“උඹ වාසනාවන්තයි රත්තරන් දුවේ….”

Spread the love
  •  
  •  
  •  
  •  

දරුවන්ට මෙතරම් විපත් වන්නේ මන්ද? සමාජයේ ගුණධර්ම, යහධර්ම කනපිට හැරී තිබෙන නිසාද?
මීගලෑවේ ධනිඳු පුතා හොරු රැගෙන ගොස්‌ ඒ සිද්ධියේ උණුසුම මැකී යන්නටත් පෙර වැල්ලව, ගනේවත්ත, අඹකොළවැව ප්‍රදේශයේ පමරා කේෂානි නමැති අවුරුදු හතරක සුරතල්, ලස්‌සන දැරියක්‌ව කිසියම් අධමයකු විසින් උස්‌සාගෙන ගොස්‌ තිබේ.
මීගලෑවේ ධනිඳු පුතු පැහැරගෙන ගියේ කප්පම් ඉල්ලමිනි. නමුත් පමාරා කේෂානී දැරියව උස්‌සාගෙන ගිය අධමයාට කප්පම් මුදල් ගෙවන්නට තරම් පමාරාගේ පියා සතුව මුදල් නැත.
පමාරාගේ පියා යුද හමුදා සෙබළෙකි. ඔහු අවුරුදු දහයක්‌ හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉන් ඉවත් වූයේ ටික කලකට පෙරය. එතැන් පටන් ඔහු ජීවත් වූයේ රසකැවිලි සාදා ඒවා විකිණීමෙනි. අතමිට හිඟ මේ පවුල ජීවත් වුණේ ඉටිකොළවලින් ආවරණය කර ගත් ඉදිකරමින් තිබෙන පුංචි නිවසකය.
පමාරා, දියණියට වැඩිමල් සොහොයුරෙකු ද, සොයුරියකද සිටී. මොවුන් නිදාගත්තේ එක තැනය. පසුගිය බිනර පෝදා රාත්‍රියේ මොවුන් නින්දට ගියේ සුපුරුදු පරිදිය. බිනර සඳ අහසේ පායා තිබිණි. සඳඑළියේ පැමිණි එකෙකු හෝ කිහිපදෙනකු ඉටිකොළය කපා නිදා සිටි දැරිය උස්‌සාගෙන ගොස්‌ ඇත්තේ අලුයම් කාලයේදීය. දැරිය පිළිබඳව මේ සටහන තබන විටත් කිසිදු හෝඩුවාවක්‌ පොලිසියට ලැබී නොතිබිණි.
අඟහරුවාදා (09 වැනිදා) අලුයම් කාලයේදී කුඩා දරුවකු හඬන හඬක්‌ අසල්වාසීන්ට ඇසී ඇත.
පොලිසිය මේ වන විට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිටී. ඒ කට්‌ටඩියෙකි. මේ කට්‌ටඩියා මේ නිවසට පැමිණ නතර වී භූමිදොaෂයක්‌ ඉවත් කර, පමාරාගේ මවට දේව වරමක්‌ දීමට කටයුතු කර ඇත.
පොලිසිය පවසන පරිදි මේ කට්‌ටඩියා දරුවන්ට දැඩි සේ ලෙංගතු අයෙකි. මේ නිවසට පැමිණ දරුවන්ට කවා පොවා, ඒ දරු පැටව් නාවා සුරතල් කිරීමට පවා මේ කට්‌ටඩියා, ක්‍රියා කර ඇත. මේ කට්‌ටඩියා, පමාරාගේ පියාට හමුවී ඇත්තේ පන්සලකදීය. එලෙස හඳුනාගත් කට්‌ටඩියා, මේ තරමට මේ පවුලට සම්බන්ධ වූයේ, මේ පමාරාගේ පියාත්, මවත් හදි හූනියම් ආදී විකාර දැඩි සේ විශ්වාසයට ගත් නිසාය.
මීගලෑවේ ධනිඳු පුතු රැගෙන ගිය කප්පම්කරුවන් ඒ පුතුගේ ජීවිතයට හානියක්‌ කළේ නැත. ඒ නිසා දරුවා නිරුපද්‍රිතවම යළි මවුපියන්ට ලැබිණි.
පමාරා දුවටත් යළි මවුපිය තුරුලේ උණුසුම් සුව විඳින්නට පින් තිබිණි. මේ ලියන මොහොත වන විට ඇය ආපසු ඒ මරු කටෙන් ගැලවී නිදහස්‌ව සිටින්නීය. එය ඇගේ මෙන්ම මුළු රටේම වාසනාවක්‌ වැන්න.
කුරා කුහුඹියකුටවත් වරදක්‌ නොකළ මේ දැරිවිය තවමත් අන්ද මන්ද වී සිටින්නීය. නිදි පැදුරෙන් තමන් රැගෙන ආ අඳුරට බියෙන් දැස වසාගත් දැරිය ජීවිතයේ අමිහිරිම, බිහිසුණුම මතක අතර තනිවන්නට ද ඇත. නන්නාඳුනන නර රකුසන්ට මැදි වූ සියුමැලි දැරියගේ සිතට නැගුනේ මොනවා දැයි දන්නේ දෙවියන්ම පමණි.
දැන් මේ නරුම මිනිසුන්ගෙන් දරුවන් බේරා ගැනීමට අම්මලාට සිදු වී ඇත. මේ තිරිසනුන් සමග මිනිසුන්ට සටන් කළ නොහැකි බව ඇත්තය. එහෙත් උන්ට දඬුවම් දීමට සමාජයම එක පෙළට සිටගත යුතු බව ලියා තැබිය යුතුය.
තවත් බිහිසුණු අපරාධයක්‌ ගැනද මෙහිදී වචනයක්‌ ලිවිය යුතුය.
ඒ මඩකලපුව, කාත්තන්කුඩි මංජන්කොඩුවායි ප්‍රදේශයේ දියණියකි. ඇය අට හැවිරිදිය. වැස්‌සක්‌ වැටිsණි. මේ දියණියත්. මවත් නිවසේ සිටියදී වැස්‌සට බේරීමට පිලට පුද්ගලයකු ගොඩ විය. වැස්‌ස තුරල් වූයේ නැත.
“දුවේ මේ කුඩේ අරන් මාමාව ඇරලවලා වරෙන්” මව කීවේ මිනිස්‌කමටය.
නිවසට ආ පුද්ගලයා මංජන්කොඩුවායි ප්‍රදේශයේ අයකු නොව පදියතලාව ප්‍රදේශයේ අයෙකි. ඒ මිනිසා කාත්තන්කුඩි ප්‍රදේශයට පැමිණ ඇත්තේ සොයුරියකගේ සුවදුක්‌ බැලීමටය. ඒ අධම පාපී මිනිසා වැස්‌සට කුඩේ දුන් ඒ මවගේ මිනිස්‌කම ද නොතකා තිරිසනකු වී, ඒ දියණිය පාළු නිවසකට ඇද ගෙන ගොස්‌ කෙළෙසා, ගෙල මිරිකා මරා දමා තිබිණි.
ඒ දියණියගේ මවත්, ඥතීනුත්, දියණියව සොයන විට කාලකණ්‌ණි මිනිසා, ඒ මල් කැකුළ තලා පොඩිකර විනාශ කර දමා තිබිණි. රටකට ගිය කලක්‌. මිනිසුන් අතර සිටින තිරිසනුන් මේ විනාශ කර දමන්නේ මිනිසත්කමය. අබුද්දස්‌ස කාලේ ලබුත් තිත්තය. දරුවන්ව විනාශ කරන මේ අධමයන්ට දියයුතු දඬුවම කුමක්‌ද? කෙනකු කියන්නේ මුන්ට රජ කාලේ දඬුවම් දිය යුතු බවය. කාත්තන්කුඩි ප්‍රදේශයේ දියණිය කෙළෙසා, ගෙල සිරකර මරා දැමූ අධමයාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඌ කළ තිරිසන් අපරාධය හමුවේ අපට පැහැර ගැනීමට ලක්‌ව සිටින වැල්ලව, පමාරා දියණිය පිළිබඳව බිය සිතේ.
මේ රටේ නීතිය පණ මදි යෑයි යමෙකුට සිතෙන්නට පුළුවන. පමාරා කේෂානි දැරියත්, මීගලෑවේ ධනිඳු පුතු පැහැර ගෙන යැමත් එක ළඟ සිදු වූ අපරාධ දෙකකි.
මීට කලකට පෙර මතුගම සමන් කුමාර, පැහැරගෙන ගිය කප්පම්කරුවන් සමන් කුමාරව මරා දමනු ලැබීය. කප්පම්කරුවන් පිටස්‌තරයන් නොව ඒ දරුවාගේම ඥති මාමෙකි. හෙතෙම පොලිස්‌ අත්අඩංගුවට ගැනිණි. නඩු අසා සිරගත කෙරිණි. දැන් නිදහස ලබා පෙරදා මෙන් මේ මිනිස්‌ සමාජයේ ජීවත් වෙති.
නමුත් හයක්‌ හතරක්‌ නොදත්, කටේ කිsරිසුවඳත් සමග සමන් කුමාර මළවුන් අතරට ගියේය. 1999 වසරේදී සදීප ලක්‍ෂාන් නමැති දරුවා පැහැර ගැනිණි. දැන් මෙය මහ අපරාධ රැල්ලක්‌ බවට පත්ව ඇත. අතමිට සරු පවුල්වල දරුවන් පමණක්‌ නොව අතමිට හිඟ පවුල්වල දරුවන්වත් පැහැරගෙන යන්නට පටන් ගෙන තිබේද?
දරුවන් පැහැරගෙන යන, දරුවන් කෙළෙසා දමන, දරුවන්ව මරා දමන උන්ට සියුමැලි දඬුවම් ප්‍රමාණවත්ද?
ස්‌ත්‍රී දූෂකයන්ට දෙන දඬුවම් ප්‍රමාණවත්ද?
සමාජයේ කතිකාවක්‌ ගොඩනැගී ඇත.
අල්ලපු වත්තට පැන පොල් ගෙඩියක්‌ අහුලාගන්නා අයකු අල්ලා සිරගත කරන්නට පියවර ගන්නා පොලිසියකට දරුවන් පැහැරගන්නා, දරුවන් කෙළසන, ඒ දරුවන්ව මරා දමන අමනයන් හසු වූ විට ක්‍රියාත්මක කරන්නට හොඳ දැඩි නීතියක්‌ අවැසිය.
සමායම කනපිට හැරුණේ 1977 න් පසුවය. විවෘත ආර්ථිකය හරහා ගොඩ නැඟී ඇති මුදල් බලය මේ සමාජයේ ගුණ දම් ද මුදල්වලට යට කර ඇත. ඒ නිසා සමාජයේ ගුණදම් වඩන්නට ජාතික වැඩසටහනක අවශ්‍යතාවද මතුව ඇත.
දරුවන් පැහැරගෙන යැම, කප්පම් ඉල්ලීම, කෙළසීම, මරා දැමීම යනු මේ රටේ අනාගතය මරා දැමීමකි. රටට හෙටක්‌ තිබෙන්නේ වත්මන් පරපුර ගුණදම්වලින් මෙන්ම දැනුමෙන් සන්නද්ධ වූ විටය.
දේශපාලනඥයන් මොන තරම් උඩට උස්‌සා දරුවන් වඩාගනු ලැබුවත්, දරුවන්ගේ හිස්‌ මොන තරම් ලෙංගතුකමින් පිරිමැද්දත්, දරුවන්ට රැකවරණයක්‌ නොමැතිනම් ළමා ලෝකයක්‌ නොමැති නම් ඉන් වැඩක්‌ නැත. දරු පරපුර රකිමු. සුරකිමු. රට ගොඩනඟනවා කියන්නේ ඒකටය.

ශිරාන් රණසිංහ

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!