අසම්මත පෙමක් නිසා දරුවෙක් මැරූ පෝලින් කෘස් හිරගෙදර ගත කල ජීවිතය

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

කොළඹ ප්‍රදේශයේ පදිංචි වී හුන් ‍පෝලින් කෲස් බර්ගර් ජාතික තරුණියකි.

ඈ පෙමින් වෙළී සිටියේ  එවකට දෙහිවල කවුඩාන පාරේ පදිංචි වී සිටි බෝධිපාල කිරමකන්ද සමගය.  ‍පෝලින් කෲස් සහ බෝධිපාල කිරමකන්ද පෙම් ලොව සැරිසැරුවේ අනන්තය සේ පියාසලන කුරුලු ජෝඩුවක් මෙනි. සීමා මායිම් තහංචි කිසිවක් නොතැකූ ඔවුන්ගේ එකම අරමුණ වූයේ කෙදිනක හෝ  එක වහලක් යටට වී කැදැල්ලක් තැනීමය. එහෙත් පසුකලෙක ‍පෝලින් කෲස්ට අසන්නට ලැබුණේ ඇගේ හද සසල කළ පුවතකි. එකී පුවත වූයේ බෝධිපාල කිරමකන්ද විවාහකයෙකු වූ අතර එක් දරු පියෙකු බවය. ඒ පිළිබඳව සොයා බැලීමේදී ඇයට ලැබුණු  තොරතුරු සත්‍ය බව අනාවරණය විය.
එහෙත් ඒ වන විට ‍පෝලින් පසුවූයේ සිය ප්‍රේම සම්බන්ධය  නවතා දැමිය හැකි අවස්ථාවක නොවේ. එබැවින් ඇයට අවශ්‍ය වූයේ කෙසේ හෝ බෝධිපාල කිරමකන්දව ඈ සතු කර ගැනීමටය. ඔහු විවාහකයෙකු බව සඟවා  ඇයව රැවටීම පිළිබඳව ඇයට වගක් වූයේ  නැත. බෝධිපාල සමග විවාහය ගැන කතා කළේ එබැවිනි.
එම අවස්ථාවේදී බෝධිපාලට ඔහුගේ විවාහක බිරිඳගෙන් නීත්‍යනුකූලව වෙන්වී ‍පෝලින් කෲස් විවාහ කරගැනීමට අසීරු වූයේ ඔහුගේ පුත්‍රයා නිසා බව ‍පෝලින්ට අවබෝධ විය. බෝධිපාලගේ එකම පුතු විනාශ කළහොත්  බෝධිපාලව ඈ සතු කරගත හැකි බව ‍පෝලින් තීරණය කළේ එම වකවානුව වන විට ඈ 19 හැවිරිදි වියේ පසුවූ තරුණියක් නිසා විය හැකිය. මෙම කාලයේදී බෝධිපාල 35 හැවිරිදි  වියේ පසු වූ අයෙකි. ඔහුගේ බිරිඳ සිය සැමියා පවත්වා ගෙන යන අනියම් සම්බන්ධතාව ගැන  දැනගෙන කරුණු පැහැදිලි කරමින් කොතෙකුත් ඇවිටිලි කළද බෝධිපාල කටයුතු කළේ නාඹර තරුණයෙකු මෙනි. ඔහු බිරිඳගේ හඬට කන් දුන්නේ නැත.
මේ අතරවාරයේදී ‍පෝලින් බෝධිපාලගේ දරුවා විනාශ කර බෝධිපාලව අයිති කර ගැනීමේ වැඩපිළිවෙළක යෙදී සිටියාය.
ඒ අනුව 1967 පෙබරවාරි 07 වැනි දින දරුවාගේ පාසලට ගිය ‍පෝලින් කෲස්, පාසල නිමා වූ සැණින් දරුවාව කැඳවාගෙන දෙහිවල සාන්ත රීටා දේවස්ථානයට පැමිණියාය. බෝධිපාල කිරමකන්දගේ පුතුව “ඇන්ටි” කෙනෙක් පැමිණ කැඳවාගෙන ගිය බව පුතුගේ මිතුරකු බෝධිපාලගේ නිවැසියන්ට දන්වා ඇත්තේ දරුවා කැටුව ඒමට ඔවුන් පාසලට ගිය අවස්ථාවේදීය. දරුවාව සොයා  බැලීමේදී සාන්ත රීටා දේවස්ථානයේ ළිඳ තුළ මිය ගොස් සිටි  දරුවාව හමු වී තිබිණි.
මෙම අවස්ථාවේදී මියගිය දරුවා ‍පෝලින් කෲස් සමග  දේවස්ථානය තුළ දීර්ඝ වේලාවක් රැඳී සිටි බවට දේවස්ථානයේ සේවකයකු  සෘක්ෂි දී ඇත. දරුවාගේ මරණය සම්බන්ධයෙන් ‍පෝලින් කෲස්ට විරුද්ධව නඩු පැවරෙන්නේ එම නිසාය.
මෙම නඩුවේදී පළමු වැනි විත්තිකාරිය ලෙස ‍පෝලින් කෲස් නම් කළ අතර දෙවැනි විත්තිය ලෙස නම් කර තිබුණේ බෝධිපාල කිරමකන්දවය.  එහෙත්  බෝධිපාල  මීට සම්බන්ධ බවට සාක්ෂි  ඉදිරිපත් නොවූ බැවින් ඔහු නිදහස් විය.  මිනීමැරීමේ  වරදට ‍පෝලින්  කෲස් නමැති 19 හැවිරිදි තරුණියට මරණීය දණ්ඩනය නියම විය. ‍පෝලින් කෲස්  වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මරණීය දණ්ඩනයට යටත් වූ සිරකාරියන් රඳවා තැබෙන සිර මැදිරියට පැමිණියේ ඉන් අනතුරවය.
බන්ධනාගාර ගත වූ කාන්තාවන්ට නියමිත අමු රෙද්දෙන් මැසූ හැට්ටය සහ රෙද්ද ‍පෝලින්ට ලබා දුන් නමුදු ඈ එම ඇඳුම ප්‍රතික්‍ෂේප කළාය. ඈ තරයේ ප්‍රකාශ කළේ ඇයට රෙදි හැට්ට ඇදීමට නොහැකි බවත් ගවුමක් ඇදීමට අවශ්‍ය බවත්ය.  එබැවින් ඇගේ මව මැදිහත් වී ‍පෝලින් කෲස් වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ ටිරෝන් ප්‍රනාන්දු මාර්ගයෙන් බන්ධනාගාර කොමසාරිස් ඇතුළු ඉහළ නිලධාරීන්ට දන්වා ‍පෝලින් කෲස්ට ගවුම ඇඳීමට අවසර ලබා දී තිබේ. එපමණක් නොවේ. සිරකරුවන්ට විශේෂ වරප්‍රසාද හිමිවන ඉබචප ජතචඵඵ අංශයට  හිමිවන  වරප්‍රසාද ‍පෝලින් කෲස්ට හිමි විය.
මේ අනුව කට්ටා සෙරෙප්පු ජෝඩුවක් පැළඳීමටත් සිරමැදිරියේ ගුදිරියක නිදා ගැනීමටත් ඇයට අවස්ථාව   ලැබිණි.  බන්ධනාගාරය  තුළ අමු රෙද්දෙන්  මැසූ ගවුමකින් සැරසීමටත් අවස්ථාව හිමි විය. බන්ධනාගාර ගත වූ කාන්තාවන් අතරින් ප්‍රථම වතාවට ගවුමක් හැඳ සිටි සිරකාරිය වශයෙන් ‍පෝලින් කෲස්ගේ නම ඉතිහාසගත  වී තිබේ.
මරණීය දණ්ඩනය හිමි වූ කාන්තාවන් එල්ලා මරණයට පත් නොකරන බැවින් එවැනි සිරකාරියන්ට ජීවිතාන්තය දක්වා සිර මැදිරිය තුළ කාලය ගෙවා දමන්නට සිදුවේ. ‍පෝලින්ට උරුම වූයේද එම  ඉරණමය. මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන්ට අයත් කාලසටහනට අනුව දවස ගෙවා දැමීමට ‍පෝලින්ටද සිදු විය. එනම් සිර මැදිරියේ සිටි ‍පෝලින්ව පිටතට ගනු ලැබුවේ දිනකට දෙවරක් පමණි. ඒ වරකට පැය  ½  බැගින් උදෑසන  සහ සවස් වරුවේය. මෙම පැය ½  ඇතුළත මුහුණ කට සෝදා පිරිසිදු වීම සහ වැසිකිළි අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සිදු කරගත යුතුය. මෙම සිරකරුවන්ට ආහාර පාන ලබා දෙන්නේ සිරකුටියේ විශේෂ කවුළුවකිනි. විශේෂ ආරක්ෂාව යටතේ රඳවා තැබෙන මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන්ගේ සිරමැදිරි  රාත්‍රී කාලයේ ආලෝකවත් කිරීම සඳහා විදුලි බුබුළු යොදා නැත. මෙම සිරමැදිරි ආලෝකවත් වුයේ කොරිඩෝවේ  දැල්වෙන විදුලි බුබුළුවලිනි.
“මම බන්ධනාගාර නියාමකවරියක් හැටියට ප්‍රථම වරට පත්වීම ලබලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට එන විට ‍පෝලින් මරණීය දණ්ඩනය හිමි වූ අය රඳවන  සිර මැදිරියේ සිටියා.  ‍පෝලින් කළුයි. වැඩිය උස නැහැ.
උස අඩි 4ක් විතර ඇති. කොණ්ඩය හුඟක් දිගට තිබුණ. කළු වුණාට ප්‍රියමනාප පෙනුමක් තිබුණ. ‍පෝලින් හරිම මුරණ්ඩ දරදඬු  ගැහැනියක්. එයාට සිද්ද වුණු දේ ගැන ‍පොඩ්ඩක්වත් පසුතැවුණේ නැහැ. එයා කරපු දේ ගැන දුක් වුණෙත් නැහැ. ඇත්තටම අවු. 19 වුණාට ‍පෝලින්ව මම දැක්කෙ යකඩ ගැහැනියක් හැටියට.” යනුවෙන් එකල බන්ධනාගාර නියාමකවරියක ලෙස කටයුතු කළ හිටපු කාන්තා ජේලර් කාන්ති පැස්කුවල් පැවැසුවාය.
කාන්ති පැස්කුවල් තවදුරටත් සඳහන් කළේ ‍පෝලින්ගේ ජීවිතය සමග සෙල්ලම් කළ බෝධිපාල කිරමකන්දට ඈ වෛර කළ බවය. තවත් විදිහකින්   පවසන්නේ නම් කාන්ති පැස්කුවල්ට ‍පෝලින් කෲස් මුණ ගැසෙන විට ‍පෝලින්ගේ ප්‍රේමය වෛරයක් බවට පෙරළී තිබිණි.
‍පෝලින් දඩබ්බර, උද්ධච්ඡකමින් පිරුණු තැනැත්තියක් ලෙස බන්ධනාගාරය තුළ ප්‍රකටය. ‍පෝලින්ට හොඳින් ඉංග්‍රීසි හැසිරවිය හැකි නිසාම ඈ උඩඟු වූ බව කාන්ති පැස්කුවල්ගේ  අදහසය. නිතරම සිය ආධිපත්‍යය පතුරුවාගෙන ගාම්භීර බව පළ කළ ‍පෝලින්   කෲස්  ‍පොඩි මිනිසුන්ව  පයිසෙකටවත් ගණන් ගෙන නැත. එපමණක් නොවේ. සුළු නිලධාරින්ටද බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.
“ඒ කා‍ලේ බන්ධනාගාරයේ සිරකරුවන්ට නාන්න තිබුණෙ වතුර ටැංකිවලින්. විසිල් එකක් ගහපු ගමන් නාන්න පටන් ගන්න ඕනෑ. ආයේ විසිල් එකක් ගහපු ගමන් නාන එක නවත්තලා සබන් ගාන්න ඕනෑ.  ආයේ විසිල් එක ගහපු ගමන් සබන් ගාන එක නවත්තලා නැවත නාන්න පටන් ගන්න ඕනෑ.  ‍පෝලින්ට ඒ විදිහට  අනික් හිරකාරියන් එක්ක නාන්න බැහැ කියලා නීතිඥ ටිරෝන් ප්‍රනාන්දු හරහා  ඉල්ලීමක් කරලා තිබුණා. ඊට පසුව දවල් කාලයේ විශේෂ වේලාවක් ‍පෝලින්ට දීලා තිබුණ. ‍පෝලින් නෑවේ ඒ වෙලාවෙ තමයි.” හිටපු කාන්තා ජේලර් කාන්ති  පැස්කුවල් විස්තර කළාය.
‍පෝලින් කොතරම්  දරදඬු, උඩඟු තරුණියක් වුවද කතෝලික ආගමේ භක්තිමත් කාන්තාවක්  වූවාය. ඈ කල්ගත කළ සිරකුටියේ බිත්තිය පුරා කාඩ්බෝඩ් ජේසු රූප අලවා තිබිණි. කතෝලික ආගමික දේව මෙහෙයන්  කෙරෙහි  ඈ දැඩි  නැඹුරුවක් දක්වා තිබේ. ‍පෝලින් කෲස්ව බැලීමට  ඇගේ මව සිර මැදිරිය අසලටම පැමිණ ඇත.  ‍පෝලින් කෲස් බන්ධනාගාරයේදී සමීපව ඇසුරු කර තිබෙන්නේ කුලරත්න නඩුවේ වෛද්‍ය කුලරත්නගේ මව සහ  මෙහෙකාරියවය. ඉංග්‍රීසි කතා කරන ඉහළ පැළැන්තියේ අය ‍පෝලින්ගේ බන්ධනාගාර මිතුරියෝ වූහ. එමෙන්ම  බන්ධනාගාරයේ  සුළු නිලධාරින්   සමග දබර කළද ‍පෝලින් කෲස් ඉහළ  නිලධාරින් සමග සහයෝගයෙන් කටයුතු කර ඇත.
සිර මැදිරියේදී ඇයට ආහාර පිණිස ලබා දෙන පාන් වතුරේ ‍පොඟවා විවිධ සතුන්ගේ රූප වැනි අත්කම් නිර්මාණය කර තිබෙන්නේ ඈ සතු නිර්මාණ කුසලතාවක්ද තිබෙන බව පිළිබිඹු කරමිනි.
මේ ආකාරයට බන්ධනාගාරයේ කල්ගත කළ ‍පෝලින් කෲස්ට විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාගෙන් ලැබුණු ‍පොදු සමාව යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලැබිණි. මරණීය දණ්ඩනය නියම වූවන් රඳවා  තැබෙන  සිරමැදිරිවලින් ඇයව වෙනත් මැදිරියකට මාරු වූයේ  එබැවිනි.  ඉන් අනතුරුව ඇයට බන්ධනාගාරයේ වෘත්තීන්හි නිරත වීමේ අවස්ථාව   සැලසී තිබේ. ඈ සතු ඉංග්‍රීසි දැනුම නිසා ඇයව යොදවනු ලැබුවේ  කාර්යාලයේ ලිපි ‍ලේඛන කටයුතුවල යෙදීමටය. ඈ එය ඉතා හොඳින්  ඉටු කළාය.
ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්  ලැබුවද යහපත් කල් ක්‍රියාවෙන් බන්ධනාගාරයේ පසු වූ නිසා ඇයට පසුකලෙක නිදහස ලැබිණි. නිදහස ලැබූ ‍පෝලින් කෲස්  විදේශගත වූ බව දැන ගන්නට ලැබි තිබේ.
‍පෝලින් කෲස්ගේ මෙම කතාව  අනුසාරයෙන් පසුකලෙක  සිනමා නිර්මාණයක් බිහි විය. ඒ “සිසිල ගිනි ගනී” චිත්‍රපටයයි. ප්‍රසන්න විතානගේ  අධ්‍යක්ෂණය කළ කුළුදුල් චිත්‍රපටය වූයේද  “සිසිල ගිනි ගනී” චිත්‍රපටයයි.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!