසාද ද රාශියකි. රැකියාවන් ලෙස ගත් කල නීතිඥ, වෛද්‍ය සහ ඉංජිනේරු ආදී රැකියා සලකනුයේ සමාජයේ සියල්ලන්ටම ළඟා විය නොහැකි සහජ සහ අධ්‍යාපනික දක්‍ෂතා මත නිරාශයෙන් හිමි වන වෘත්තීය මට්‌ටමේ රැකියා ලෙසිනි.
එකී රැකියා ත්‍රිත්වයම වෘත්තීය මට්‌ටමේ තිබුණද වෛද්‍යවරයකුගේ වරදින් රෝගියකු මිය ගිය කල්හි ඒ වෙනුවෙන් නීතිය ඉදිරියට යන්නට රෝගියාගේ ඥතීන්ට යම්කිසි ඉඩක්‌ පවතී. එසේම ඉංජිනේරු වෘත්තිය අරබයා ගත් කලද පවතිනුයේ එවන්ම තත්ත්වයකි.
එහෙත් නීතිඥවරයකුගෙන් සිදුවන වරදක්‌ හමුවේ හෝ අදක්‍ෂතාව හේතුවෙන් අධිකරණයක්‌ මගින් යමෙකු එල්ලුම් ගහට හෙවත් මරණීය දණ්‌ඩනයට නියම කළහොත් එකී නීතිඥවරයාට එරෙහිව නීතිය ඉදිරියට යැමට කිසිවකුටත් අවස්‌ථාවක්‌ හිමි නොවේ. නීතිය නිසාම බිහිවී ඇති නීතිඥ වෘත්තියට කොන්දේසි විරහිතව නීතියේ ආවරණය ලැබී තිබෙන්නේ එලෙසිනි.
රටක වැඩි ආදායම් ලබන්නවුන් රජයට බදු ගෙවීම යනු අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තකි. එහෙත් නීතිඥ වෘත්තියේදී අවශ්‍ය නම් එසේ බදු ගෙවීමෙන් වැළකී සිටින්නටද නීතිඥවරයකු ලෙස කටයුතු කරන්නන්ට ආයාසයකින් තොරවම අවස්‌ථාව ලැබී තිබේ.
නීතිඥවරයා රැකියාව ලෙස සිදු කරනුයේ තවෙකකු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමය. ඔවුන් ගාස්‌තු අයකරනුයේ එකී පෙනී සිටීමේ අගය ලෙසය. එහෙත් නඩුවකට පෙනී සිටින නීතිඥවරයා එය අවසානයේ තම සේවාදායකයාගෙන් Rජුවම අත්පිට මුදලින් ගාස්‌තුව ලබා ගන්නවා මිස ඒ වෙනුවෙන් බිල්පත් ලබා දීමක්‌ සිදු නොකරන්නේය. මේ නිසාම නීතඥවරයකුගේ ආදායම ගණනය කිරීමද අසීරු වේ. නීතිඥ වෘත්තියේදී නීතිඥයකුට ආදායම් බදුවලින් ගැලවී යැමේ අවස්‌ථාව ලැබෙනුයේ එසේය.
මේ සටහන ආරම්භයේදී සඳහන් කළ පරිදි කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියන් දෙදෙනා මෝසමක ගාස්‌තුව ලෙස සමන්තිකාගේ කරාබු දෙක ගලවාගෙන හිත්පිත් නැත්තවුන් ලෙස ගල් යුගයේ ගනුදෙනුවක්‌ සිදු කරනුයේ මෙරට නීතිඥ වෘත්තියේ පවතින වත්මන් ප්‍රමිතිය මෙසේ වී තිබියදීය.
එහෙත් මෙහිදී එක්‌ කරාබුවක බෝලය සිරවී එය ගලවා ගන්නට සමන්තිකා ගත් වෙහෙස නිසාම ඒ මොහොතේ එම සිද්ධිය අධිකරණයේ සිටි මිනිසුන්ගේ නෙත ගැටිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට එය සැළවීමය.
එකෙණෙහි වහා ක්‍රියාත්මක වූ මහෙස්‌ත්‍රාත්වරයා මෙකී ගල් යුගයේ ගනුදෙනුවට සම්බන්ධ වූ නීතිඥවරියන් දෙදෙනා තමන් ඉදිරියට කැඳවා දැඩි ලෙස අවවාද කොට සමන්තිකාගේ කරාබු යුගලය නැවත ඇයට ලබා දෙන්නට කටයුතු කළේය. ඉන් නොනැවතුණු ගිහාන් පිලපිටිය මහතා නිවසට යැමට මුදල් තිබේදැයි ඒ දුප්පතියගෙන්a විමසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රුපියල් දහසක මුදලක්‌ ඇයට ලබා දෙන්නටද කටයුතු කරනු ලැබීය.
සැබැවින්ම කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ එකී මානුෂීය බව අගය කළ යුතුය. එහෙත් වර්තමානයේ මෙරට නීතිඥ වෘත්තිය අරබයා කතා කිරීමේදී පවතින තත්ත්වය ඉහත සඳහන් වූ පරිදි නම් නඩු ගාස්‌තු වශයෙන් හෙට දිනයේත්a සමන්තිකාලාගේ කරාබු පමණක්‌ නොව කන, කර, අත ඇති සියලු වස්‌තූන් ගැලවී නොයනු ඇත්ද?
නීතියේ හිල් තිබිය හැක. එය නීතියේ හැටිය. නමුත් නීතිඥ වෘත්තියේ මේ අන්දමින් හිල් පැවතියහොත් මේ සියල්ල හමුවේ ඒ හිල් තුළින් ගලා යන්නේ රටේ නීතියේ සාරය ය. මේ සියල්ල හමුවේ අප ඒ ටික සඳහන් කරනුයේ නීතිය අරබයා කටයුතු කරනු ලබන අදාළ සියලු බලධාරින්ට යළි යළිත් සිතන්නටය.

සමන් ගමගේ

(Visited 49 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!