විශේෂාංග
උපන් දිනයදා උපන් වෙලාවට
විපත්තියක් සිදු වීය මෙසේ...
"අපිට වෙචිචි පාඩුව වුණා. එහෙම දේවල් ආයෙත් නොවෙන්න, මිනිස්සුන්ට පාඩමක් හැටියට මේක පත්තරේ දැම්මට කමක් නැහැ. මහත්තයෝ අනේ ඒත් ඒ අයගෙ නම් එහෙමනම් පත්තරේ දාන්න එපා. ඒක අපේ හිතට හොඳ නෑ"
මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන බොහෝ පියවරුන් මෙන්, ලෙයට ලෙයින් පළිගන්නා බවක් නිමල් කීවේ නැත. ඒ වෙනුවට ඔහු කීවේ තම පවුලේ සුරතලා වූ බාල පුතුව මරණයට දක්කාගෙන ගිය ඒ ගැහැනියගේ හෝ පවුලේ අයගේ නම් ගම් ලොවට නොකියන ලෙසය. තමන්ට ඒ සා විපතක් කළද ඒ විපත් කළවුන් හට අයහපතක් වීම මේ මිනිසා නොපැතූ බැවිනි එවැනි ඉල්ලීමක් කළේ.
වියරුවෙන් මෙන් තමන් පසුපස එලවා, තමන්ව අසරණකමේ අඩියට ඇද දැමූ ඒ ගැහැනියගේ බලපෑම් හමුවේ "මට සුබ උපන්දිනයක් වේවා" කියා ලිපියක් ලියූ ලහිරු තමන්ගේ උපන් දිනය සිදුවූ දිනයේම තම උපන් වේලාවටම (පෙරවරු 10.47ට) විදුලි පංකා කොක්කක ගැටගැසූ ලණුවේ අනෙක් කොණ වූ තොන්ඩුව ගෙලෙහි දමාගෙන දිවි තොරකරගත්තේය.
"හරියටම" වසර 18ක දිවියක් නිවී ගියේ මෙසේය.
මහනුවර තාලතුඔය නුගලියද්ද පෙදෙසේ වෙසෙන නිමල් මහතාට දරුවන් තිදෙනෙකි. ඔහු ජීවිකාව වශයෙන් පොත් හලක් පවත්වාගෙන යයි. නිමල්ගේ වැඩිමහල් පුතු සිටිනුයේ මැලේසියාවේය. පවුලේ මද්දුමයා වූ දියණිය පියාගේ ව්‍යාපාරික වැඩට උදව් වන්නීය. ලහිරු බඩපිස්සා විය. ඔහු මහනුවර සුමංගල විදුහලේ උසස් පෙළ හදාරන වයසේ පසුවිණි.
මෑතක සිට මේ පවුලේ උදවිය නොසිතූ කරදර රැසකට මුහුණදුන්නේය. මැලේසියාවේ සිටින නිමල්ගේ වැඩිමහල් පුත්‍රයා එහි රැකියා ඒජන්සිකරුවෙකු සමඟ එකතුව මෙරට සිටින සිය පියාගේ (නිමල්ගේ)ද සහායෙන් මෙරටින් ශ්‍රමිකයන් ගෙන්වාදීමේ ව්‍යාපාරයකට අතගැසුවේය. නමුත් සිදුවූයේ එරට ඒජන්සිකරුවා මෙරටින් එහි කැඳවූ තරුණයන් පිරිස අනාථ කර පැනයැමය. අවසානයේ සිදුවූයේ මේ ව්‍යාපාරයේ අතරමැදියන් වූ නිමල්ලාගේ පවුල අතොරක් නැති කරදර වලට ලක්වීමය. රට රැකියා සිහින බිඳී අනාථ වූ පිරිසට චෝදනා කිරීමට ඉතිරිවූයේ නිමල්ගේ පවුල පමණි. නීතිය ඉදිරියේ ඔවුහු චූදිතයෝ වූහ. වත්කම් ලෙස තිබූ බොහෝ දේ මේ නඩු හබ වලට වියදම් විය. කෙමෙන් කෙමෙන් ඒ ප්‍රශ්න වලට විසඳුම් සොයමින් සිටියදීය මේ හෙණගෙඩිය නිමල්ගේ පවුල මතට පාත් වූයේ.
නිමල්ලාගේ අසල්වැසි නිවසක් විය. එහි ගෘහ මූලිකයා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි. ඔහුගේ බිරිඳ රැකියාවක් නොකළාය. ඒ පවුලේ ආරක්ෂක හමුදාවක සේවයේ නියුතු පුතුන් දෙදෙනකු වේ. මේ පුතුන් හා නිමල්ගේ වැඩිමහල් පුතා කුළුපග මිතුරන් විය. මේ හේතුවෙන්ම පවුල් දෙකේද මිතුරුකමක් ගොඩනැගී තිබිණි. නිමල්ගේ පවුලේ උදවිය විසින් අනෙක් පවුල හඳුන්වන ලද්දේ "අනුරුද්ධලාගේ ගෙදර" (ලිපියට අදාළව යෙදූ මන(කල්පිත නමකි) නිමල්ගේ වැඩිමහල් පුත්‍රයා ඈත රටකට ගියද මේ පවුල් දෙක අතර තිබූ මිතුරුකම ඈත් නොවීය. ඒ ලහිරු නිසාය. තම අයියා සහ අනුරුද්ධ අයියලා අතර පැවැති සම්බන්ධය අයියාගෙන් පසුව පවත්වාගෙන ගිය ලහිරු, අනුරුද්ධ සහෝදරයන්ගේ මෙන්ම එම පවුලේද උපකාරක මිත්‍රයෙක් විය.
ඉකුත් දිනක සේවයෙන් නිවාඩු ලබා පැමිණෙමින් සිටි අනුරුද්ධ තමන්ව රැගෙන ඒමට තම නිවසේ වන මෝටර් රථය රැගෙන මහනුවරට පැමිණෙන ලෙස ලහිරුට පවසන්නේ ඒ සා මිතුරුකමක් මොවුන් අතර තිබූ බැවිනි. අනුරුද්ධලා එම මෝටර් රථය මිලට ගෙන වැඩි දවසක් නොවීය. ලහිරුට රියෑදුරු බලපත් ගැනීමට තරම් වයසක් නොමැති වුවද ඔහුට හොඳින් වාහන පැදවීමේ හැකියාව තිබිණි. එහෙත් තමන්ට බලපත් නොමැති නිසා අනුරුද්ධව රැගෙන ඒමට ගිය රථය පැදවූයේ ලහිරු නොවේ. ඔහු ඒ සඳහා රියෑදුරු බලපත් හිමි අනුරුද්ධගේ තවත් මිතුරකුව යොදාගත්තේය.
මොවුහු මහනුවර නගරයට ගොස් අනුරුද්ධව රථයේ දමාගෙන නිවසට ළඟාවන අතරවාරයේ අවන්හලක් අසල නතර වූහ. එහි ඔවුන් තරමක් වේලා රැඳුණේ මධුවිත සප්පායම් වීමට යෑයි ගම්මු කියති. මේ අතරවාරයේ තම රථයෙන් මාර්ගය අවහිර වී තිබීම නිසා මෝටර් රථය පාරේ පසෙකට දමන ලෙස යතුර ලහිරුට භාරවිය. ඒ එම මොහොතේ ඔවුන් තිදෙනා අතර මත්පැන් පානය නොකර හොඳ සිහියකින් සිටියේ පොඩි එකා වූ ලහිරු පමණක් වීම නිසා විය හැක. එහෙත් සිදුවූයේ අනෙකකි. තමන්ට නුහුරු නව කාරය පණගැන්වූ සැනින් එහි රිවර්ස් ගියරය වැටී තිබීම නිසා මෝටර් රථය අනපේක්ෂිත පරිදි පසුපසට ගොස් කොන්ක්‍රීට් තට්ටුවක ගැටිනි. මේ සිදුවීමෙන් ලහිරුගේ හිස පිටුපසද වාහනයේ ගැටී තැල්මක් සිදුව තිබේ. වාහනයටද තරමක හානියක් විය. පූර්ණ රක්ෂණයක් සහිත බැවින් පහසුවෙන්ම හානිය පියවාගැනීමේ හැකියාවක් තිබිණි. එම කටයුතුද සැණින් සිදුවිය. අවසානයේ කිසිවක් නොවූ අයුරින් ත්රීවීලරයක නැගී ලහිරුව නිවසට දමා අනෙක් දෙදෙනා යන්නට ගියේය.
"කෝ අලුත් වාහනේ" කියා ඒ මොහොතේදී නිමල් අනුරුද්ධගෙන් විමසා තිබේ. "වාහනේ පැච් එකක් ගියා. ගරාඡ් එකට දැම්මා" කියූ අනුරුද්ධ කරබාගෙන ගිය ආකාරය ගැන විශේෂ සැකයකින් බලන්නට තරම් හේතුවක් නිමල්ට නොවීය.
නමුත් අනුරුද්ධට සිදුවූ දෙය සිය නිවැසියන්ට වසන් කිරීමට හැකියාවක් නොවීය. ලහිරු අතින් මෝටර් රිය අනතුරකට ලක්වූ බව ඔහු ගෙදරට කීවේය. වාහනයට වූ හානිය රක්ෂණයෙන් ලැබෙන බැවින් එය එතරම්ම බරපතළ කාරණාවක් නොවීය.
එහෙත් අනුරුද්ධගේ මව මෙය සුළුවෙන් නොගත්තාය. ඇය හැසිරුණේ වියරු වැටුනු අයුරිනි.
දුරකථන ඇමතුම් දෙමින් දිගින් දිගටම ලහිරුට බැණ වැදුනු ඇය වාහනයට සිදුවූ පඩුව වෙනුවෙන් ලක්ෂ 4 1/2 ක වන්දියක් අවශ්‍ය බව තරයේ කියා සිටියාය. ඇගේ සොයුරකු පොලිසියේ ඉහළ නිලයක් දරන බව ලහිරුද දැන සිටියේය. තමන්ගේ එම සොයුරා සහ අනෙකුත් බලපුළුවන්කාරම් සහිත තම සහෝදරයන් ලවා ලහිරුටත් ඔහුගේ පියාටත් හොඳ පාඩමක් උගන්වන්නේ යෑයි ඇය පවසා සිටියාය.
අනතුරට ලක්වූ වාහනයට වන්දිය වශයෙන් තක්සේරු කර තිබුණේ රුපියල් 120,000 ක මුදලකි. එය වාහනය යථා තත්ත්වයට ගැනීමට හොඳටම ප්රමාණවත්ය. නමුත් මේ කිසිවක් නොකියා අනුරුද්ධලාගේ මව රුපියල් ලක්ෂ 4 1/2 ක මුදලක් හෙවත්, මධ්‍යම පන්තියේ පවුලක උපන් 17 හැවිරිදි පාසල් දරුවකුට දෙන්නට තබා සිතාගන්නටවත් බැරි මුදලක් ඉල්ලමින් ලහිරුට තර්ජනය කළාය. තමන්ද එවැනි දරුවන් වැදූ මවක බව අමතක කළ මේ ගැහැනිය පරපීඩා කාමුකත්වයකින් මෙන් ලහිරුට අතොරක් නැතිව වද කළාය.
කොටින්ම කිවතොත් (එදා තම පුතාගේ උදව්වට පැමිණීම නිසාම අමාරුවේ වැටුණු) මේ දරුවාගෙන් ඇය ඉල්ලා සිටියේ මිනිස්කමට හෝ මාතෘත්වයට නිගාදෙන ඉල්ලීමකි. කප්පමකි.
මේ කිසිවක් නිමල් දැන සිටියේ නැත. ලහිරු කිසිවක් සිය පියාට කීවේද නැත. මේ ඉල්ලන මුදල හේතුවෙන් අයියා නිසා නන්නත්තාර වූ පියාට තමන් නිසා දැන් තවත් දුකක් හිමිවීමට යන්නේ යෑයි, ලෝකයේ ස්වභාවය හරිහැටි නොදැන සිටි, එයට ඔරොත්තු දෙන්නට තරම් ශක්තිමත් හිතක් නොතිබූ මේ අහිංසකයා සිතුවේය. ඔහු අසරණකමේ අන්ත අඩියට වැටුණි.
ලහිරුගේ උපන්දිනය යෙදී තිබුණේ ජනවාරි 31 දාටය. එයට පෙර දිනද අනුරුද්ධලාගේ මව යක්ෂ වෙස් ගෙන ලහිරුට දුරකථන ඇමතුමක් දුන්නාය. තමන් මේ කරන්නේ මාරයාගේ කාර්යය බව සිතන්නට තරම් ඒ ගැහැනියට හැකියාවක් නොවීය. ඇය ඒ තරමටම ද්වේශයෙන් විකල්ව සිටියාය. තමන්ට තවදුරටත් ගැලවුමක් නැතැයි මේ අසරණයා සිතීය. තමන්ගේ 18 වැනි උපන්දිනය දා ඔහු ඇහැරුණේ තීරණයක් සමඟය.
නිමල්, බිරිඳ මෙන්ම ලහිරුගේ සහෝදරියද ඔවුන්ගේ පොත්හලට ගොස් සිටියහ. ලහිරු කොලයක් අතට ගත්තේය.
"මට සුබ උපන් දිනයක් වේවා" කියා ඔහු කොළයේ ඉහළ ඉංග්‍රීසි බසින් ලියුවේය.
ඒ ලිපියේ ඉතිරිය මෙසේ විය.
අප්පච්චි, අම්මි, අක්කි, අයියේ මං ඔයාලට ගොඩාක් ආදරෙයි. ඒත් මට සමාවෙන්න¾ අනුරුද්ධ අයියලාගේ කාර් ඇක්සිඩන්ට් එක මගේ අතින් වුණා තමයි. ඒත් මං ඒක හිතලා කරපු වැඩක් නොවෙයි. ඊයේ හවසත් ඇන්ටි (අනුරුද්ධලාගේ මව) මට කෝල් එකක් අරගෙන හොඳටම බැන්නා. බැනලා මට කිව්වා "උඹලගේ තාත්තා තමා කියන්න ඇත්තේ අපේ කාර් එක හප්පපන් කියලා. උඹලගේ තාත්තාට පුදුම රිර්ෂ්යාවක් තිබුණේ අපි කාර් එකක් ගත්තට පස්සේ" කියලා. මං කොහොමද අප්පච්චිට එහෙම බණිනකොට ඉවසන්නේ. බොරු කතා කිය කියා ඊට පස්සෙ ඇන්ටි මට කිව්වා "මේ කරපු බලු වැඩේට මම උඹට ගස්සනවා. යහතින් ඉන්න දෙන්නෙ නෑ" කියලා. ඊට පස්සේ ඇන්ටි මට කිව්වා කාර් එක ඇක්සිඩන්ට් වුණ නිසා එයාගෙ දූලා පුතාලා ගොඩක් ඇඬුවා කියලා. එයාලගේ ඇස් වලින් ගියපු කඳුලුවලට මට වන්දි ගෙවන්න කිව්වා. ආයෙ කිව්වා කාර් එකේ ෆුල් ඩැමේඡ් එක රුපියල් ලක්ෂ 4 1/2ක් යනවා කියලා. ඒකත් මට ගෙවන්න කිව්වා. ඇන්ටිගේ මල්ලිලාට ගොඩාක් සල්ලි තිබෙනවාලු. එයාගෙ ගොඩක් අය පොලිසියේ වගේම ලොකු ලොකු තැන් වලත් ඉන්නවාලු. ඒ නිසා අපේ ගෙදර අයට හොඳ වැඩක් කරනවා කිව්වා.
ඒත් මම කොහොමද රුපියල් ලක්ෂ 4 1/2ක් මේ හදිස්සියේ අප්පච්චිගෙන් ඉල්ලන්නේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක. ඒක නිසා මං ගත්ත තීරණය හරි කියලා හිතෙනවා"
එසේ ලියා ඒ යටින් අත්සන තබා, දිනය සටහන් කර වේලාව පෙරවරු 7.46 වශයෙන් සටහන් කර ඇති ලහිරු ගෙදරින් එලියට බැස අවට පිහිටි තම හිතවත්ම යාළුවන් කිහිපදෙනෙකුගේ ගෙවල් වලට ගොස් තිබේ. ඒ අවසන් වශයෙන් තම මිතුරන් දකින්නට විය යුතුය. එහෙත් ඒ බොහෝදෙනෙක් නිවස්වල සිට නැත. පසුව නිවසට පැමිණෙමින් සිටි ලහිරුට මාර්ගයේදී, අසල නිවෙසක වෙසෙන අංශභාගය හැදී සුව වූ අයෙකුද හමුවී තිබේ. ඒ තැනැත්තාවද වත්තම් කරගනිමින් ගෙදරට ඇරලවා ඇති ලහිරු නැවත නිවස බලා ගොස් ඇත්තේ තනියම පාරේ නොයන ලෙස ඔහුට අවවාදයක්ද දීමෙන් පසුය.
එහෙත් ලහිරුට අවවාදයක් අනුශාසනාවක් දීමට කෙනෙක් සිටියේ නැත. ඔහු ගත් තීරණය වෙනස් කිරීමට හැකි කිසිවක් ඒ පැය කිහිපයේදී හමු නොවූයේ සමස්ත පරිසරය මාරයා විසින් වෙළා සිටි අයුරිනි. කිසිවෙක් නොමැති පාළු නිවසට ගොඩවැදුණු ලහිරුට තම අසරණ බව තවත් තීව්රව දැනෙන්නට ඇත.
ඔහු ඒ නොකළයුත්ත කිරීමට සියල්ල නිදහසේ සූදානම් කරගත්තේය. සියදිවි හානිකර ගැනීමක වන සංසාරික අකුසලය ගැන මේ අසරණයා දැන සිටියේ නැත. ඔහු සිතුවේ රුපියල් ලක්ෂ 4 1/2 ක බරකින් තම පියා ගලවා ගැනීමට මේ හැර අන් ක්‍රමයක් නැතැයි කියාය. අවසානයේ ඔහු ඒ නොකළයුත්ත කළේය.
දෛවයක හැටි....
ලහිරුගේ අවසන් හුස්ම පිටවන්නේ ඔහු උපන් දිනයේ, උපන් වේලාවටමය.
ඉන් මිනිත්තු කිහිපයකට පසු ලහිරුගේ මව පොත්හලේ සිට නිවසට පැමිණෙන විට සියල්ල සිදුවී හමාරය, මවක විසින් කිසිදා නොදැකිය යුතු දසුනකි ඈ දුටුවේ.
තවත් මවක විසින් දුන් ගින්දරෙන් තම පුතුගේ ප්‍රාණ වායුව දැවීගොස් තිබෙනු දුටු ලහිරුගේ මවට කුමක් සිතෙන්නට ඇත්ද?
දැන් ඒ සිදුවීම අතීතයට එක්වී හමාරය. සිදුවිය යුත්තේ අනාගතයේ මෙවැනි සිදුවීම් නොදකින්නට, නොඅසන්නට කරුණු යෙදීමය.
ලෝකයෙන් තැලී, පොඩිවී, පදම් නොවුණු අහිංසකයන් සමඟ ගනුදෙනුව ඉතා සීරුවෙන් කළ යුත්තකි. එවැනි ළපටි සිත් ඇත්තෝ සිදුවීම් ජීවිතය සමඟ ගලපා නොගනිති. අවසානයේ ස්වකැමැත්තෙන් ජීවිතය මරුවාට දෙති.
වෙළෙඳ ලෝකය විසින් ලක්ෂ ගණනක මිලක් නියම කළ "යකඩ ගොඩක" හැඩය වෙනස් වූ කල එය අනිත්‍යයට දමා දරාගැනීමට අනුරුද්ධගේ මව සමත්වී නම්, මිල කළ නොහැකි යොවුන් දිවියක් අද ද සුරැකිව තිබෙනු නියතය. ඇය නිසා තමන් පත්වූ අසීරුතාව නොසඟවා වැඩිහිටියකුට පැවසීමට ලහිරු විවෘත වී නම් ඔහු මේ වන විට විසඳුමක් ලබා යහතින් පසුවන්නේය. වාණිජ වටිනාකම් පෙරට දමා සමාජීය, මානුෂික වටිනාකම් ප්‍රාණ ඇපයට ගෙන තම කුසින් උපන් දරුවන්ටත් වඩා කුඩා දරුවන්ගෙන් කප්පම් ඉල්ලන මව්වරුන් බිහිවන යුගයක එදහම් කෙසේ නම් ගලපාගන්නද?
එවැනි කලක තමන්ට මේ සා හානියක් කළවුන්ගේ නම්වත් යොදන්නට එපා යෑයි කියා, සතුරෙකුට වුව හානියක්, තැවුලක් වීමට ඇති ඉඩකඩ වලකන "නිමල්" වැනි අයද සිටිති.
ලහිරුගේ මරණය අපට පෙන්වාදුන් දෑ බොහෝය.



