“ඉල්ලුවේ දෙමළ ඊළාම්-හම්බුනේ ජපන් ජීප්” යාපනයේ තාප්ප වල විරෝධතා

Spread the love
  •  
  •  
  •  
  •  

‘එක්තරා හමුදා නිලධාරියෙක් 2008 වසරේදී මගේ මිත්‍රයෙකු සමග කියා තිබුණා අපි යුද්ධය අනිවාර්යයෙන් දිනනවා ඊළාම්. ඊට පස්සේ අවුරුදු 25ක් උතුරෙන් යන්නේ නැතිව ඉන්නවා කියලා. අද යුද හමුදාව උතුරේ ස්ථීර ගොඩනැගිලි හදන විදිහට අපට තේරෙනවා ඒ කතාව ඇත්තක් කියලා. නමුත් මම යුද හමුදාවට කියන්න කැමැතියි එදා ලංකාවට ඉන්දියානු සාමසාධක හමුදාව ආවේ අවුරුදු 100කට ලංකාවෙන් යන්නේ නැහැ කියලා. නමුත් අවුරුදු දෙකක් යද්දී ඉන්දියානු හමුදාවට හට්ටි මුට්ටි අකුලාගෙන ලංකාවෙන් යන්න වුණා. මිනිස්සු එකක් හිතනකොට දෙයියෝ තව දෙයක් කරනවා.” මෙසේ කීවේ වෙන කවුරුත් නොව උතුරු පළාතේ මහ ඇමැති සීී.වී. විග්නේෂ්වරන් මහතාය.
කිළිනොච්චි මූලංකවිල් ක්‍රිෂ්ණපුරම් ගම්මානයේ ඉදිකෙරෙන කුකුළු පැටවු අභිජනන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලකට පසුගිය 11දා මුල්ගල තැබුණි. ඊට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විග්නේෂ්වරන්  මහතා පැමිණි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශ්‍රීධරන් සුමන්තිරන් ඇතුළු කීපදනෙකුද සහභාගි වූහ. එහිදී ජනතාව අමතා ඉහත ප්‍රකාශය කළ විග්නේෂ්වරන් මහතා හමුදා බුද්ධි අංශවලටද දෙහි කැපුවේය. “හමුදාවේ අය මෙතනට ඇවිත් ඡායාරූප අරගෙන ජනතාව බය කරනවා. මම මේ දේවල් අනුමත කරන්නේ නැහැ. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ඡායාරූප ගන්න අයගේ ඡායාරූප අරගෙන මට දෙන්න කියලා. එතකොට මම දකුණට ගිහින් ප්‍රසිද්ධ කරන්නම් උතුරේදී හමුදාව  කරන දේවල් කියලා” යැයිද කීවේය.
මහ ඇමැති විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශය ඔහුගේ තනතුරට කෙතරම් ගැළපේදැයි දෙවරක් සිතා බැලිය යුතුය. ඔහු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව තීන්දු තීරණ ගන්නේ කෙසේද කියා ඔහු හොඳින්ම දනී. ඔහුට හිමි බලතලද ඔහු හොඳින් දනී. මීට පෙරද මෙම තීරුවෙන් පෙන්වා දී ඇති පරිදි    විග්නේෂ්වරන්  මහතා මෑත කාලයක සිට පරස්පර විරෝධී ප්‍රකාශ කීපයක්ම කර තිබුණි. ඇතැම් විට එම ප්‍රකාශ ගැලරියට කරන ප්‍රකාශ විය හැකිය.

මේ අතර, රජය විසින් උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ඇතුළු ඇමැතිවරුන්ට තීරුබදු රහිතව ජීප් රථ ආනයනය කර ලබාදීමට පියවර ගෙන තිබුණි. මෙම අධික සුඛෝපභෝගී එක් ජීප් රථයක් ලංකාවේ වෙළෙඳපළ මිල රුපියල් කෝටි දෙක ඉක්මවන බව කියයි. මෙම ජීප් රථ ප්‍රදානයේදී සිදුවූ සිනහවට ලක්වූ කරුණ වූයේ ජීප් රථ ලබාගැනීම සඳහා මහ ඇමැතිවරයා හෝ එකදු ඇමැතිවරයකු හෝ නොපැමිණීමයි. ඔවුන් තම ‍ලේකම්වරු එවා තිබූ අතර, ‍ලේකම්වරු විසින් ආණ්ඩුකාර පී.ඒ. චන්ද්‍රසිරි මහතා අතින් මෙම සුපිරි රථ භාරගන්නා ලදී. රජය විසින් දෙන මෙම වරදාන දේශපාලන ඇමක් ලෙස දකින්නේනම් කළයුතු වන්නේ ජීප් රථ    ප්‍රතික්‍ෂේප  කිරීමයි. එසේත් නැතහොත් කළ යුත්තේ ජනතාවගේ ප්‍රජා සේවා කටයුතු සඳහා යෙදවීමයි. එහෙත් මේ දෙකම සිදුවූයේ නැත ලබාගත් අධි සුඛෝපභෝගි ජීප් රථවල නැගී ගාම්භීරව උතුරේ සාංචාරය කරති. පළාත් සභා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි උතුරේ මහ ඇමැතිවරයාගේ නිල නිවස සඳහා රජය විසින් මසකට රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් කුලී වශයෙන් ගෙවන බවද සඳහන්ය.
උතුරේ දෙමළ දේශපාලනය තුළ දකින්න ලැබෙන මේ තත්ත්වය අද ඊයේ පමණක් දකින්නට ලැබුණු දෙයක් නොවේ. මීට දශක කීපයකට පෙරද මෙවැනි සිදුවීම් වාර්තා විය. 1970 දශකයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ උතුර පුරා ජාතිවාදය වපුරවමින් තරුණ කොටස් තුළ “ඊළාම්” සිහිනයක් මැව්වෝය. එසේ තිබියදී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත ආනයනය කළ ජපන් ජීප් රථ දුන්නේය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණද මන්ත්‍රීවරුද මෙම ජීප් රථ ලබා ගත්හ. ඉල්ලුවේ දෙමළ ඊළාම්, ලැබුණේ ජපන් ජීප්” යනුවෙන් දෙමළ තරුණයන් තම විරෝධය යාපනය මහරරෝහල ඉදිරිපිට තාප්පවල හා විශ්ව විද්‍යාල තාප්පවල සටහන් කර තිබුණ බව එකල දෙමළ මාධ්‍යවල වාර්තා වුණි. දෙමළ මන්ත්‍රීවරු උතුරේදී එකක් කියමින් දකුණේදී වරප්‍රසාද ලබාගැනීමට විරෝධය පෑම කොතරම් උත්සන්න වූවේද යත් යාපනයේදී එවකට විපක්ෂ නායක ඒ. අමිර්තලිංගම් මහතාගේ නිල රථය වූ බෙන්ස් කාරයේ වීදුරු ගල් ගසා කුඩු කිරීමට තරුණයෝ පියවර ගත්හ.
“මේ මල්ලිලා බුද්ධිමත් නැහැ. රජයෙන් දෙන දේවල් දෙමළ ජනතාව වෙනුවෙන් අප ලබාගත යුතුයි.”  එදා අමිර්තලිංගම් කීයා තිබුණි.
ඒවා අරගෙන අපට දීපල්ලා යැයි එදා තරුණයින්ද කීවේ නැත. මෙසේ ගියහොත් ඉදිරියේදී උතුරු දේශපාලන පිටියෙන්ද මෙවැනි සිදුවීම් වාර්තාවනු ඇත.

ඕනෑම දේශපාලකයෙකුට ප්‍රචාරණය අවශ්‍යය. මේ ප්‍රචාරය ලබාගැනීම සඳහා බොහෝවිට මාධ්‍යයේ පිහිට ලබා ගනී. උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් හා ආනන්දි සෂිදරන් මාධ්‍ය ප්‍රචාරය ලබාගැනීම සඳහා බොහෝවිට කරනුයේ කුමක් හෝ ගෝරියක් දමා ගැනීීමයි. උතුරු පළාත් සභාව ආරම්භ වූ දින සිට මේ දෙදෙනා සරල භාෂාවෙන් කිවහොත් බාල්දි පෙරළා ගනිති. ඉන්පසුව විරෝධතා පාඨ කියමින් සභාවෙන් එළියට යති. පසුගිය 10දා උතුරු පළාත් සභාව යාපනය කයිතඩි පිහිටි පළාත් සභාවේ පැවැත්වුණි. ලංකාවේ හමුදා දෙමළ ජන සංහාරයක යෙදෙනවා. එම්.කේ. ෂිවාජිලිංගම් යෝජනාවක් ඉදිරිපත් කළේය. නමුත් ඊට ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරු කිසිදු සහයක් නොදැක්වීය. ෂිවාජිලිංගම් පමණක් කතා කළේය.
අවසානයේදී මහ ඇමැති විග්නේෂ්වරන් මහතා කතා කළේය. “ඔය කියපු අදහස ෂිවාජිලිංගම් මහතාගේ පෞද්ගලික අදහසක්. පක්ෂයේ අදහසක් නමෛයි. පක්ෂය  ඔය ප්‍රකාශයට සම්බන්ධයක් නැහැ” මහ ඇමැති කීවේය.
ෂිවාලිංගම් නිහඬ විය.
මෙවැනිම ප්‍රකාශයක් මීට සති කිහිපයකට පෙර ආනන්දි සෂිදරන් කළාය.
“මට කිසිම ආරක්ෂාවක් නැහැ. රජයෙන් ආරක්ෂකයෝ දීලා නැහැ. වාහනයක් දීලා නැහැ. මේක මගේ ජීවිතයට තර්ජනයක්” යැයි කියූ ඇය පළාත් සභා රැස්වීම සඳහා තනිවම පාපැදියෙන් පැමිණියාය. ඇය පැමිණි දුර කිලෝමීටර් 13ක් පමණ විය. පාපැදියේ පැමිණීමට පෙර ඇය සියලු මාධ්‍ය දැනුවත් කළාය. ඒ නිසා ඇයට ආරක්ෂාව හා රථ වාහන කෙසේ වෙතත් මිලියන ගණනක ප්‍රචාරයක් ලැබුණි. සෑම දෙමළ මාධ්‍යයකම ඇයගේ පාපැදි ගමන ප්‍රචාරය කළෝය.
බස් රථයේ හෝ පෞද්ගලිකව රථයක යනවිට නොලැබෙන ආරක්ෂාවක් තනිවම පාපැදියේ යන විට ලැබෙන්නේද යන්න කියා කිසිවකු විමසුවේ නැත.
මේ අතර, කිලිනොච්චිය ‍පොලීසියට ඉකුත් 3දා පැමිණිල්ලක් ලැබි තිබුණි. එම පැමිණිල්ලෙන් කියා තිබුණේ පරන්තන් ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ කොල්ල කල්ලියක් රුපියල් ලක්ෂ 6 1/2ක් පමණ වටිනා රන් ආභරණ මුදල් හා ජංගම දුරකථන සොරා ගැනීමේ සිද්ධියකි. කිලිනොච්චිය මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක ජයකාන්ත සිල්වා හා අපරාධ අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක පල්ලාවල ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ ආරම්භ කළෝය. එහිදී කිලිනොච්චිය විනයගපුරම් ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන යන සැක කටයුතු පුද්ගලයකු
පිළිබඳව තොරතුරු ලැබිණි. කරුණු සොයා සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය. ප්‍රශ්න කිරීමේදී ඔහු සියල්ල කීවේය. ඒ අනුව කොල්ලකෑමට හවුල් වූ තවත් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනුණි. කොල්ලකන ලද දේපළවලින් කොටසක්ද සොයා ගන්නා ලදී. මේ කොල්ලයේ මහමොළකරු  වූයේ වෙළෙඳසල් හිමියාය.
කොල්ලයේ සියලු සැලසුම් ඔහුගෙනි. සියල්ල සැලසුම් කිරීමෙන් පසුව සොර කණ්ඩායම ඔහුට අයත් ත්‍රිරෝද රථයෙන් අදාළ ස්ථානයට ඇරලවන අතර, සියල්ල අවසන් වී දුරකථන ඇමැතුම ලැබිමෙන් පසුව කොල්ල කණ්ඩායම රැගෙනවිත් ඔහුගේ නිවසේ ආරක්ෂිතව රඳවති. මෙහිදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන්නේ කොල්ලය නොව මහ මොළකරුගේ යටගියාවයි. මොහු කුඩා කාලයේදීම එල්.ටී.ටී.ඊ.යට බැඳී ඇති අතර වසර 18ක කාලයක් කොටි සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත. වැඩිම කාලයක් රාජකාරී කර ඇත්තේ ‍පොට්ටු අම්මාන් යටතේ ක්‍රියාත්මක ටොෂි බුද්ධි අංශයේය.
අනාථයෙකු ලෙස මැණික් ෆාම් අවතැන් කඳවුරට පැමිණෙන මොහු පසුව නැවත පදිංචියට ගොස් ව්‍යාපාරයක් ආරම්භ කර සිටියද ඔහු ලබා තිබූ පුහුණුව සොරකම සඳහා යොදා තිබුණි. මේ පුද්ගලයා කිසිදු ‍පොලීසියක හෝ හමුදා කඳවුරක හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ලෙස ලියැවී නැත. 13,000ක් පමණ වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික පිරිසක් පුනරුත්ථාපනය කළ බව කිවද ඒ හා සමාන පිරිසක් පුනරුත්ථාපන ක්‍රියාවලියට සම්බන්ධ නොවී නිදැල්‍ලේ සිටින බව සඳහන්ය. මොවුහු පුනරුත්ථාපනය කිරීම හෝ දඬුවම් කිරීම කෙසේ වෙතත් රටේ අනාගත ආරක්ෂාව සඳහා මොවුහු හඳුනාගත යුතුය.
මේ අතර යාපනය ‍‍‍ජ්‍යෙෂ්ඨ  ‍පොලිස් අධිකාරි යූ.කේ. විමලසේන මහතා විසින් පසුගිය 12 යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.
“මින් ඉදිරියට ‍පොලීසිවල බොරු පැමිණිලි කරන අයට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා” ඔහු මාධ්‍යවේදීන් හමුවේ කීවේය.
මාධ්‍යවේදීන් කැඳවා මෙවැන්නක් කීමට සිදුවූ හේතු කාරණාද ඔහු විස්තර කළේය. ඉන් එකක්නම් යුරෝපයේ සිට ලංකාවට පැමිණ ලංකාවේදී මිලියන ගණන්වල රන් ආභරණ දේපළ සොරාගත් බව කියා පැමිණිලි කිරීමයි. එම පැමිණිලි පිටපත් යුරෝපයේ රක්ෂණ සමාගම්වලට ඉදිරිපත් කර රක්ෂණ වන්දි ලබාගන්නා බව ඔහු චෝදනා කළේය. ඔවුහු නැතිවූ බව කියන තරම් රත්‍රන් ප්‍රමාණයක් නීත්‍යානුකූලව ගුවන්තොටු‍පොළ හරහා රට තුළට රැගෙන ඒමට නොහැකි බවද ඔහු පැහැදිලි කළේය. තවද සුදු වෑන්වලින් පැමිණි නාඳුනන පිරිස් තම නම අසා සටහන් කරගෙන ගිය බවට පැමිණිලි දැමීම විලාසිතාවක් වී ඇතැයිද විමලසේන මහතා කීවේය. මෙවැනි පැමිණිලිවල ප්‍රධාන අරමුණ ලංකාවේදී තම ජීවිතවලට තර්ජනයක් පවතින බව කියා යුරෝපයේ දේශපාලන රැකවරණ පැතීම බවද කීවේය. පේදුරුතුඩුව ප්‍රදේශයේදී තම පුත්‍රයා නිවසේ සඟවා ඔහු අතුරුදන් බවට පියා විසින් ‍පොලීසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ සිදුවීමක් වාර්තා වූ බවද කීවේය.
‍පොලිස් නිලධාරියකු මේ ආරක්ෂක තීරුවට ප්‍රකාශ කළේ ලංකාවේ අංක එකට වැඩිම පැමිණිලි ලබන්නේ ගල්කිස්ස ‍පොලීසිය බවත් එහි දෙවන ස්ථානය යාපනය බවත්ය.
මේ අතර උතුරේ සිදුවන කේරළ ගංජා ජාවාරම තවදුරටත් මහ පරිමාණයෙන් සිදුවේ. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු වෙරළට රැගෙන එන ගංජා තොග එතැන් සිට විවිධ ක්‍රමවලින් දකුණු ප්‍රදේශයේ බෙදාහැරේ. මෙම ගංජා බාන තිප්පළවල යාපනය මාදගල් වෙරළ තීරයේ හා ත‍ලේමන්නාරම වෙරළ තීරයේ පිහිටා ඇත. පසුගිය කාලයේදී කිලෝ සිය ගණනින් ගංජා තොග අත්අඩංගුවට ගත්තද ජාවාරම නැවතී හෝ අඩුවී නැත. ඊයේ (14) අලුයම් කාලයේදීද කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණි. ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකින් කියවුණේ යාපනයේ සිට කොළඹට සාමාන්‍ය වැසියන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවකි. ඒ අනුව ඊයේ අලුයම 5.00ට පමණ වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේදී අංක එ ව්ඕ 2233 දරන සැකකටයුතු බස් රථය විශේෂ කාර්ය බළකා නිලධාරීහු පරීක්ෂා කළෝය. බස් රථයේ ඩිකිය තුළ තිබි කේරළ ගංජා කිලෝ 13ක් සොයාගත්හ.
මේ අතර මන්නාරම වෙඩිත්තුලතිව් ප්‍රදේශයේදීද පසුගිය 12 දා රාත්‍රී බොලෙරෝ වර්ගයේ ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 22ක් වෙඩිත්තලතිව් ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. වෙඩිත්තලතිව් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක
ජයන්ත ගුණතිලක මහතාට ලැබුණු තොරතුරක් මත ප්‍රධාන මාර්ග මගහැර අතුරු මාර්ග ඔස්සේ ගමන් කරමින් තිබූ සැකකටයුතු ජීප් රථය පරීක්ෂා කර බලා සැකකරු අත්අඩංගුවට ගත්තේය. මෙහි තිබූ ගංජා ප්‍රමාණය කිලෝ 22කි. වෙළෙඳපළ වටිනාකම ලක්ෂ 50ක් පමණ වේ.

සනත් ප්‍රියන්ත – වව්නියාව

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!