අහිංසක මුස්ලිම් ජනයාත් මරණ මුස්ලිම් අන්තවාදය

Spread the love
  •  
  •  
  •  
  •  

ලොව මෙතෙක් සිදුවී ඇති යුද්ධයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ආගම් සහ දර්ශන මත පදනම් වූ ඒවා ය. ලෝකයේ දීර්ඝතම යුද්ධය වූ තිස් අවුරුදු යුද්ධය ද පදනම් වූයේ අති සංකීර්ණවූ ප්‍රොතෙස්තන්ත හා කතෝලික ආගමික මතවාද යුරෝපයේ රටවල් ගණනාවක ස්ථාපනය කිරීමට ගත් වෑයම මත ය. එහිදී මරු වැලඳගත් ප්‍රමාණය අසූ ලක්ෂයකි. එංගලන්තයේද, යු‍‍රෝපයේ අනෙක් රටවල ද, අප්‍රිකාවේ ද ආසියාවේ ද ආගම් යුද්ධ නොඅඩුව දක්නට තිබිණි. තවමත් තිබේ.

දැන් ඇමෙරිකාව ප්‍රධාන රටවල් හතළිහක් අලුත් ආගම් යුද්ධයකට අත දමා තිබේ. ඇමෙරිකාව වියට්නාමය හා යුද්ධයට පිවිසියේ එහි දේශපාලන මති මතාන්තරයනට විරුද්ධව ය. ඉරාක යුද්ධයේ අභිප්‍රාය වූයේ සදාම් හුසේන් එලවා දැමීමයි. ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට එළඹියේ අල්කයිඩා ත්‍රස්තවාදය තුරන් කිරීමයි. දැන් පැමිණ ඇත්තේ ඉස්ලාම් රාජ්‍යයට විරුද්ධ සටනයි.

අයිසිස් (ISIS) යන කෙටි නාමයෙන් හැඳින්වෙන ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් ද ලැවෙන්ට් නැමැති සුන්නි මුස්ලිම් රාජ්‍යයක් මේ වසරේ ජනවාරි 3 වැනිදා සිරියාවේ අර්ර්කා නගරයේ දී පිහිටුවාගන්නා ලදී. මේ රාජ්‍යයට මුල් වූ සංවිධානය 1999 සිට මුස්ලිම් රටවල කෙරුණු යුද්ධයන්හිලා ත්‍රස්තවාදීනට උපකාර කරමින් තිබිණ.

එහෙත් මේ වනවිට සිරියාවේ සහ ඉරාකයේ ප්‍රදේශ ගණනාවක් යටත් කර ගනිමින් ඉදිරියට ඇදෙන මෙම නිල නොලත් රාජ්‍යයේ පරමාර්ථය වනුයේ ජෝර්දානය, ඊශ්රායලය, පලස්තීනය, ලෙබනනය, සයිප්‍රසය සහ දකුණු තුර්කි රාජ්‍ය ද අත්පත් කර ව්‍යාප්ත වීමයි. එසේ සිදුකර එම රටවල් සියල්ල ම තනි මුස්ලිම් රාජ්‍යය බවට පත් කරලීමයි.

මේ වනවිට ඉරාක සහ සිරියානු හමුදාවනට යටත් නොවී ඉදිරියට ඇදෙන අයිසිස් හමුදාව, ඔවුනට අවනත නොවන මුස්ලිම්වරුන් ද, වෙනත් මුස්ලිම් නිකායනට අයත් මුස්ලිම්වරුන් ද මරා දමමින් ඔවුන්ගේ බිරින්දෑවරු දූෂණය කරමින්, දරුවන් හමුදාවට බඳවා ගනිමින් ඉදිරියට ඇදෙයි. “අල්ලා දෙවියන් වහන්සේට විරුද්ධ වන සියලුම දෙනා අල්ලා කුරුසයේ ගැසීම හෝ අතපය කපා මරා දැමීම අපි සිදු කරන්නෙමු” යන්න ඔවුන්ගේ ප්‍රකාශනයයි.

අද දක්වා ඔවුන් අතින් මරණයට පත්වූ මුස්ලිම් හමුදා භටයන් සහ වැසියන්ගේ ප්‍රමාණය දස දහස ඉක්මවයි. ඒ අතර නිරායුධ ඉරාක සහ සිරියන් හමුදා භටයන් ද, යාසිඩි නම් වූ මුස්ලිම් නිකායට අයත් දහස් ගණනක් ද සිටිති.

මේ කුරිරු මුස්ලිම් අන්තවාදය පරාජය කොට දැමිය යුතුය යන්නට විවාදයක් නැත. මෙය ශීඝ්‍රයෙන් අරාබිකරය දක්වා ව්‍යාප්ත වන්නට ද ඉඩ ඇත. එහිම කොටස් වශයෙන් බටහිර රටවල් කරා ද මේ ත්‍රස්තවාදය ඇදී යා හැක. දැනටමත් එංගලන්තයෙන් මුස්ලිම් තරුණයින් තුන්සියයක් මොවුනට එකතු වී සිටිති.

පවතින තත්ත්වයට මුහුණ දී අයිසිස් පරාජ කරලීම සඳහා ඇමෙරිකාව ප්‍රධාන රටවල් හතළිහක් අත්වැල් බැඳගෙන සිටිති.

බ්‍රිතාන්‍යය ද ඊයේ පෙරේදා ඊට එකතු විය. එම සන්ධානයේ ප්‍රධාන අරමුණ වන්නේ ඉදිරියට ඇදී යන මුස්ලිම් රාජ්‍ය හමුදා මත ගුවනින් බෝම්බ හෙලා නවතාලීමයි. ඒ සඳහා ගුවන්ගත වීමට ජෝර්දානය, සයිප්‍රසය සහ සෞදි අරාබියේ බ්‍රිතාන්‍ය ඇමෙරිකානු යුද මධ්‍යස්ථාන ප්‍රයෝජනයට ගෙන ඇති අතර ISIS මත බෝම්බ පතිත කැරිණි.

ගුවන් නියමුවන් අතර සෞදි අරාබියානු තරුණියන් ද සිටින බව සඳහන් වී ඇත. තම ගමන නවතාලීමට ඇමෙරිකාව සූදානම් වන බව දැනගත් අයිසිස් ත්‍රස්තවාදීන් ඔවුන් අත්අඩංගුවේ පසුවූ ඇමෙරිකානු ජාතිකයකු හිස ගසා මරා දමන ලදී. දැන් ඇමෙරිකාවට ආපසු හැරිය නොහැක. ඇමෙරිකානු න්‍යාය පත්‍රයේ පළමු අංගය අයිසිස් හමුදා පන්න පන්නා පහර දීමයි.

මෙතැනදී කලකට ඉහත ඉරාකය විසින් කුවේට් රාජ්‍යය ආක්‍රමණය කළ යුගය සිහි නැංවිය යුතුවේ. කුවේටයට ඇතුළු වූ සදාම් හුසේන් ගේ හමුදා නගර කොල්ල කමින් ජනතාව මරා දමමින් , ස්ත්‍රීන් දූෂණය කරමින්, තෙල් ලිං ගිනි තබමින් සිටියහ. එක්සත් ජාතීන්ගේ සම්මේලනයෙන් යෝජනාවක් සම්මත කරගත් ඇමෙරිකා‍ව ඉරාක හමුදාවනට කුවේටයෙන් පිටත්වීමට අවසාන නිවේදනයක් නිකුත් කළේ ය.

ඇමෙරිකාවේ නවීන යුද තාක්ෂණයට මුහුණදීමට හැකියාවන් නැති නිසා සදාම් හුසේන් කළේ තම හමුදා වහාම නැවත කැඳවීමයි. එම හමුදා දකුණු ඉරාකය නගරයක් වූ බස්රා යාම පිණිස A 80 නම් වූ මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියහ.

ඉද්ද ගැසුවා සේ ඇති A 80 මාර්ගයේ සැතපුම් දෙකක් පමණ දිගට ඉරාක හමුදා, යුද ටැංකි සහ අනෙකුත් වාහන එක පේළියට බස්රා බලා යමින් තිබිණ. කුවේටයෙන් කොල්ලකා ගත් ධනය මෙන් ම මිනිස් පලියක් ලෙස යොදා ගැනීමට සිතා පැහැරගත් කුවේට් ජනයා ද ඒ තුළ වූහ.

හිටි හැටියේ පැමිණි ඇමෙරිකානු ජෙට් ගුවන් යානයන් දිගට හරහට එම වාහන පේළිය මතට බෝම්බ හලන්නට ව‍ූහ. එය අවසන් වූයේ A 80 මාර්ගය 30,000 කට වඩා අධික ඉරාක හමුදාවන්ගේ සොහොන් භුමිය බවට පත් වෙමිනි. අදත් එය ‘මරණයේ මාවත’ ලෙස නම් කෙරේ.

ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාවට අනුව ලෝකයේ ධනවත්ම ත්‍රස්තවාදී සංවිධානය වන්නේ අයිසිස් ය. ඔවුන් සිරියාව හා ඉරාකය හරහා යන ගමනේදී බැංකු කොල්ලකා පවුම් බිලියන 1.2 ක මුදලක් හම්බ කරගෙන තිබේ.

තවද අත්කරගත් තෙල් නිධි හරහා දවසකට පවුම් බිලියන 1.8 ක් ද, කප්පම් මඟින් මසකට පවුම් මිලියන පහක් ද, පුද්ගලයන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම් මඟින් පවුම් මිලියන හතළිහක් ද උපයන බවට කරුණු එළිවී තිබේ.

මේ පටන්ගත් ආගම් යුද්ධය කවදා කෙලවර වේ දැයි කිසිවෙක් දන්නේ නැත. කෙසේ කෙලවර වේදැයි කිසිවකුට අනුමාන කරන්නට ද නොහැක. එහෙත් රටවල් ගණනාවක් මෙයින් අවුල් ජාලයක් බවට පත්වන්නට ඉඩ ඇත.

එහෙත් මෙතැනදී පැහැදිලිව පෙනෙන එක දෙයක් වෙයි. එනම් මුස්ලිම් අන්තවාදය විසින් සාමකාමී මුස්ලිම් ජනයා මරා දැමීම සිදුවන බව ය. කුමන අන්තවාදයට ගියත් කෙළවර එතැන ය.

(Visited 5 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!