විශේෂාංග
තෙල් සහනය ගිය ඉල්ලා වරදට වෙඩි තියපල්ලා!
කොටි ත්රස්තවාදීන් සැඟවී සිට රට පුරා බෝම්බ පිපිරවූයේ මරාගෙන මැරුණේ රටින් භාගයක් ඉල්ලා මුළු රටම භීතියට පත් කරවමිනි. මේ කුරිරු ත්රස්තවාදීන්ගේ ඉල්ලීම කොතරම් අසාධාරණ දැයි රටේ සාමාන්‍ය ජනතාව හොඳින් තේරුම්ගෙන සිටියහ. එනිසාම කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමේ භාරදූර වගකීම කරට ගෙන සටන් වැදුනු රණවිරුවන්ට පොලිසියට අපේ රටේ ජනතාව ආශිර්වාද කළහ. බෝධි පූජා කළහ. සෙත් පිරිත් සඡ්Cධායනා කළහ. ලේ දන් දුන්හ. කතෝලිකයෝ පල්ලියේ පූජාවේදී මේ රණවිරුවන් දෙවියන්ගේ දැතට භාර කළහ. ගොවියන් කම්කරුවන් ධීවරයන් රණවිරුවන්ට පොලිසියට ආශිර්වාද කළේ අවංක හැඟීමකින් යුක්තවය.
විරෝදාර හමුදාවෝ සතුරන් මඩින ආකාරය දකුණේ මිනිසුන් හදපිරි සතුටින් රූපවාහිනි තිරය ඔස්සේ බලා සිටියහ. අත්පොළසන් දුන්හ.
![]() |
||
| මියගිය ඇන්ටනී ප්‍රනාන්දු | විශේෂ කාර්ය බලකායේ සෙබළුන්, පොලිසිය සහ ධීවර ජනතාව අතර ගැටුම් උත්සන්න වූ අවස්ථාව. |
|
![]() වෙඩි පහර හිසට එල්ල වූ ඇන්ටනී රෝහලට ගෙන යනඅයුරු. |
![]() ඇන්ටනීගේ දුව සහ පුතා |
|

දේහය ළඟ සොවින් තැවෙන පවුලේ ඥතීන්
ඒත් අනාගත දවසක මේ වෙඩි උණ්ඩ මෙවැනිම වූ හමුදා සාමාජිකයන් පිරිසක් විසින් තමන් දෙසට එල්ල කරාවි යෑයි හලාවත ධීවරයා එදා මොහොතකටවත් නොසිතන්නට ඇත.
ඒත් ඔවුන්ට නොසිතුනු ඒ සිතිවිල්ල අද සැබෑවක් වී ඇත. එදා රටෙන් භාගයක් ඉල්ලූ ත්රස්තවාදීන් දෙසට හැරුණු තුවක්කු බටය භූමිතෙල් බෝතලයක් ඉල්ලා උද්ඝෝෂණය කළ හලාවත අහිංසක ධීවරයන් දෙසට එල්ල විය. අහිංසක ධීවර තරුණයකුගේ හිස පසාරු කරන්නට තරම් ඒ තුවක්කු බටය හිත්පිත් නැති විය. කළගුණ නොදත්තේය.
"අපි නෙවෙයි වෙඩි තිබ්බේ.... පොලිසිය........." හමුදාව, විශේෂ කාර්ය බළකාය කියති. නෑ නෑ. අපි නෙවෙයි අපේ සියට හැත්තෑ පහක්ම දැන් හොඳයි. අපි දැන් ඕවට නැහැ. වෙඩි තිබ්බේ එස් ටී එµa එකයි, ආමි එකයි පොලිසිය කියති.
හලාවත ධීවරයන් පමණක් නොවේ පසුගිය දින කිහිපය තුළ මුළු රටේම ජනතාව ඉන්ධන මිල වැඩි කිරීමේ ආණ්ඩුවේ හිතුවක්කාරී ක්‍රියාවට එරෙහිව ප්රසිද්ධියේත් තනි තනිවත් විරෝධය දැක්වූහ. බස් හිමියෝ වර්ජනය කළහ. මගීහු අතරමං වූහ. ආණ්ඩුව සහනාධාර දෙන බවට පොරොන්දු වුවත් එය ප්‍රතික්ෂේප කළ බස් හිමියෝ සියයට දහසයකින් බස් ගාස්තු නංවන්නට අවසර ඉල්ලූහ. වර්ජනය නිසා අතරමං වූ ජනතාව ගැන අනුකම්පා කළ ජනතාවගේම ආණ්ඩුව ඒ ජනතාවටම දඬුවම් කරන්නට තීරණය කළේය. සියට දහසය වෙනුවට සියට විස්සකින්ම බස් ගාස්තු නංවන්නට බස් හිමියන්ට අවසර දුන්නේ කැකිල්ලේ රඡ්ජුරුවන්ගේ නඩු තීන්දුවක් සිහියට නංවමිනි.
ධීවරයාට භූමිතෙල් අතිශය අත්‍යවශ්‍යය. ආණ්ඩුව භූමිතෙල් මිලද ඉහළ දැම්මේ මාළු අල්ලන මිනිසුන් අධෛර්යමත් කරන්නට දැයි සිතේ. ඒ ප්රාණියෙකු ජීවියෙකු නැසීම පාපයක් යෑයි දැහැමි පාලකයන් සිතන නිසා විය හැකිය.
ඒත්......ආණ්ඩුවේ මේ අවිහිංසාවාදී ප්‍රතිපත්තිය ගැන නොදත් ධීවරයන් තැන තැන උද්ඝෝෂණය කළහ. මාළු අල්ලන්නට දියඹට යැමට භූමිතෙල් අත්‍යවශ්‍යයි. ඉන්ධන අත්‍යවශ්‍යයි. ඉහළ නැංවූ තෙල් මිල පහත දමනු යෑයි ඉල්ලමින් ඔවුහු උද්ඝෝෂණය කළහ. මාළු මරනවාට විරුද්ධව ආණ්ඩුව අවසන හලාවත ධීවරයන්ගේ ප්‍රාණය බිල්ලට ගත්තේය.
ආණ්ඩුවේ සිටින ඇතැම් තකතීරු ඇමැතිවරු ආණ්ඩුවට කඩේ යන උදවිය හලාවත සිද්ධියට එවැනි හාස්‍යජනක අර්ථ කථනයක් දෙන්නට බැරි නැත. ඒ මේ ආණ්ඩුවේ ඉන්නා සමහරු විකටයන් බැවිනි.
නමුත් හලාවත සිද්ධිය අතිශය පිළිකුල් සහගත මිලේච්ඡ ක්‍රියාවක් බව නොකියන්නෙක් ඇත්ද? නැත.... එය කළවුන් සහ ඊට අලගු තබන්නන්ට හැර අන් අයට මේ සිද්ධිය අතිශය ජුගුප්සාජනකය.
ඉන්ධන මිල අඩු කරන්නැයි හලාවත ඇන්තනි ප්‍රනාන්දු තරුණයා උද්ඝෝෂණය කළේ සෑම ධීවරයෙක් වෙනුවෙන්මය. ඉන්ධන පරිභෝජනය කරන සියලුම රට වැසියා වෙනුවෙනි. එය වරදක්ද? ඇන්තනී උද්ඝෝෂණය කළේ රටෙන් භාගයක් දෙන්න කියා නොවේ. ජනාධිපතිකම හෝ ඇමැති තනතුරක් ඉල්ලා නොවේ. අඩු මුදලට භූමිතෙල් බෝතලයක් ඉල්ලාය. පෙට්‍රල් ලීටරයක් ඩීසල් ලීටරයක් පැවැති මිලටම දෙන්නැයි කියමිනි. එහෙත් මේ ආණ්ඩුව ආණ්ඩුවේ හමුදාවෝ ඇන්තනීට දුන්නේ ඔහු ඉල්ලපු දේද... නැත. ඔහු මරණය ඉල්ලා කෑගැසුවේ නැත. එහෙත් ආණ්ඩුව ඔහුට මරුවා වෙත යන්න පහසුකම් සලසා දුන්නේය. ගිනියම් වූ උණ්ඩයක් ඇන්තනීගේ නලල් තලයෙන් ගොස් හිස පිටුපසින් පිටව ගියේය.
මරණය මෙතරම් ලාභද? ඇයි ආණ්ඩුව ජීවිතය මෙතරම් බාල්දු කළේ. වැඩකරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල වෙනුවෙන් සටන් කළ රොෂේන් චානකගේ ජීවිතයට ආණ්ඩුව ලංසු තැබූයේත් මේ ආකාරයටම නොවේද?
රොෂේන් ඝාතනයේ උණුසුම පහව යන්නටත් පෙර ඇන්තනීගේ ඝාතනයත් ඒ ආකාරයටම සිදුවීම ආණ්ඩුව කොතරම් ලැඡ්ජා විය යුතුද. හමුදාව පොලිසිය කම්කරුවා හෝ ධීවරයා මත වරද පවරා ඇන්තනීගේ, රොෂේන්ගේ මරණයේ වගකීමෙන් ආණ්ඩුවට බැහැර විය හැකිද?
ඉන්ධන මිල පිළිබඳ මීගමුවේ හලාවත ධීවර නියෝජිතයන්, කතෝලික පියතුමන්ලා සහ ප්‍රාදේශීය දේශපාලකයන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව හලාවතදී මෙම ෙ€දවාචකය සිදුවූ බව පැවසේ.
හදිසි වෙන්න එපා. මේක සාකච්ඡා මාර්ගයෙන් විස¹ ගමු. මෙය විසඳෙන තුරු අපි ධීවරයන් සමඟ සිටිනවා කතෝලික පියතුමන්ලා අහිංසක ධීවරයන්ට පොරොන්දුවක්ද දී ඇත.
මේ සාකච්ඡාව අතරේදී අපිට ආරංචි වුණා ගැහැණු කෙනකුට පොලිසිය ගහනවා කියලා. ඉතින් සාකච්ඡාවේ සිටි ධීවරයන් කුලප්පු වුණා. කාන්තාවට පහර දෙනවා යෑයි කී පැත්තට අපි දිව්වා. ඒ අතරේදී තමයි පොලිස් වෙඩි තැබීම සිද්ධ වුණේ. මේ සිද්ධියට මුහුණ දුන් ධීවරයෙක් කී කතාවකි.
"අපි පොලිසියට කිව්වා වෙඩි තියන්න එපා කියලා. පස්සේ තමයි කඳුළු ගෑස් ගැහුවේ. අපි ඉදිරියට යන්න යන්න පොලිසිය වෙඩි තැබුවා. ගෙයක් හදන්න සිමෙන්ති ගන්න ආ කෙනකුටත් වෙඩි වැදුණා." යෑයිද ඔහු ප්‍රකාශ කළේය.
හලාවත සිදුවූ උද්ඝෝෂණයට විරුද්ධ පක්ෂයේ කිසිවකුගේ ආධාර අනුබල ලැබුණු බවට මෙතෙක් තොරතුරු ලැබී නැත. විරුද්ධ පක්ෂය අද වැටී තිබෙන තත්ත්වය අනුව එවැන්නක් කළ හැකි යෑයි විශ්වාසයක් තබන්නටද නුපුළුවන. මේ පිටුපස විපක්ෂයේ ඇතැම් පක්ෂ සිටින බවට ආණ්ඩුව චෝදනා නොකළේද බොරුවට හෝ එවැනි චෝදනාවක් කළොත් ඉන් විපක්ෂයේ ශක්තිය පිළිගත්තාය යන හැඟීම ඇතිවේය යන අදහසින් විය හැක.
නිරායුධව උද්ඝෝෂණය කළ ධීවරයන්ට යුද හමුදා සහ එස්. ටී. එµa. භටයන් වෙඩි තබන ආකාරය අපද රූපවාහිනි තිරය ඔස්සේ දැක ගත්තෙමු. එය කොටි ත්රස්තවාදීන්ට එරෙහිව පුදුමාතලන් වෙල්ලමුල්ල වයික්කාල්හි පැවැති අවසන් සටන සේය. ඇතැම් එස්. ටී. එµa. භටයින් සහ හමුදා භටයන් දණ නමා නිරායුධ අහිංසකයන්ට වෙඩි තබන දසුන්ද දක්නට ලැබිණි. ධීවරයන් හිස් ලූ ලූ අත දිවයද්දීද වෙඩි ප්‍රහාර එල්ල විය. පොලිස් නිලධාරීන් සුපුරුදු පරිදි එදෙස බකින්නිලා සිටින අයුරුද දැකගත හැකි විය.
කැරැල්ලක්, උද්ඝෝෂණයක් මැඬපැවැත්වීම පොලිසියට අයත් කටයුත්තකි. සාමාන්‍ය නීතිය යටතේ රට අභ්‍යන්තරයේ ආරක්ෂක රාජකාරි සඳහා හමුදා සේවය කැඳවිය හැක. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ හෝ ඊට ඉහළ නිලධාරියකුගේ ඉල්ලීම මතය.
එම උසස් පොලිස් නිලධාරීන් මෙම ඉල්ලීමද කළ යුත්තේ අදාළ උද්ඝෝෂණය මැඬපැවැත්වීම සඳහා දරන උපරිම බලයද ව්‍යර්ථ වන්නේ නම් පමණෙකි.
උද්ඝෝෂණයක් මැඬ පැවැත්වීමට කැරැළි මර්දන පොලිසිය සිටී. ජල පීඩන ප්‍රහාර, කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර හෝ අවසන රබර් උණ්ඩ ප්රහාරද එල්ල කිරීමේ බලය නීතියෙන්ම පොලිසියට ලැබී ඇත. මේ කිසිදු ක්‍රියාවකින් උද්ඝෝෂකයන් මැඬ පැවැත්විය නොහැකි නම් හමුදා සහාය ලබා ගත හැක.
එහෙත් හලාවතදී සිද්ධ වූයේ මෙම ක්රමවේදයද... නැත. පොලිසිය අවම බලය පාවිච්චි කළාද යන්න සැක සහිතය. රබර් උණ්ඩ නොව උද්ඝෝෂණය කළ නිරායුධ මිනිසුන්ට සංග්‍රහ කළේ සජීවී උණ්ඩවලිනි.
"ධීවරයින් කලහකාරී ලෙස හැසිරුණා, කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළා." යෑයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රූපවාහිනි තිරය හරහා කියද්දී, වෙඩි ප්‍රහාරයකින් ධීවරයෙක් මිය ගිය බව මුළු රටටම නොරහසකි. මරණයට පත්වූ ඇන්තනි ප්‍රනාන්දු ධීවර තරුණයාගේ හිස පසාරු වන ආකාරයට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ මේ වන විටත් ප්‍රසිද්ධ වී තිබිණි. කඳුළු ගෑස් ප්‍රහාරයකින් මෙවන් විපතක් විය හැකිද? පොලිස් මාධ්‍ය ප්රකාශකයාටම තමන් කී විහිළු ප්‍රකාශය වැටහෙන්නට ඇත. ඊට විනාඩි කිහිපයකට පසුව ඔහු යළිත් ප්‍රකාශයක් කළ බව රූපවාහිනියෙන් දැක ගන්නට ලැබිණි.
ධීවරයාට යම්කිසි ආකාරයකට වෙඩි වැදි මිය ගොස් තිබෙනවා." යෑයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එවර කීවේය. එය තවත් හාස්‍යජනක කතාවකි. ඔහු පවසන යම්කිසි ආකාරය කුමක්ද.......ජනතාවට ප්රහේළිකාවකි.
පොලිසියේ මෙවන් විසුළු ක්‍රියා හා ප්‍රකාශ එතරම් තැකීමක් කළ යුත්තක්ද නොවේ.
ඇන්තනි ප්‍රනාන්දු පමණක් නොවේ පොලිසිය හෝ හමුදාව තැබූ වෙඩි පහරින් තවත් ධීවරයන් කිහිප දෙනෙකුම අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිටත් පසුවේ. මිය ගිය ඇන්තනී දෙදරු පියෙකි. බිරිය මසකට පමණ පෙර විදේශ ගතවූයේ ආර්ථික දරිද්‍රතාවයෙන් පවුලම මුදා ගැනීමේ අරමුණිනි.
අපේ තාත්තා මගෙයි මල්ලිගෙයි ඇඟ සෝදලා. ඉස්කෝලෙටත් දාලා තමයි වැඩට යන්නේ. අම්මා පිටරට රස්සාවකට ගියේ බෝට්ටුවේ ණය ගෙවන්නයි එදාත් තාත්තා මටයි මල්ලිටයි රොටි කන්න දීලා පෙට්ට්‍රල් උද්ඝෝෂණය බලල එන්නම් කියලා ගියා. ඇන්තනීගේ දියණිය කඳුළු සලමින් පියාගේ වියෝව ගැන කියා තිබෙන්නේ එලෙසිනි.
හමුදාවේ කට්ටිය අපිට වට කරලා "දුවපියව්" කියලා බැන්නා. අපි කිව්වා අපි යන්නේ රණ්ඩු කරන්නෙ නොවෙයි කියලා." ඒත් හමුදාවේ අය අපි සමග සිටි අයට හොඳටම පහර දුන්නා. කඳුළු ගෑස් ගැහුවා. අපේ කිහිප දෙනකුටම වෙඩි තැබුවා. අපි කලබල වුණා. වෙඩි තියන්න එපා කියලා අපි කිව්වා. පාරක් දෙකක් ගහලා හරි අපේ ළමයින් අයින් කරන්න කියලා හමුදාවට කිව්වා. ඒත් ඔවුන් ඇහුවේ නෑ. ඇන්තනී වෙඩි වැදිලා ගැහී ගැහී වැටිලා හිටියා. හමුදාවේ අය ඇන්තනිව පයින් පාගාගෙන "ගනං කාරයෝ වරෙව්.... කියමින් අනෙක් දරුවන්ට කෑ ගැහුවා. වෙඩි වැදුණු ඇන්තනීව රෝහලට අරගෙන යන්නටත් දුන්නේ නැහැ. යෑයි සිද්ධිය ඇසින් දුටු කාන්තාවක් මාධ්‍යයට පවසා තිබිණි.
හමුදා සෙබළු එක පාරටම වෙඩි තියනවා ඇහුනා. මම ඒ දෙස බලද්දී පස් හය දෙනෙක් බිම ඇද වැටෙනවා දැක්කා. මම දැක්කා වෙඩි වැදුණු කෙනකුගේ ඇඟ උඩ හමුදා සෙබළු කකුල් තියාගෙන අනෙක් ධීවරයන්ට කුරුමානම් අල්ලනවා. මම හෙමින් සැරේ පිටු පස්සෙන් ඇවිත් බිම වැටිලා හිටපු ඇන්තනීගේ සිරුර ඔසවා ගෙන දිව්වා. ඒ දුටු හමුදාවේ අය අපිටත් වෙඩි තිබ්බා. ඇන්තනිව ඉස්පිරිතාලෙට අරගෙන යන්නටත් ඔවුන් අපිට ඉඩ දුන්නේ නැහැ. කඳුළු ගෑස් පොලු ප්‍රහාර එල්ල කළා. ඒත් අමාරුවෙන් ඇන්තනීව රෝහලට අරගෙන ආවත් ඔහු එතැනදීම මියගිහින් බව දැන ගත්තායෑයි තවත් ධීවරයෙක් ප්‍රකාශ කර තිබිණි.
මේ ත්රස්තවාදීන් නොවේ. ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණ කරුවන්ද නොවේ. රට විදේශිකයන් හමුවේ හෑල්ලු කරන්නන්ද නොවේ. රට දැය පාවා දෙන්නන්ද නොවේ. අහිංසක ධීවරයන් පිරිසක් පමණකි. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ සහන මිලට භූමිතෙල් බෝතලයකි. භූමිතෙල් බෝතලයක් ඉල්ලු කෙනකුට දඬුවම මරණය නම් එය කොතරම් ම්ලේච්ඡ තීන්දුවක්ද....
ධීවරයන් කඩු, කිණිසි, පොලු ගල් මුල් රැගෙන අපිට පහර දෙන්න ආව. යෑයි පොලිසිය සහ හමුදාව නිදහස පතා කියන්නට පිළිවන. මෙවැනි චෝදනා එල්ලවන සෑම අවස්ථාවකදීම පොලිසිය මතුරන සාමාන්‍ය මන්තරය මෙයටද අදාළ කර ගන්නට ඉඩ තිබේ.
"ඉන්ධන සහනාධාරයක් ආණ්ඩුව අපට දෙන බව පැවසුවත් අපිට මේ ආණ්aඩුව විශ්වාස නැහැ. අපිට මේ රජය පෙරළා දමන්න ඕනෑ නැහැ. අපි කියන්නේ තෙල් මිල බස්සන්න කියලා. මේ රජය බොරු පොරොන්දු දීලා තියෙනවා. එකක්වත් ඉෂ්ට කරලා නැහැ. මීට කලිනුත් තෙල් සලාකයක් ධීවරයන්ට දෙනවා කිව්වා. තවමත් ඒ සලාකය නැහැ. ධීවරයෙන් මෙසේ පවසද්දි ප්‍රදේශයේ ඇතැම් කතෝලික නියෝජිතයන්, පූජකවරුන් පවසා තිබෙන්නේ තමන් ඒ සඳහා මැදිහත් වන බවත් අවසානය තෙක් ධීවරයන් සමග සිටින බවත්ය. එහෙත් කිතුනු නියෝජිතයන් මේ ධීවරයන් සමග සිටියද එසේ සිටියා නම් ඇන්තනී අදත් අප අතර ජීවත්ව සිටිනු ඇතැයිද විශ්වාස කරන අයද සිටී. මේ අතර පල්ලියේ පියතුමන්ලා මේකට මැදිහත් වුණා. එනිසා දරුණු වන්නට තිබූ තත්ත්වය සමනය වුණා. තවදුරටත් ධීවරයන් සමග පියතුමන්ලා ඉන්නවා." යෑයි හලාවත රදගුරු වැලන්සන් මෙන්ඩිස් හිමිපාණන් ප්‍රකාශ කර තිබිණි. නිරායුධව, උද්ඝෝෂණයක නියෑළි සිටින ධීවරයන්ට වෙඩි තැබීමට නියෝග කළේ කවුද එසේ නියෝග කරන්නට ඇත්තේ ආණ්ඩුවේ ඉහළම කෙනකු විය යුතුමය. ඒත් ඔහු කවුද යන්න පමණක් නොවේ ඇන්තනී ප්‍රනාන්දුට කොකා ගැස්සූ පුද්ගලයා කවුද යන්න රොෂේන් චානක තරුණයාගේ ඝාතනයේ වගකිව යුත්තන් සේම සදාකල්ම රහසක් වනු ඇත.
රොෂේන් චානක ඝාතන සිද්ධිය ගැන සොයා බැලීමට පත් කළ කමිටුව හා සමාන කමිටුවක් ඇන්තනි ප්‍රනාන්දු ඝාතනය උදෙසාද පත්කිරීමට ඉඩකඩ ඇත. එසේ පත් කිරීමට නොහැකියාවක්ද නැත. එහි වාර්තාවක්ද ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටිනු ඇත. එහෙත් රොෂෙන් චානක කමිටු වාර්තාව අදත් නැත. ඊට වූ දේ ඇන්තනි කමිටු වාර්තාවටත් සිද්ධ නොවේද...
මේ කමිටු කල් මැරීමේ තීරණය... ජනතාවගේ සිත්සතන් සැනසීමට ගන්නා පියවරයන්ය. තවත් මෙවැනිම ඝාතනයක් වනතුරු ජනතාව රවටන ප්‍රකාශයන් පමණි.
ඇන්ටනි ප්‍රනාන්දු ධීවරයාගේ ඝාතනය සිදුවූයේ 16 දා පෙරවරුවේය. මෙම සටහන තබන්නේ 17 දා සවසය. මේ දක්වා කාලය තුළ රජයේ කිසිදු ඇමැතිවරයෙක් මෙම ඝාතනය හෙළා දැක හෝ එය කළ වුන් නිර්දෝෂී වන ආකාරයේ හෝ ප්‍රකාශයක් සිදු කර නැත. ජනාධිපතිවරයාද ශ්‍රී ලංකාවේ නොමැත. ජනාධිපතිවරයා මෙරටට ආ පසු තම නායකයාගෙන් ලකුණු දමා ගැනීම සඳහා මේ ඇමැතිවරු රොත්ත බුරුත්ත පිටින් ප්‍රකාශ නිකුත් කරන්නට ඉඩ තිබේ. ඒ අපේ රටේ ඇමැතිවරුන්ගේ හැටිය.
විපක්ෂයද එසේමය... අපේ රටට විපක්ෂයක් නැත. ශක්තිමත් විපක්ෂයක් රට තුළ තිබේ නම්... ජනතාව මර්දනය කිරීමේ පිළිවෙතකට යැමට ආණ්ඩුවකට හැකියාවක් නොමැත. එහෙත්... ආණ්ඩුව මේ ආකාරයට කරණම් ගහන්නේ විපක්ෂය සෝදාපාළුවකට ලක් වූ බිමකය... ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් සේම විපක්ෂ නායකයාද ඇන්තනි ප්‍රනාන්දු ඝාතනය සම්බන්ධව මේ සටහන ලියන මොහොත දක්වා ප්‍රකාශයක් සිදු කර නැත. ඉඳින්... විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ වෙනසක් මෙරට ජනතාවට දැකිය හැකිද... පැරලයිස් වූ විපක්ෂයක් තිබෙන තුරා ආණ්ඩුවක හිතුවක්කාරී ගමන වැළැක්විය නොහැකිය. අපේ රටේ මුහුදුකරයේ වෙසෙන ධීවර ප්‍රජාවගෙන් බහුතරය කතෝලිකයෝය. ඝාතනයට ලක්වූ ඇන්ටනි ප්‍රනාන්දු මෙන්ම හලාවත උද්ඝෝෂණයට එක්වූ බහුතරයද කතෝලිකයන් වන්නට පිළිවන. භූමිතෙල් ලීටරයක් ඉල්ලූ ධීවරයන්ට මරණය අත් කර දුන් ආණ්ඩුවට දෙස් දෙවොල් තබනා මේ මිනිසුන් "සන්තානම් මෑණියනේ... අපිට විපක්ෂයක් ලබා දේවා ..." යෑයිද ශාන්ත ආනා මුණිතුමියගෙන් ඉල්ලා සිටින බව නම් නිසැකය.







